මෙලිසා ඇත්තටම මොකද වුනේ ?
මම පාසල් ගියේ බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට. සාමාන්‍ය පෙළ අධ්‍යාපනය හැදෑරුවට පස්සේ ANC කියන කොලේජ් එකට සම්බන්ධ වෙලා එක අවුරුද්දක් ඉගෙන ගෙන ඉවර වෙලා මම මගේ නීති උපාධියට ඉගෙන ගන්න පටන් ගත්තා.
අවුරුදු 3ක් ඒ උපාධිය. මම උපාධිය පටන් අරගෙන කරද්දී මගේ මුල් අවුරුදු 2දීම සල්ලි ගෙව්වේ මගේ තාත්තා. මගේ දෙමව්පියන්ට සල්ලි තියෙනවා. නැතිව නෙවෙයි. නමුත් මට ඕනි වුනේ නැහැ ගෙදරට කරදර කරන්න.. මම පුංචි කාලේ ඉදන්ම මගේ වියදම් මමම හොයා ගන්න කැමති කෙනෙක්. මගේ උපාධියේ තුන් වෙනි අවුරුද්දට තමා ගොඩක්ම සල්ලි ඕනි වෙන්නේ. ඉතින් මම තීරණය කරා මමම සල්ලි හොයන්න. ඒ නිසා මම අවුරුද්දක් කැම්පස් එකෙන් නිවාඩු අරගෙන එක එක මාකටින් ජොබ් කරලා ඉගෙන ගන්න සල්ලි හෙව්වා. ඒ අතරේ මට එක්සටෙල් කියන ඕස්ට්‍රේලියන් කම්පැනි එකේ රස්සාවක් ලැබුනා. ඒ රස්සාව ලැබුන නිසා මම බැංකු ණයක් අරගෙන ආයෙත් ඉගෙන ගන්න පටන් ගත්තා. ඒ වෙද්දු මම ඒ ආයතනයේ ස්ථිර සේවිකාවකුත් නෙවෙයි. ඉතින් මට බැංකු ණයකුත් තියෙන නිසා මට බයක් තිබුනා. ඒ නිසා මන් පාර්ට් ටයිම් ජොබ් එකක් විදියට කරන්න පුළුවන් මාකටින් වැඩ හෙව්වා. එතකොට තමා මට දැන ගන්න ලැබුනේ. හෙනසී කියන ඩ්‍රින්ක් එකට මාකටින් වැඩ තියෙනවා කියලා. ඒ නිසයි මම බාර් වල වැඩ කරන්න පටන් ගත්තේ. නමුත් මම ෆුල් ටයිම් එක්සටෙල් කම්පැනි එකෙත් වැඩ කරලා පාර්ට් ටයිම් එකට බාර් වලත් වැඩ කරලා මගේ අධ්‍යාපන කටයුතුත් මම හරියට කරලා මගේ උපාධියත් ගත්තා. ඒ වගේම මම හැමදාම මගේ ඇග හදාගන්න ජිම් එකටත් ගියා.
ගෑනු ළමයෙක් විදියට රාත්‍රි කාලයේදී බාර් එකක් ඇතුලේ වැඩ කරන එක ලේසි වුනා ද ?
මට තිබුනේ බාර් එක ඇතුලේ තිබුනේ හැම සති අන්තයේම හෙනසී කොක්ටේල් එක ප්‍රමෝට් කරන්න. එක දවසකට පැය තුනක් වැඩ කරන්න තිබුනා. රෑ වෙලා බාර් එකේ වැඩ ඉවර වුනාට පස්සේ දවසේ ගිණුම් වාර්තා ලියලා ඉවර කරලයි අපිට ගෙදර එන්න පුළුවන්. ඒකට ආවට ගියාට කරපු ජොබ් එකක් නෙවෙයි. ඒ වගේම අපි කරන රැකියාවට අපිට එයාලා හොදට ගෙව්වා. එතැනට ආව පිරිමි අයගෙන් බලපෑම් ආවේ නැතිව නෙවෙයි. ගොඩක් බලපෑම් තිබුනා. නමුත් මම ගෑනු ළමයෙක් විදියට දැන ගන්න ඕනි මොලේ පාචිච්චි කරලා ඒ දේවල් වලින් බේරිලා ඉන්න. අපි බය වෙන්න හොද නැහැ ඒවාට. කවුරුත් අපි ලගට වැරදියට එනවා නම් තදින් කියලා දීලා එතනින් යන්න අපිට පුළුවන් වෙන්න ඕනි. ඒවා හොටෙල්ස් වල තියෙන බාර්. කාටවත් අපිව බලෙන් උස්සන් යන්න බැහැනේ. අනික බාර් එක ඇතුලේ අපිට ආරක්ෂාවක් තිබුනා. බාර් එකේ වැඩ කරන අය වුනත් අපිට එයාලගේ සහෝදරියන්ට වගේ සැලකුවේ.
මෙලිසාගේ දෙමව්පියෝ දැනගෙන හිටියා ද මෙලිසා මේ විදියේ රැකියාවක් කරනවා කියලා. ?
ඔව්, මම කිසි දෙයක් දෙමව්පියන්ගෙන් හංගන්නේ නැහැ. මගේ දෙමව්පියෝ වගේම මගේ යාළුවොත් දැනගෙන හිටියා මම මොකක්ද කරන්නේ කියලා. අනික මාව එක්සටෙල් එකේ ස්ථිර සේවිකාවක් කලාම මම හෙනසී එකෙන් අයින් වුනා. මගේ දෙමව්පියෝ දන්නවා මම කරන වැඩේ හරියට නිවැරදිව කැපවීමෙන් කරනවා කියලා. මගේ දෙමව්පියෝ වුනත් මට කියන්නේ මම කරන දේ නිවැරදි නම් ඒ ගැන විශ්වාස නම් මිනිසුන්ගේ කතා වලට බය වෙන්න නොවී ඉදිරියට යන්න කියලා. මගේ දෙමව්පියෝ යාළුවො නිසයි මම ශක්තිමත් වුනේ. මේ කටකතාවලදී වුනත් මගේ දෙමව්පියෝ මට මොකුත් කිව්වේ නැහැ, මොකද එයාල දන්නවා මම කවුද කියලා.
මේ වෙද්දී මෙලිසා ගැන සෑහෙන සමාජ කතිකාවතක් ඇති වෙලා තියෙනවා නේද ?
මම මේ ගැන පොස්ට් එක instagram එකේ දැම්මේ පසුගිය නොවැම්බරයෙදී. නමුත් මේ ඊයේ පෙරේදා තමයි කවුරු හරි ඕක දැකලා ලොකු දෙයක් කියලා ගොසිප් සයිට් වලට දීලා තිබුනේ. ඊට පස්සේ ඒක ලැව් ගින්නක් වගේ වුනා. හැමෝම හිතනවා ඇති මම මේ ගොසිප් ගැන හිතනවා වද වෙනවා කියලා. නමුත් මං කියන්න ඕනි. මට පොඩිම හරි ගානක්වත් නැහැ. මේක දැක්කම මගේ පවුලේ අය මගේ බෝයි ෆ්‍රෙන්ඩ් යාළුවො හැමෝම හොදටම හිනා වුනා. ඇත්තටම මේක පලවෙනි වතාව නෙවෙයි. පුංචි කාලේ ඉදන්ම මිනිස්සු මට ගොඩක් කතා කියලා තියෙනවා. මුල්ම කාලයේදී නම් මන් ඒවාට සැලිලා ගොඩක් ඇඩුවා. නමුත් ඒ අත්දැකීම් එක්ක මම ටික ටික ශක්තිමත් වුනා. දැන් මට මිනිස්සු මොන දේවල් කිව්වත් මම ගණන් ගන්නේ නැහැ. මොකද මම දන්නවා මම වැරදි දේවල් කරන කෙනෙක් නෙවෙයි කියලා. අනික මේ වෙද්දී මට බනිනවා මන් යට ඇදුම් ඇදගෙන ෆොටෝ දැම්මා කියලා. මම කල්බ් හවුස් ඉවෝල්ඩ් කියන බ්‍රෑන්ඩ් එකේ මොඩ්ල් කෙනෙක් විදියට වැඩ කරා. එකට ගත්තු ෆොටෝස් මිසක් ඒ මම නිකම් යට ඇදුම් ඇදලා ගත්තු ෆොටෝ නෙවෙයි ඒ. ඉතින් මට එක එක දේවල් කියලා මඩ ගහන මිනිසුන්ට මට කරන දේවල් වලට මට තවම බනින මිනිසුන්ට මං සමාව දෙනවා. ඒ වගේම කියන්න ඕනි සමාජ ජාලා ඇතුලේ මන් වෙනුවෙන් කතා කරන පෙනී සිටින හැමෝම මන් ආදරයෙන් සිහිපත් කරනවා. මම එයාලට ගොඩාක් ගරු කරනවා.
මෙලිසාට හිතෙන විදියට මෙලිසා නීතිවේදිනියක වීම නිසා ද මිනිස්සු මෙච්චර චෝදනා කරන්නේ ?
ලංකාවේ මිනිස්සු සමාජ මතයක් හදාගෙන තියෙනවා. නීතිඥවරියෙක් නම් මෙහෙම වෙන්න ඕනි. ගෑනු ළමයෙක් නම් මෙහෙම වෙන්න ඕනි කියලා. ඒත් මේක මුළු ලෝකයම වෙනස් වෙන කාලයක්. අපි දැනගන්න ඕනි අපි අතීතයේ කරපු කියපු දේවල් නෙවෙයි අපි හැසිරෙන විදියයි අපි ගැන තීරණය කරන්නේ කියලා. මම නීතිවේදිනියක් හැටියට මගේ හැකියාවයි මගේ පෞද්ගලික ජීවිතය මම ගත කරන විදියයි හරිම වෙනස්. මම නීති වේදිනියක් විදියට වැඩ කරද්දී මට පුළුවන් උපරිමයෙන් කැප වෙලා මගේ වෘත්තිය මම කරනවා. මට ලස්සන ඇගක් තියාගෙන මගේ පෞද්ගලික ජිවිතේ මම කොහොම ගත කරත් මට ඒ වගේම පෙන්නන්න පුළුවන් මම නීති වෘත්තීය පැත්තෙනුත් හැකියාවක් තියෙන කෙනෙක් කියලා. මම මගේ වෘත්තියයි මගේ ජීවිතයයි පටලවා ගන්න කෙනෙක් නෙවෙයි. මට ඇත්තටම ඕනි වුනේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්න. ෂොට්ස් ඇදන් ජිම් එකේ ඉදන් පෝස් කරා කියන එක වැරදි දෙයක් නෙවෙයි. ඒක එහෙනම් පිරිමි ළමයිනුත් කරනවා. ගෑනු ළමයෙක් කොටට අදින එක වැරදි දෙයක් නෙවෙයි. මට කියන්න ඕනි ඔයාලට ඕනි විදියට ඔයාල ජිවිතේ ගෙවන්න. ඔයාල කාටවත් හිංසාවක් කරන්නේ නැති නම් ඔයා වැරදිකාරයෙකු නෙවෙයි. ඔයා ඔයාම වෙන්න. ඔයාට ආදරේ කරන අයට ඔයත් ආදරේ කරන්න කියලා. තමන් ආස දේ කරලා ඉස්සරහට යන්න කියල මම කැමතියි හැමෝටම කියන්න.
පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන තියෙන චෝදනා වලට මේ වෙද්දී මෙලිසාවත් ගෑවිලා තියෙනවා?
අපි ඔක්කොම එක වගේ මිනිස්සු අපි පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ගියත් සාමන්‍ය නිදහස් අධ්‍යාපනය තියෙන විශ්ව විද්‍යාලයකට ගියත් අපේ ජිවිතේ වෙනස් වෙන්නේ ඒ හින්දා නෙවෙයි. අපේ ජිවිතේ වෙනස් වෙන්නේ අපි කරන වැඩේ මොකක් උනත් කැපවීමෙන් කරොත් විතරයි. මට සල්ලි තිබුනේ නැහැ කියලා මම ඒක අතහැරලා දැම්මේ නැහැ. මමත් වැඩ කරා. නිදහස් අධ්‍යාපනය ලබන කැම්පස් වල ළමයිනුත් වැඩ කරනවා. අපි ඔක්කොම එක වගේ. අපි හිතන්න ඕනි බුද්ධිමත්ව හරියට හිතලා මහන්සි වෙලා වැඩ කරලා ජීවිතය දිනන්න මිසක් ඒ දේ කරන්න ඔයාගේ ස්කොලේ මොකක්ද ඔයාගේ විශ්ව විද්‍යාලය මොකක් ද කියන එක වැදගත් දෙයක් නෙවෙයි.
ලංකාවේ නීතිඥ වෘත්තීය ඇතුලේ තියෙන අසාධාරණකම් ගැන මෙලිසාගේ මතය මොකක්ද ?
මම තවම නීතිඥවරියක් නෙවෙයි. මොකද මම ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයට මුහුණ දුන්නේ නැහැ. ඒ නිසා මම නීතිඥවරයෙක් විදියට දිවුරුම් දීලා නැහැ..මම තවම llb උපාධිය ගත්තු නිතිවේදිනියක් පමණයි. මට ලංකාවේ අනාගතයේ එහෙම උසාවි වල වැඩ කරන්න අවශ්‍යතාවයක් සිතුවිල්ලක් තිබුනේ නැති නිසයි මන් එයට පෙනී නොසිටියේ. මට ඊලගට මගේ මාස්ටර්ස් කරන්නයි හිතාගෙන ඉන්නේ. ඒත් මම දන්නා ගොඩක් නීතිඥවරුන් ඉන්නවා. ඔවුන් කියලා තියෙනවා මට නීතිඥ වෘත්තියේ යෙදන අය අතින් මේ වගේ අකටයුතුකම් සිද්ධ වෙනවා කියලා. මම මගේ මාස්ටර්ස් වලට ලංකාවෙන් යනවා. මම මගේ මාස්ටර්ස් ඉවර වෙලා කවදාහරි ලංකාවට ආවොත් මම අනිවාර්යෙන්ම ඒ කටයුතුකම් වලට විරුද්ධව සටන් කරනවා. මම අවුරුදු 13දී පටන් ගත්තු අසාධාරනකම් වලට විරුද්ධ මගේ සටන උසාවියේ තියෙන අසාධාරණකම් වලට විරුද්ධවත් ගෙනියනවා.
ලංකාවේ කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරලා නමක් හදාගන්න බහුතරය පසුකාලින දේශපාලනයටත් එනවනේ.. මෙලිසාත් දවසක දේශපාලනයට එනවා ද ?
මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම දේශපාලනයට ආසයි. අපි දෙයක් කරනවා නම් මේ ලෝකේ වෙනසක් කරන්න ඕනි නම් අපි අපිට ස්ථාවරයක් හදාගන්න ඕනි. එතකොට තමා කවුරු වුනත් අපිට ඇහුම්කම් දෙන්නේ. ඉතින් මම දවසක දේශපාලනයට එන්නත් ඉඩ තියෙනවා. . තව අවුරුදු 5, 6ක් ගියාම මට ඒ දේ කරන්නත් පුළුවන් වෙයි.
සංවාදය - අරුණි කළුපහන