lan englan tam

පුවත්

'විලන්' ලෙස ආ 'විරාන්'; දර්ශන් තවරාජා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඔහු ප්‍රේමවන්තයකු ලෙස පළමු අත්දැකීම ලබන්නේ ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන See You ටෙලි නිර්මාණයේ විරාන් හරහාය. මෙතෙක් විලන්ගේ චරිතයටම කොටු වී සිටි ඔහු See You හරහා ප්‍රේක්ෂකයා වෙනස්ම මානයකට ගෙන යෑමට සමත් වී තිබේ. මන බඳිනා කඩවසම් රුව මෙන්ම ඔහුටම ආවේණික කතා විලාසය ඔහු වෙත ගෙන එන්නේ ආකර්ෂණීය බවකි. වයස් භේදයකින් තොරව මේ දිනවල ප්‍රේක්ෂක ආදරය විඳින ඔහු දර්ශන් තවරාජාය.

දර්ශන් මේ දවස්වල ආදරවන්තයෙක් වෙලා නේද? කොහොමද ඒ අත්දැකීම?

ඔව්. ධනුෂ්ක රත්නායකගේ See You ටෙලි නිර්මාණයේ විරාන් විදිහට මං මේ දවස්වල ආදරේ කරනවා. ආදරේ විඳිනවා. සිංහල ටෙලි නිර්මාණයක ප්‍රධාන චරිතය රඟපාන පළමු අවස්ථාව. මෙතෙක් මට රඟපාන්න ලැබුණෙ විලන්ගෙ චරිත. විරාන් ඊට එහා ගිහින් මගේ දක්ෂතා පෙන්වන්න ලැබුණු හොඳ අවස්ථාවක්. ඒ නිසා ඒක මට විශේෂයි. විලන් කැරැක්ටර්වල තියෙන්නෙ එකම මූඩ් එකක්. ඒත් විරාන් හරහා පැති කිහිපයක් ස්පර්ශ කරන්න පුළුවන් වුණා. හොඳ නරක දෙපැත්තම ඉස්මතු කරන චරිතයක් නිසා විරාන් මට වෙනස්ම අත්දැකීමක් වුණා.

 

විරාන්ට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?

මම හිතුවෙ නැති තරම් ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා. ඒත් ඒ ප්‍රතිචාරවලින් කියන හැමදේම මගේ ළඟ තිබුණ දේවල් නෙවෙයි. මුලදි මට හරියට සිංහල කතා කරන්නවත් බෑ. ධනුෂ්ක අයියා, ශලනි ඇතුළු කණ්ඩායමෙන් ලොකු සහායක් ලැබුණා. ඒක මට ලොකු අත්දැකීමක් වුණා. ලැබෙන ප්‍රතිචාර දැක්කම මට හිතෙනවා මං ඒ කැරැක්ටර් එකට සාධාරණයක් කළා කියලා. මාව විරාන් විදිහට භාර අරන් ප්‍රතිචාර දක්වන මගේ ප්‍රේක්ෂකයන්ට බොහොමත් ස්තුතියි. රඟපෑමෙන් ලැබෙන මුදලටත් වඩා මං ගොඩක් කැමැති මේ ලැබෙන ප්‍රතිචාරවලට.

 

දර්ශන් කියන්නෙ දැන් සිංහල ටෙලි නාට්‍ය කලාවටත් නැතුවම බැරි කෙනෙක්. මේ ආව ගමන් මඟ ගැන කියනවනම්?

ශක්ති ටීවී එක තමයි මගේ ආරම්භය. අවුරුදු 8ක් මං වැඩ කළේ ප්‍රඩක්ෂන් ඇසිස්ටන්ට් විදිහට. නිව්ස් රීඩින් ඇරෙන්න ඇක්ටින්, ප්‍රසන්ටින් මේ හැමදේම එතැනදි කළා. එපිසෝඩ් 15ක් වගේ දිවෙන ටැමිල් ටෙලි ඩ්‍රාමා 8කට විතර රංගනයෙන් දායක වුණා. ටෙලි ෆිල්ම්වල ප්‍රධාන චරිත කළා. ඒ අතරේ මට සිංහල ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ නිරංජනී ශම්මුගරාජා නිසා. ඇය මට දවසක් කෝල් කරල කිව්වා තිලිණ බොරලැස්සගේ සිංහල ටෙලි ඩ්‍රාමා එකක ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියෙනවා. ගිහින් බලන්න කියලා. ඒ විදිහට තමයි මට හිතුවක්කාර ටෙලි නිර්මාණයේ විලන් කැරැක්ටර් එකට සම්බන්ධ වෙන්න ලැබු‍ෙණ. ඊට පස්සේ ඔහුගේම ශක්ති ටෙලි නිර්මාණය. See You කියන්නෙ මගේ තුන්වැනි අත්දැකීම. ආරාධනා නම් ගොඩක් ලැබෙනවා. See You කරන අතරෙත් සිනමාවට සම්බන්ධ වෙන්න හොඳ අවස්ථාවක් ආවා. ඒත් මං ඒක අත්හැරියා. ගොඩක් වැඩ පටලවා ගත්තොත් කරන වැඩේට සම්පූර්ණයෙන්ම ෆෝකස් වෙන්න බැරි වෙනවා.

 

ඔබ සිංහල භාෂාව හසුරුවන විදිහෙත් අමුතු කලාවක් තියෙනවා. භාෂාව ඔබට අභියෝගයක් වුණේ නැද්ද?

ස්ක්‍රිප්ට් එක කියවලා, අනෙක් අය කතා කරද්දි අහන් ඉඳලා ටික ටික ප්‍රැක්ටිස් වෙලා දැන් මට ටික ටික සිංහල පුළුවන්. ගොඩක් දෙනා මට කියනවා ඔය විදිහටම කතා කරන්න, හොඳටම සිංහල පුරුදු වුණොත් ඔයාගෙ යුනික්නස් එක නැති වේවි කියලා. මමත් ආසයි ඒකට. තිළිණ අයියගේ හිතුවක්කාර ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙද්දි මට සිංහල වචනයක්වත් බෑ. ඔඩිෂන් එකේදි ටැමිල් ටෙලි ඩ්‍රාමා එකක විලන් කැරැක්ටර් එකක් දැකලා ඔයාව තමයි මට ඕන කියලා ඔහු මාව තෝරගත්තා. මට සිංහල බෑ කිව්වම බය වෙන්න එපා මං සපෝට් කරන්නම් කියලා ඔහු එදා මාව සිලෙක්ට් කරගත්තා. ඊට කලින් සිංහල ටෙලි ඩ්‍රාමා ඔඩිෂන් එකකදි මාව රිජෙක්ට් වුණේ සිංහල බැරි නිසා. එදා තමයි මට සිංහල පුරුදු වෙන්න ඕන කියන සිතුවිල්ල තදින්ම දැනුණේ.

 

හිතුවක්කාර නිසා රස්සාවත් නැතිකර ගත්තලු නේද?

ඔව්. ඒකට සම්බන්ධ වෙන්න ආයතනයෙන් මට අවසර ලැබුණෙ නැහැ. මට මගේ හීනවලට යන්න ජොබ් එකෙන් අයින් වෙන්න වුණා. ඒත් තිළිණ අයියා කිව්වා මේකෙන් පස්සෙ වෙන චාන්ස් ලැබේවි කියල මට කියන්නත් බෑ. මගේ ඊළඟ එකට ඔයාව ගන්නවම කියල මට පොරොන්දු වෙන්නත් බෑ, ඒ නිසා ඔයා රිස්ක් එකක් ගන්න එපා. ආයිම වැඩක් කළොත් අනිවාර්යයෙන් හමුවෙමු කියලා. ඔයාට මාව ඕන කිව්වනේ. ඔයාගෙ ඊළඟ එකට මාව ගන්න කියන්නෙත් නෑ, ඔයා නිසා මගේ රස්සාව නැතිවුණා කියල මං කවදාවත් කියන්නෙත් නෑ. මං මේ රිස්ක් එක ගන්නෙ මගේ කැමැත්තෙන් මගේ හීනෙට යන්න මට වැඩ කරන්න ඕන නිසා කියලා මං කිව්වා. එ්කේ මට තිබුණේ දවස් හතරක ෂූට් එකක්. දවස් හතරක් වෙනුවෙන් තමයි මං මගේ අවුරුදු 8ක රැකියාව අත්හැරියේ.

 

පූජා උමාශංකර්ගේ චිත්‍රයක් ඇඳල ඒක ඇයට දෙන්න ගොඩක් කල් බලාගෙන හිටියා කියන කතාව ඇත්තද?

ඔව්. ඔව්. ඒ කාලෙ මං ආර්ටිස්ට්ලගෙ චිත්‍ර ඇඳලා ඔවුන්ට දෙන්න ට්‍රයි කරනවා. ඒ අයගේ අවධානය ගන්න මං ආසයි. පූජා අක්කගේ පින්තූරයකුත් ඇඳලා එයාට දීලා එයා එක්ක ෆොටෝ එකක් ගන්න ආසාවෙන් හිටියා. ඒත් කවදාවත් ඒක කරගන්න බැරි වුණා. ඒක පූජා අක්කට දෙන්නම් කියලා කෙනෙක් මගෙන් අරගත්තත් ඒක අද වෙනකල් එයාට ලැබිල නෑ කියලත් මං දන්නවා. මෑත කාලෙක පූජා අක්කා මට කෝල් කරලා කිව්වා, මිනිස්සු මට මැසේජ් දානවා, දර්ශන් තවරාජා ඔයාගෙ පින්තූරයක් ඇඳගෙන ඔයාට දෙන්න බලන් ඉන්නවා. ඇයි ඔයා ඒක ගන්නෙ නැත්තෙ කියලා. කෝ ඒක තියන්න මම ගන්නවා කියලා එයා කිව්වා. මං ගොඩක් දුකෙන් හිටියෙ ඒක මට එයාට දෙන්න බැරි වුණානේ කියලා. ඒත් පූජා අක්කා කෝල් කළ නිසා දැන් මට ගොඩක් සතුටුයි.

නාමලී ගමගේ - රසඳුන

Back to top
Go to bottom

Popular News