ප්රවෘත්ති සන්නිවේදන කලාවේ විප්ලවීය වෙනසක් සිදුකළ ටෙඩ් ටර්නර් මැයි මස 06 වෙනිදා මියගියා. 24 පැයේ ප්රවෘත්ති සංකල්පයේ නිර්මාතෘ ලෙස සැලකෙන ටෙඩ් ටර්නර්ගේ විශිෂ්ටතම කාර්යය වන්නේ 1980 දී CNN (Cable News Network) නාලිකාව ආරම්භ කිරීමයි.
එතෙක් පැවති රූපවාහිනී ප්රවෘත්ති කලාව රාත්‍රී කාලයේ විකාශය වන කෙටි වැඩසටහන්වලට සීමා වී තිබුණා. ඔහු එය පැය 24 පුරා සජීවීව ගලා යන "ප්රවෘත්ති චක්‍රයක්" (24-hour news cycle) බවට පත් කළා. එය ලෝක ප්රවෘත්ති සන්නිවේදනයේ හැරවුම් ලක්ෂයක් ලෙස සැලකෙනවා.
1991 ගල්ෆ් යුද්ධය වැනි අවස්ථාවලදී ලෝකයේ ඕනෑම තැනක සිදුවන සිදුවීම් එසැනින් සජීවීව නිවෙස් වෙත ගෙන ඒමෙන් ප්රවෘත්ති පරිභෝජනය කරන ආකාරය සහමුලින්ම වෙනස් කර්න්නටද ඔහු සමත්වුණා. ඔහු මුල්වරට 'flyaway' සැටලයිට් ඇන්ටනා සහ නවීන සන්නිවේදන උපකරණ යොදා ගනිමින් ලෝකයේ දුෂ්කර කොනක සිට වුවද ප්රවෘත්ති වාර්තාකරණයට මග පාදා දුන්නා.
මාධ්‍ය ලෝකයට "Superstation" සංකල්පය (The Pioneer of Superstation) හඳුන්වා දුන්නේද ඔහුයි. ටර්නර් කේබල් රූපවාහිනී ක්ෂේත්රයේ නව මානයක් සනිටුහන් කරමින්
1970 දී ඇට්ලන්ටා හි අසාර්ථක වෙමින් පැවති UHF නාලිකාවක් මිලදී ගෙන එය WTCG (පසුව TBS) ලෙස ප්‍රචලිත කළා. 1976 දී සැටලයිට් තාක්ෂණය යොදාගනිමින් ප්‍රාදේශීය නාලිකාවක් මුළු රටටම විකාශය කරන පළමු "Superstation" එක බවට මෙය පත් කිරීමේ පුරෝගාමියා ඔහුයි. මෙය නූතන කේබල් ටීවී ජාලයේ පදනම ලෙසද සැලකෙනවා.
ටෙඩ් ටර්නර් ගේ තවත් සුවිශේෂ කාර්යයක් වන්නේ විනෝදාස්වාද මාධ්‍ය සහ චිත්‍රපට සංරක්ෂණය වෙනුවෙන් ඔහුගේ මැදිහත්වීම. 1986 දී ඔහු MGM ස්ටූඩියෝව මිලදී ගත් අතර, එහි තිබූ පැරණි සම්භාව්‍ය චිත්‍රපට දහස් ගණනක අයිතිය ලබා ගත්තා පමණක් නොව
එම චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සඳහාම ඔහු විශේෂිත නාලිකාවක් TCM (Turner Classic Movies) නමින් ආරම්භ කරමින් සිනමා උරුමය රැකගැනීමට සහ ප්‍රචලිත කිරීමට කටයුතු කළා. ඉන් නොනැවතුන ඔහු පැරණි කළු-සුදු චිත්‍රපට වර්ණ ගැන්වීම (Colorization) හරහා මතභේදාත්මක මෙන්ම නව්‍ය අත්හදා බැලීමක් ද සිදු කළා.
ටර්නර් විශ්වාස කළේ මාධ්‍ය මගින් ලෝකය එකට යා කළ හැකි බවයි. ඔහු CNN International ආරම්භ කරමින් රටවල් 200කට අධික සංඛ්‍යාවක් එකම ප්රවෘත්ති ජාලයකට සම්බන්ධ කිරීම සිදුකළේ මේ නිසා.
මාධ්‍ය ආයතන හුදෙක් ලාභය ලැබීමට වඩා ලෝක සාමය සහ මානුෂීය කටයුතු වෙනුවෙන් පෙනී සිටිය යුතු බව ද ඔහු දැඩිව විශ්වාස කළ දෙයක්.
ක්‍රීඩා මාධ්‍යකරණයට ද ඔහුගේ මැදිහත් වීම ඓතිහාසිකයි. 1986 දී ඔහු සෝවියට් දේශය සහ ඇමරිකාව අතර පැවති සීතල යුද්ධය සමනය කිරීමේ අරමුණින් "Goodwill Games" නමින් ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලක් ආරම්භ කළා පමණක් නොව බේස්බෝල් සහ බාස්කට්බෝල් වැනි ක්‍රීඩා ජාතික මට්ටමෙන් රූපවාහිනිය හරහා ජනප්‍රිය කිරීමට විශාල ආයෝජනයක් ද සිදු කළා.
ටෙඩ් ටර්නර් 2026 මැයි 6 වන දින අභාවප්‍රාප්ත වූ අතර, ඔහු නූතන පුවත්පත් කලාවේ සහ විද්‍යුත් මාධ්‍ය කලාවේ "යෝධයා" (Giant) ලෙසයි හඳුන්වනු ලබන්නේ. මාධ්‍ය ලෝකයේ ඔහු ඇතිකළ වෙනස්කම් නිසාම විශේෂයෙන්ම ඔහු මාධ්‍ය ව්‍යාපාරිකයෙකුට වඩා මාධ්‍ය "නවෝත්පාදකයෙකු" (Innovator) ලෙස හැඳින්වීම වඩාත් උචිතයි.''
උපුටා ගැනීම කපිල. එම. ගමගේ ෆේස්බුක් පිටුවෙන්




