1987 වසරේ තිරගත වූ දෙමළ චිත්‍රපටයක් වන නායකන් චිත්‍රපටයෙන් පසු, ඉන්දීය නළු කමල් හසන් සහ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ මනි රත්නම් සුසංයෝගය 'තග් ලයිෆ්' චිත්‍රපටය හරහා නැවත රීදී තිරයට පැමිණ තිබේ.
'තග් ලයිෆ්' චිත්‍රපටයේ සංගීත නිර්මාණය කොට ඇත්තේ ප්‍රවීණ සංගීතඥ ඒ.ආර්. රහ්මාන් විසිනි.
කමල් හසන්ගේ රසිකයන් ඔහුව හඳුන්වන්නේ "උලග නායගම්", එනම් "ලෝක නායකයෙක්" ලෙසයි.
ඉන්දියාවේ බොහෝ දෙනෙකු කමල් හසන් හඳුන්වනු ලබන්නේ, සිය චිත්‍රපට තුළින් සමාජීය ගැටලු ගැන කතා කිරීමට මැලි නොවන, බොහෝ විට කුල ධූරාවලීන් අභියෝගයට ලක් කරන සහ තම සිනමා කෘති තුළින් මානවවාදය ප්‍රවර්ධනය කරන ලිබරල් හඬක් ලෙසය.
ඔහුගේ චිත්‍රපට කිහිපයක්ම ඔස්කාර් සම්මාන උළෙල සඳහා ඉන්දියාව විසින් ඉදිරිපත් කරනු ලැබීය.
කමල් හසන් යනු නර්පානි ඉයක්කම් හෙවත් "යහපත් ක්‍රියාවන් සඳහා වූ ව්‍යාපාරය" ලෙස හඳුන්වන දහස් ගණනක් රසික සමාජ ඇති ඉන්දියානු සිනමා තරු අතළොස්සෙන් කෙනෙකි.
වීරත්වය ප්‍රවර්ධනය කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම වෙනුවට, කමල් හසන් මෙම රසික සමූහයන්, සමාජ සුභසාධන කටයුතු කෙරෙහි අවධානය යොමු කරන සංවිධාන බවට පරිවර්තනය කළේය.
තමාගේම දේශපාලන පක්ෂයක් නිර්මාණය කරමින් දේශපාලනයට පැමිණි ඔහු දැන් දේශපාලනඥයෙකු ද වන අතර, ඔහු ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයට (රාජ්‍ය සභාවට) නම් කරනු ඇතැයි අනුමාන කෙරේ.
ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය ඉන්දීය නළුවෙකු වන කමල් හසන් මෙරට ප්‍රේක්ෂකයින් තුළ තව තවත් මෑතකාලීනව ජනප්‍රියත්වයට පත්වුණේ, ඔහු රඟ පෑ දෙමළ චිත්‍රපටයක් වන "පාපනාසම්" සිංහලට ප්‍රතිනිර්මාණය වීමත් සමගය.
කමල් හසන් ආන්දෝලනාත්මක සිද්ධිවලට ද ආගන්තුකයෙකු නොවන අතර ඔහු බොහෝ විට සංවේදී කාරණා සම්බන්ධයෙන් නිර්භීතව හා සෘජුව අදහස් දක්වා තිබේ.
තග් ලයිෆ්' පිළිබඳ මතභේදය
ජුනි 5 වන දින 'තග් ලයිෆ්' චිත්‍රපටය එළි දැක්වීමට නියමිතව තිබියදී, කමල් හසන් මෑතකදී කළ තවත් ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද ආන්දෝලනයකට මුහුණ පෑවේය.
ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බහුලව කතා කරන, කන්නඩ භාෂාව දෙමළ භාෂාවෙන් ජනිත වූ බවට ඔහු පවසා තිබුණි. මෙම ප්‍රකාශය ඔහුට එරෙහිව විරෝධතා ඇති කිරීමට හේතු විය.
ඔහු සමාව නොගන්නේ නම්, කර්ණාටක ප්‍රාන්තයේ 'තග් ලයිෆ්' චිත්‍රපටය තහනම් කරන ලෙසට ද ඉල්ලීම් ඉදිරිපත්ව තිබේ.
නමුත් කමල් හසන් සෘජුව පෙනී සිටිමින් අවධාරණය කළේ, තමන් වැරදි දෙයක් පවසා නැති නම්, සමාව නොගන්නා බවයි.
කමල් හසන් මතභේදයන්ට මුහුණ දීම අලුත් දෙයක් නොවන අතර ඇතැම් විට ඒවා සමාජීය, ආගමික, සිනමා, දේශපාලනික හෝ ඒ සියල්ලේ මිශ්‍රණයක් විය හැකිය.
තමිල්නාඩුවේ විශ්වරූපම් තහනම
කමල් හසන් චිත්‍රපට සම්බන්ධව ද මතභේදයන්ට ද මුහුණ දී තිබේ.
2013 දී, ඔහුගේ චිත්‍රපටය වන විශ්වරූප් (දෙමළ භාෂාවෙන් විශ්වරූපම් ලෙස නිකුත් කරන ලදී) ඉන්දීය රැඟුම්පාලක මණ්ඩලය විසින් අවසර ලබා දී තිබියදීත්, තමිල්නාඩුවේ එම චිත්‍රපටය තහනම් කරන ලදී.
සමහරු චෝදනා කළේ චිත්‍රපටය මුස්ලිම් විරෝධී බවත් ආගමික හැඟීම්වලට හානි කරන බවත්ය.
හසන් මුස්ලිම් සංවිධාන කිහිපයක් සඳහා චිත්‍රපටය ප්‍රදර්ශනය කළද චිත්‍රපටය තමිල්නාඩුවේ සති දෙකක් පමණ තිරගත නොවී පැවතුණි.
චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ඉන්දියාවේ ජාතික චිත්‍රපට සම්මාන දෙකක් දිනා ගත්තේය.
කෙසේවෙතත්, විරෝධතා මතු කළ දර්ශන කිහිපයක් නිහඬ කිරීමට (mute) හසන්ට සිදු විය.
මතභේදය අතරතුර, කමල් හසන් මාධ්‍ය හමුවක් පවත්වමින් සංවේදීව මෙසේ පැවසීය: "එම්. එෆ්. හුසේන්ට ඒක පුළුවන් නම්, හසනුත් ඒක කරනවා. මා වැනි කලාකරුවෙකුට රැඳී සිටිය හැකි සුරක්ෂිත තැනක් මට හොයා ගන්න වෙනවා - කාශ්මීරයේ ඉදලා කේරළය දක්වා, තමිල්නාඩුව හැර. තමිල් නාඩුවට ඕන මාව එළියට දාන්න."
එම්.එෆ්. හුසේන් යනු ජාත්‍යන්තරව පිළිගැනීමට ලක් වූ ඉන්දියානු චිත්‍ර ශිල්පියෙකු වූ අතර ඔහුට එරෙහි විරෝධතා හේතුවෙන් හෙතෙම ස්වයං-පිටුවහල්ව සිටි අතර පසුව ඔහුට කටාර් රාජ්‍යයේ පුරවැසිභාවය පිරිනමන ලදී.
කමල් හසන් දේශපාලනයට පිවිසීම
විශ්වරූපම් චිත්‍රපටය සඳහා හසන් තමාගේම මුදල් විශාල ප්‍රමාණයක් ආයෝජනය කර තිබූ අතර චිත්‍රපටය නිකුත් නොකළහොත් තමා බංකොලොත් විය හැකි බව පවසා තිබිණි.
එම සිද්ධියෙන් පසු, මහජනතාව කමල් හසන්ගේ නව මානයක් හඳුනා ගත් අතර - එය දේශපාලනිකව වඩාත් විවෘත භාවයෙන් යුතු එකක් විය. ඔහු තම අදහස් ප්‍රකාශ කිරීමට ට්විටර් (දැන් x) වෙත පිවිසියේය.
ඔහු වරක් තමිල්නාඩුව හැර යාම ගැන කලකිරී ප්‍රකාශ කර සිටියද, වසර කිහිපයකට පසු 2018 දී ඔහු තම දේශපාලන පක්ෂය වන මක්කල් නීදි මායම් (MNM) ආරම්භ කළේය - ඔහුගේ දේශපාලන ප්‍රකාශ මුල් කර ගනිමින් එහිදී ද මතභේද ඇති විය.
2019 දී තමිල්නාඩුවේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියකදී කමල් හසන් මෙසේ පැවසීය: "මං මේක කියන්නේ මේක මුස්ලිම් බහුතරයක් ඉන්න ප්‍රදේශයක් නිසා නෙවෙයි. මම මේක කියන්නේ ගාන්ධිගේ ප්‍රතිමාව ඉදිරිපිට - නිදහස් ඉන්දියාවේ පළමු අන්තවාදියා හින්දු භක්තිකයෙක්. ඔහුගේ නම නාතුරාම් ගොඩ්සේ."
1948 දී මහත්මා ගාන්ධි ව ඝාතනය කරනු ලැබුවේ නාතුරාම් ගොඩ්සේ විසිනි.
හසන් "අන්තවාදී"යන දෙමළ වචනය භාවිතා කළ නමුත් ඉංග්‍රීසි සහ හින්දි මාධ්‍යවල එම වචනය "ත්‍රස්තවාදියා" ලෙස උපුටා දක්වා තිබිණි.
මෙම ප්‍රකාශය පුළුල් විවේචනයට ලක් වූ අතර ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කරන ලදී.
කමල් හසන්- කුලය සහ ආගම
කමල් හසන් කුල ක්‍රමයට එරෙහිව දැඩි ලෙස කතා කර තිබේ. ඔහු වරක් ලියා ඇත්තේ තම දියණියන් පාසලට ඇතුළත් කරන අතරතුර, ආගම සහ කුලය දැක්වීම සඳහා අයදුම් පතේ සඳහන් තීරය පිරවීම ප්‍රතික්ෂේප කළ බවයි.
1990 දශකයේ දී පවා, ඔහු ජාතික චිත්‍රපට සම්මාන පහක් දිනා ගත්තේ ඔහුගේ දෙමළ චිත්‍රපටය වන තේවර් මගන් සමඟ කුල ආශ්‍රිත මතභේදයකට පැටලෙමිනි.
ඉන් තේවර් ප්‍රජාවට සම්බන්ධ ප්‍රචණ්ඩත්වය උත්කර්ෂයට නංවන බවට විචාරකයින් චෝදනා කළහ.
දේශපාලනික, ආගමික හෝ සමාජීය වශයෙන් බොහෝ මතභේද තිබියදීත්, කමල් හසන්ගේ කලාත්මක හා සිනමා ගමන අඛණ්ඩව වර්ධනය විය.
ඔහු විවිධ භාෂාවලින් ජාතික චිත්‍රපට සම්මාන හතරක් සහ ෆිල්ම් ෆෙයාර් සම්මාන 20 ක් දිනා ඇත.
පසුව, ඔහු තවදුරටත් තමන්ට චිත්‍රපට සම්මාන ලබා නොදෙන ලෙස ඉල්ලා සිටියේය, අධ්‍යක්ෂණය , නිෂ්පාදනය, ගායනය, ගීත රචනය යන අංශ වලින් ඔහු බහුවිධ සම්මාන දිනා ගෙන තිබේ.
"මම නිතරම කරදරවලට පැටලෙනවා. නමුත් මං මා එක්ක සැනසිල්ලේ නිදාගන්නවා. ඒක මගේ ප්‍රශ්නයක්. මට මගේ හෘදය සාක්ෂිය පැත්තකින් තියන්න බැහැ. මේ මිනිහා සෑම රාත්‍රියකම මාව අවදි කරලා මගෙන් ප්‍රශ්න අහනවා. සමහර වෙලාවට මට හරි උත්තරයක් නැහැ. අන්තිමේදී මං එයා ඉදිරියේ ලැජ්ජාවට පත් වෙනවා. " ඉන්දියානු මාධ්‍යවේදී සුභාෂ් කේ. ජා සමඟ කළ පැරණි සම්මුඛ සාකච්ඡාවකදී කමල් හසන් පවසා තිබුණි.
2005 දී TIME සඟරාව විසින් හොඳම චිත්‍රපට 100 අතරට ලැයිස්තුගත කරන ලද නායකන් චිත්‍රපටයෙන් පසු කමල් හසන්, මනි රත්නම් සමඟ නැවත එක්වන තග් ලයිෆ් චිත්‍රපටය වෙත මේවන විට සියලු දෙනාගේම දෑස් යොමු ව තිබේ.
කර්තෘ - වන්ද්නා (ජ්‍යෙෂ්ඨ පුවත් සංස්කාරක, බීබීසී පුවත්)
(BBC News සිංහල ඇසුරින් උපුටා ගන්නා ලදී)