චීනයේ ජනප්‍රිය තාරකා යුගලයක් වන හුවාං සිටාඕ (Huang Zitao) සහ ෂු යියැංගේ(Xu Yiyang) මෙරට සංචාරක ප්‍රවර්ධනය අරමුණු කොට ගෙන නිර්මාණය වන 'Serendipitous journey' රියැලිටි වැඩසටහනේ කොටස් කිහිපයකට දායක වී තිබෙනවා.
ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා චීනයේ ප්‍රධාන ඩිජිටල් මාධ්‍ය ආවකාශයක් වන වන ‘මැංගෝ ටීවී’ හි නිෂ්පාදක කණ්ඩායමක් ලංකාවට පැමිණියේ පසුගියදායි.
ඒ අනුව මිලියන ගණනක ප්‍රේක්ෂකයන්ගේ නැරඹුම් වාර සහිත වැඩසටහනක් වන මැංගෝ TVහි 'Serendipitous journeys'(සෙරන්ඩිපිටස් ජර්නීස්) රියැලිටි වැඩසටහනේ කොටස් කිහිපයක් ශ්‍රී ලංකාවේ දී රූගත කරනු ලැබුවා.
එම වැඩසටහනේ පැය එක හමාරක කොටස් 06ක් මෙරට තුළ රූගත කරමින් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය සහ ජීවන ශෛලිය මෙන්ම ස්වභාවික සෞන්දර්යය ලෝකයට ගෙන යෑම එහි අරමුණයි.
මෙම වැඩසටහන ඉදිරිපත් කිරීමට දායක වූයේ චීනයේ ජනප්‍රිය තරු යුගලයක් වන හුවාං සිටාඕ (Huang Zitao) සහ ෂු යියැංගේ(Xu Yiyang) යන දෙපළයි.
‘Tao’ යන අනුවර්ථ නාමයෙන් හැදින්වෙන Huang Zitao ජනප්‍රිය දකුණු කොරියානු සංගීත කණ්ඩායමක් වන ‘EXO’ හි හිටපු ගායකයෙකු මෙන්ම සිනමා නළුවෙකු ද වනවා. Xu Yiyang ද ජනප්‍රිය චීන නිළියක මෙන්ම ගායන ශිල්පිනියක් ද වනවා. එමෙන්ම ඔවුන් වටා ඩිජිටල් මාධ්‍ය අවකාශයේ මිලියන එකසිය විස්සකට වඩා වැඩි අනුගාමිකයින් (followers) සංඛ්‍යාවක් ද එක්වී සිටිනවා.
හුවාං සිටාඕ (Huang Zitao) සහ ෂු යියැංගේ(Xu Yiyang) ගේ ඡායාරූපයක්
වැඩසටහනට අදාල රූගත කිරීම් ත්‍රිකුණාමලයේ වෙරළාසන්න ප්‍රදේශයක සිදු වූ අතර හුවාං සිටාඕ සහ ෂු යියැංගේ යුවල ගැමි නිවසක නවාතැන් ගනිමින් ගැමි ජීවිතයක් ගතකරන ආකාරයේ මානවීය ප්‍රවේශයක් සහිතව වැඩසටහන තුළ ඉදිරිපත් වනවා.
ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වය සහ සංස්කෘතික විවිධත්වය ප්‍රදර්ශනය කිරීමට දිවයින පුරා අමතර දර්ශන ද මෙම වැඩසටහනට ලබා ගෙන තිබෙනවා. මෙහි නිෂ්පාදන කටයුතු සඳහා ඩ්‍රෝන කැමරා 20ක් ඇතුළුව ටොන් 1.5ක් තරම් ප්‍රමාණයක කැමරා උපකරණ ආදිය භාවිත කළ බවයි නිෂ්පාදක කණ්ඩායම පවසන්නේ.
එසේම මෙම වැඩසටහන 2025 ජූලි මාසයේදී 'Mango Tv' හරහා විකාශය කිරීමට බලාපොරොත්තු වන බව ද සදහන්.
පසුගියදා මෙහි රූගත කිරීම් අවසන්වීමෙන් පසු එහි නිෂ්පාදක කණ්ඩායම හා වැඩසටහන ඉදිරිපත් කළ ශිල්පීන් ඇගයීමට ලක්කරමින් උත්සවයක් ද විදේශ කටයුතු හා සංචාරක අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් සිදු කෙරුණා. ඊට විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත් ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් සහභාගී වූවා..