lan englan tam

පුවත්

නිර්මාණකරණ සම්ප්‍රදායන්ට අභියෝග කළ අපර්ණා!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අපර්ණා සෙන් යනු සම්මානනීය ඉන්දීය සිනමා අධ්‍යක්ෂවරියකි. ඇය පිළිබඳව හරවත් වටිනා ලිපියක් 'සිනෙමායා Entertainment' සඳහා රමිත විමුක්ති විසින් ලියනු ලැබ තිබිණි.

ඉන්දියානු සිනමාව තුල දීර්ග කාලීනව වැඩ කටයුතු කරන අධ්‍යක්ෂකවරියන් අතරින් ප්‍රමුඛ තැනක් අපර්ණාට හිමි වනවා. සිනමා අධ්‍යක්ෂකවරියක් වශයෙන් 2024 වසරට, අපර්ණා වසර 43 ක්‌ සම්පූර්ණ කරනවා. දකුණු ආසියාතික කලාපයේ කාන්තා නිර්මාණකාරිණියක්‌ එතරම් දීර්ග කලක් සිනමාවේ රැඳී සිටීමම සුවිශේෂී කඩයිමක්. අපර්ණා සිනමා අධ්‍යක්ෂකවරියක් වීමට පෙර, 60/70 දශකයේ බෙන්ගෝලි සිනමාවේ ප්‍රමුඛ ස්ථානයක් දිනා ගෙන සිටි රංගන ශිල්පිනියක්. අපර්ණා උපත ලබන්නේ සිනමා පවුලක. ඇගේ පියා වන චිදානන්දා දස්ගුප්තා යනු සිනමා අධ්‍යක්ෂකවරයෙක් සහ විචාරකයෙක්. මව සුප්‍රියා දස්ගුප්තා යනු සම්මානීය ඇඳුම් නිර්මාණ ශිල්පිනියක්.

අපර්ණාව සිනමා රංගනයට හඳුන්වා දෙන්නේ ඉන්දියානු සිනමාවේ ප්‍රකට අධ්‍යක්ෂකවරයෙකු වන සත්‍යජිත් රායි විසින්. ඒ ඔහු 1961 වසරේ අධ්‍යක්ෂණය කළ Teen Kanya චිත්‍රපටයෙන්. එවකට අපර්ණාට වයස අවුරුදු 16 ක්‌ පමණයි. මෙය ඉතා ඉහල ප්‍රේක්ෂක සහ විචාරක ඇගයීම් වලට පාත්‍ර වුනු රංගනයක්. Teen Kanya චිත්‍රපටයෙන් අනතුරුව රායිගේ Jana Aranya සහ Pikoo වැනි චිත්‍රපට තුලද ඇය රංගනයෙන් දායක වුනා. අපර්ණාගේ රංගන දිවියේ ප්‍රධාන හැරවුමක් වූයේ, Mrinal Sen අධ්‍යක්ෂණය කළ Akash Kusum චිත්‍රපටයෙන්. ඉන් පසුව ඇය කළ Sujata, Asamaya, Bijoyini සහ Indira චිත්‍රපට වෙනුවෙන් Filmfare Awards East සම්මාන උළෙලවල් තුල හොඳම නිළියට සම්මාන ලබා තිබෙනවා.

අධ්‍යක්ෂණයට පිවිසීම :

මෙම ලිපිය ආරම්භයේදී අපර්ණාට "නිර්මාණකරණයේ සම්ප්‍රදායන්ට අභියෝග කළ ඇය " යනුවෙන් ආමන්ත්‍රණය කළේ සුවිශේෂී හේතුවකට. ඉන්දියානු සිනමාව තුල ඉංග්‍රීසි භාෂාවෙන් චිත්‍රපට චිත්‍රපට නිර්මාණය කිරීම, එකල එතරම් සුදුසු මාධ්‍යක් ලෙස පිළිගෙන නැත. 1930-40 දශකයේ පැවති බොහෝ නිහඬ චිත්‍රපට තුල මෙය භාවිතා වූවත්, ඉන්දියාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වීමෙන් අනතුරුව මෙය මැකී ගිය මාධ්‍යක් බවට පත් වනවා. මෙලෙස සිනමාව තුල මැකී ගිය භාෂාව, නැවත වරක් ප්‍රභල ලෙස කරලියට පැමිණෙන්නේ 1981 දී. මෙම භාෂාව නැවත වතාවක් ඉන්දීය සිනමා තිරයට ගෙන එන්නේ අපර්ණා සෙන්ගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වන 36 Chowringhee Lane චිත්‍රපටයෙන්. මෙහි ඉතිහාසගත අපූරු කතාවක්ද තිබෙනවා.

මෙම ලිපිය ආරම්භයේදී අපර්ණාව සිනමාවට හඳුන්වා දුන් සත්‍යජිත් රායි පිලිබඳ සඳහන් කර තිබෙනවා. රායිගේ Teen Kanya චිත්‍රපටයට සම්බන්ද වීම තුලින් රායි අපර්ණා සෙන්ගේ සිනමා දිවිය තුල ප්‍රධාන උපදේශකවරයෙක් බවට පත් වනවා. අපර්ණා ප්‍රථමයෙන්ම 36 Chowringhee Lane හි පිටපත රචනා කර ඇගේ මිතුරන් වෙත ඉදිරිපත් කරද්දී, ඔවුන් එම පිටපතට ප්‍රසාදය පල කරත් එය බොහෝ සෙයින් ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවී තිබුණු නිසා සමස්තයක් වශයෙන් දක්වා ඇත්තේ සෘනාත්මක ප්‍රතිචාරයක්. ඔවුන් බහුතරයකගේ මතය වී ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණය වන චිත්‍රපටයකට, නිෂ්පාදකවරයෙකු සොයා ගැනීම අතිශයින්ම අපහසු කාර්යක් බව. ඒ සමගම මහළු කාන්තාවකගේ හුදෙකලාව වටා ගෙතුණු මෙවැනි කතාවක්, ප්‍රේක්ෂකාගාරය කොයි ආකාරයෙන් බාර ගනීවිද යන කාරණය පිලිබඳවත් ඔවුන් අදහස් ප්‍රකාශ තිබෙනවා. අපර්ණා මෙම ප්‍රතිචාර හමුවේ සැලෙන්නේ නැත. ඇය 36 Chowringhee Lane පිටපත රායි වෙත ඉදිරිපත් කරනවා. සම්පුර්ණ පිටපත කියවා මාස කිහිපයකට පසුව, ඔහු එම පිටපත පිලිබඳ ඉතාම සෑහීමකට පත් වුන වග අපර්ණා වෙත දැණුවත් කරනවා. මෙයට නිෂ්පාදකවරයෙකු සොයා ගැනීම වෙනුවෙන්ද ඔහු අපර්ණාට සහායක් දක්වනවා. එවකට රංගන ශිල්පියෙක් සහ නිෂ්පාදකවරයෙකු ලෙස නමක් දිනා සිටි ශෂී කපූර්, මෙයට සුදුසුම නිෂ්පාදකවරයා ලෙස රායි යෝජනා කරනවා. ඔහුට මෙය සම්බන්දව ලිපියක් ඉදිරිපත් කරන ලෙස, රායි අපර්ණා වෙත යෝජනා කරනවා. ශෂී කපූර් මෙම චිත්‍රපටයේ නිෂ්පාදකවරයා ලෙස ඉදිරිපත් වීමත් සමගම මෙහි ප්‍රධාන චරිතය වෙනුවෙන් ඔහුගේ බිරිඳ වූ Jennifer Kendal ද සම්බන්ද වනවා. අපර්ණා පවසන අන්දමට රායිගේ දිරිමත් කිරීමක්‌ නොතිබුනා නම්, 36 Chowringhee Lane වැනි චිත්‍රපටයක් එවකට නිර්මාණය නොවන්නට ඉඩ තිබුනු වග . නමුත් අපර්ණාගේ මෙම නිර්භීත තීරණය, ඉන්දියානු සිනමාව තුල ඉංග්‍රීසි භාෂාවෙන් චිත්‍රපට නිර්මාණය කිරීමට නව මාවතක් විවර කළා. එහි ප්‍රතිපලයක් වශයෙන් දීපා මෙහ්තා, මීරා නායර්, ගුරින්දර් චද්දා, රිතුපර්නෝ ගෝෂ් සහ අපර්ණා සෙන්ගේම දියණිය වූ කොන්කොනා සෙන් ශර්මාද ඔවුන් අධ්‍යක්ෂණය කළ නිර්මාණයන් තුල මෙය අනුගමනය කළාය.

36 Chowringhee Lane චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමත් සමග අපර්ණා ඉන්දියානු සම්මාන ඉතිහාසයේ ප්‍රමුඛ වාර්තාවක් තබනවා. ඒ ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂකට හිමි සම්මානය ජයග්‍රහණය කළ ප්‍රථම කාන්තාව වීමෙන්. මීට අමතරව ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ හොඳම ඉංග්‍රීසි භාෂිත චිත්‍රපටයට හිමි සම්මානයද මෙම චිත්‍රපටය වෙනුවෙන් ජයග්‍රහණය කරනවා. ඇගේ ප්‍රථම සිනමා නිර්මාණයෙන් අනතුරුව, කාන්තාවන් මූලික කර ගත් විවිද වූ සංකීර්ණ තේමාවන් ඔස්සේ අපර්ණා අධ්‍යක්ෂණයේ නියැලෙනවා. ඇගේ දෙවන සිනමා නිර්මාණය වන Paroma ද (1984), ඊට ප්‍රභල උදාහරණයක්. Paroma හි කතා තේමාව වූයේ සම්ප්‍රදායික ගෘහණියක්ව සිටින මැදිවියේ කාන්තාවකට මුහුණපාන්නට සිදුවන සංකීර්ණ සිදුවීමක් වටා. එවැනි කාල පරාසයක ඉතාම ආන්දෝලනාත්මක තේමාවක් අපර්ණා නොබියව ඉදිරිපත් කළා. අපර්ණා 2000 වසරේ නිර්මාණය කළ Paromitar Ek Din ද ඇගේ සුවිශේෂී නිර්මාණයක්‌. නැන්දම්මා සහ ලේලී කෙනෙක් අතර ඇති වන සංවේදී බැඳීමක් පිලිබඳව කළ අපූරු නිර්මාණයක්‌ එය. මෙහි නැන්දම්මාගේ චරිතය අපර්ණා රඟ දැක්වීමද විශේෂයි. Paroma, Yugant (1995) සහ Paromitar Ek Din යන නිර්මාණ ත්‍රිත්වයම ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ හොඳම බෙන්ගෝලි භාෂිත චිත්‍රපටය ලෙස සම්මාන ලබා තිබෙනවා.

2002 ඇය නිර්මාණය කළ Mr. and Mrs. Iyer ඇය එතාක් කළ කාන්තා මූලික නිර්මාණ වලින් වෙනස් හැඩරුවක් ගත්තා. ඊට හේතුව මෙය අදටත් ඉන්දීය සමාජයේ ගැබ්ව තිබෙන හින්දු මුස්ලිම් ගැටුම පාදක කර ගැනීමයි. මෙහි ප්‍රධාන කාන්තා භූමිකාව වෙනුවෙන් අපර්ණා යොදාගන්නේ ඇගේ දියණිය වන කොන්කොනා සෙන් ශර්මාවයි. මෙය ඉංග්‍රීසි භාෂිත චිත්‍රපටයක්. මෙයට අපර්ණා මෙන්ම ඇගේ දියණිය වන කොන්කොනාද ඉතා ඇගයීමකට පාත්‍ර වනවා. අපර්ණා හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් ඇගේ දෙවෙනි ජාතික චිත්‍රපට සම්මානය ලබා ගන්නවා. අදටත් මෙම සම්මානය ජයග්‍රහණය කළ එකම කාන්තාව වශයෙන් ජාතික චිත්‍රපට සම්මාන ඉතිහාසයේ සිටින්නේ අපර්ණා පමණයි. මෙහි ඉදිරිපත් කළ විශිෂ්ට රංගනය වෙනුවෙන් කොන්කොනා සෙන් ශර්මාද එම චිත්‍රපට උළෙලේ හොඳම නිළිය ලෙස සම්මාන ලබනවා. මීට අමතරව හොඳම තිර රචනයට හිමි සම්මානයද අපර්ණා ජයග්‍රහණය කරනවා.

15 Park Avenue (2005), The Japanese Wife (2010), Iti Mirnalini (2011), Goynar Baksho (2013) සහ ඇගේ නවතම නිර්මාණය වන The Rapist (2022) වෙනුවෙන්ද ඉතා ඉහල ඇගයීම් ලැබීමට සමත්වී තිබෙනවා.

අපර්ණා සෙන්ගේ බහුතරයක් නිර්මාණයන් කාන්තාවන් මූලික කර ගත් නිසා ඇයට ස්ත්‍රීවාදී නිර්මාණකාරණියක් යන ආමන්ත්‍රණයද ලැබී තිබෙනවා. වරක් අපර්ණාගෙන් මේ පිලිබඳ ඇසූ පැණයකට ඇය දුන්නේ මෙවැනි පිළිතුරක්. " මම පැහැදිලවම ස්ත්‍රීවාදිනියක්. නමුත් මගේ නිර්මාණයන් ඇතුලේ මම බොහෝ සෙයින් අවදානය යොමු කරන්නේ මානුෂවාදය පිලිබඳව. ස්ත්‍රීවාදය මට අනුව එවැනි මානුෂවාදී තේමාවක්. නමුත් මම කිසි සේත්ම එය බලහත්කාරයෙන් ඔබවපු විප්ලවවාදී දේශපාලනික මාතෘකාවක් ලෙස මගේ නිර්මාණයන් තුල ඇතුලත් කරන්නේ නැහැ ".

මෙම වසරට අපර්ණා සෙන්ට අවුරුදු 79 ක්‌ සම්පූර්ණ වනවා. ඒ කෙසේ නමුත් ඇගේ නිර්මාණකරණයට තවම ඇය තිතක් තබා නොමැත.

රමිත විමුක්ති

Back to top
Go to bottom

Popular News