lan englan tam

පුවත්

වැන්ගෝ ගේ මොනාලිසා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

1883 දෙසැම්බරයේ නෙදර්ලන්තයේ නුඑනන් (Nuenen) නම් කුඩා ගොවි ගම්මානයට ශීත ඍතුව නිහඬව පැමිණෙමින් තිබුණි. වැලි සහිත දුප්පත් පස අර්තාපල් වගාවට සුදුසු වූ අතර, වසරේ අස්වැන්න වූ අර්තාපල්වලින් ගොවි පවුල් සිය දිවි ගෙවමින් සිටියහ. මඩෙන් පිරුණු පාරවල්, දුම්වැටුණු කුඩා ගෙවල් සහ වෙහෙසින් දැඩි වූ මිනිසුන් ඒ ගම්මානයේ දෛනික දර්ශනය විය.

එවැනි දිනයක, පැරණි ලොම් කබායක් හැඳ, ශක්තිමත් වැඩ බූට්ස් පැළඳ, තනි මිනිසෙක් ගමට පැමිණියේය. ඔහුට එතෙක් ජීවිතය කරුණාවන්ත නොවීය. "සියන්" (Sien) ලෙස හැඳින්වූ ඔහුගේ ගැබ්බර පෙම්වතිය—ලිංගික ශ්‍රමිකාවක්—ඔහුගෙන් වෙන්ව ගොස් තිබුණි. සොහොයුරාගෙන් ලැබුණු මූල්‍ය ආධාරද නතර වී තිබුණි. ඉතිරිව තිබුණේ නුඑනන්හි දේවගැතිවරයා වූ ඔහුගේ පියාගේ නිවස පමණි.

මොහු කවුද? ඔහු නමින් වින්සන්ට් විලම් වැන් ගෝ වේ . අද ලෝක කලා ඉතිහාසයේ වඩාත්ම බලපෑම් සහගත චිත්‍ර ශිල්පියෙකු ලෙස සැලකෙන නාමය, එදා එම ගම්මානයේ කිසිවෙකුට විශේෂයක් නොවීය.

නුඑනන්හි වසර දෙකක කාලය තුළ වැන් ගෝ සිතුවම් 195කට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කළේය. ඔහුගේ කැන්වසයට හසුවූයේ සොඳුරු දර්ශන නොව, ජීවිතය සමඟ පොරබදින මිනිසුන්ගේ මුහුණුය. දුප්පත් ගොවි නිවාසය. කුඹුරු. වැසි අහස. වෙහෙසින් රැළි වැටුණු දෑත්. ඔහු සොයා ගියේ සුන්දරත්වය නොව, සත්‍යයයි.

එම කාලයේ ඔහුගේ ශ්‍රේෂ්ඨතම කෘතිය වූයේ The Potato Eaters (අර්තාපල් අනුභව කරන්නෝ) ය. බොහෝ කලා විචාරකයන්ට අනුව, එය නුඑනන්හි ඔහු කළ සියලු ගොවි අධ්‍යයනවල කූටප්‍රාප්තියයි.

WhatsApp Image 2026 07 30 at 2.45.42 PMවැන් ගෝ ගේ  The Potato Eaters (අර්තාපල් අනුභව කරන්නෝ) (1885) චිත්‍රය

අඳුරු ලාම්පු එළියකින් පමණක් ආලෝකමත් වූ කුඩා නිවසක, ගොවි පවුලක් මේසයක් වටා රැස්ව අර්තාපල් සහ කෝපි බෙදා ගන්නා මොහොත එහි නිරූපණය වෙයි. වැන් ගෝ හිතාමතාම දුඹුරු, කොළ සහ කළු පැහැයන් ප්‍රමුඛ වූ මඩ පැහැති වර්ණ භාවිත කළේ ගොවි ජීවිතයේ දුෂ්කරතාවය සහ දරිද්‍රතාවය ප්‍රේක්ෂකයාට දැනෙන්නටය. ඔහු එහි චරිතවල සම "දූවිලි වැටුණු අර්තාපලයක පැහැය" ලෙසද විස්තර කළේය.

චිත්‍රයේ පෙනී සිටින්නේ ප්‍රාදේශීය De Groot–van Rooij ගොවි පවුලයි. එහි මව කෝර්නේලියා, ඇගේ දරුවන් හෙන්ඩ්‍රික්, පීටර් සහ ගෝර්ඩිනා මෙන්ම, ඇගේ සහෝදරිය සහ සහෝදරයන් දෙදෙනෙකුද එකම කුඩා නිවසේ ජීවත් වූහ.

මෙම චිත්‍රයේ වම්පස අප වෙත මුහුණ හරවා සිටින කාන්තාව ගෝර්ඩිනා ඩි ග්‍රූට්ය(Gordina de Groot). එවකට ඇයට වයස අවුරුදු තිහක් පමණ වූ අතර, ඇය අවිවාහක තරුණියකි. ඇගේ වෙහෙසින් ගැඹුරු වූ මුහුණ වැන් ගෝගේ සිතුවම්වල විසි වතාවකට ආසන්න ප්‍රමාණයකට ආදර්ශයක් විය.

 

De Groot 1349

 

එහෙත් නුඑනන් ගම්මානයේ ඕපාදූප ඉක්මනින්ම ඔවුන් වටා ගෙතුණි. ගෝර්ඩිනා ගැබ්බර  විය , ප්‍රාදේශීය කතෝලික පූජකයා එයට වගකිව යුත්තේ වැන් ගෝ විය හැකි බවට චෝදනා කළේය. වැන් ගෝ එය තරයේ ප්‍රතික්ෂේප කළේය. ඔහු නගරාධිපතිට දන්වා සිටියේ, දරුවාගේ පියා පූජකයාගේම දේවස්ථානයේ සාමාජිකයෙකු බවයි.

මෙම ආරවුල්වල ප්‍රතිඵලයක් ලෙස නුඑනන්හි මිනිසුන් වැන්ගෝ ට ආදර්ශ ලෙස පෙනී සිටීම ප්‍රතික්ෂේප කළහ. අවසානයේ, 1885 නොවැම්බර් 24 දින ශීත ඍතුව යළි පැමිණෙද්දී, වැන්ගෝ  නුඑනන් ගම්මානයෙන් පිටව ගියේය.

ඉන්පසු ගෝර්ඩිනාට පුතෙක් උපන්නේය. ඔහුට කෝර්නේලිස් යන නම තැබුවේ ඇගේ පියාගේ නම අනුවය. උපත් සහතිකයේ පියාගේ නම සඳහන් නොවීය. ගෝර්ඩිනා කිසිදා විවාහ නොවූ අතර, 1927දී වයස අවුරුදු 71ක් වන විට ජීවිතයෙන් සමුගත්තාය.

 

අද වැන් ගෝ විසින් ඇඳි ඇගේ ප්‍රතිමූර්තිය "බ්‍රබන්ට්හි මොනාලිසා" ලෙස හැඳින්වේ. එම සිතුවම නෙදර්ලන්තයේ Noordbrabants කෞතුකාගාරය විසින් යුරෝ මිලියන 8.6කට මිලදී ගන්නා ලදී.

 

The Mona Lisa of Braban

 

ලියනාර්ඩෝ ඩා වින්චිගේ මොනාලිසා මෙන් අභිරහස් සිනහවකින් ලෝකය වශී කළ රූමත් කාන්තාවක් නොව, ජීවිතයේ වෙහෙස, දරිද්‍රතාව, අවලාද සහ නිහඬ වේදනාව මුහුණේ සටහන් කරගත් ගැහැනියක් මෙහි සිටී. ඇගේ සිනහව නොව, ඇගේ නිහඬ බැල්මයි අප සමඟ කතා කරයි .

2026 ජූලි 29 වැනිදාට වින්සන්ට් වැන් ගෝ මියගොස් වසර 136ක් සපිරුණි.

-ගයියා -

kemadasa

shungara

Back to top
Go to bottom