ඔබ රංගනයෙන් දායක වෙන චිත්‍රපට දෙකක් ළඟදීම තිරයට එනවා. ඒ චිත්‍රපට ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙනද ඉන්නේ?
මම කරපු චිත්‍රපටවලින් මම කැමැතිම විදියේ චිත්‍රපට දෙකක් තමයි ධර්ම යුද්ධය. සහ හීන හොයන සමනල්ලු කියන්නේ. ඒ චිත්‍රපට දෙක දෙවිදියකට සෑහෙන දුරට සාර්ථකයි කියලා මට හිතෙනවා.
ධර්ම යුද්ධය කියන්නේ විදේශ චිත්‍රපටයක කොපියක්. ඒ චිත්‍රපටයේ ඔබ නිරූපණය කළේ රාණි කියන මවගේ චරිතය. ඒ චරිතය නිරූපණය කරද්දී ඔබ මුල් චිත්‍රපටයේ අභාෂය ලබා ගත්තාද?
මේ චිත්‍රපටය අනුකරණය කළ චිත්‍රපටයක් කියලා මම දැනගෙන හිටියා. මම අහම්බෙන් ඒ මුල් චිත්‍රපටය ටෙලිවිෂන් එකේ විකාශය වෙද්දී නරඹලා තිබුණා. හැබැයි ඒ චිත්‍රපටය තමයි ලංකාවේ කරන්නේ යන්නේ කිව්වම, මුල් චිත්‍රපටය එක්ක මම කිසිම සම්බන්ධයක් තියාගත්තේ නැහැ. අධ්යක්ෂවරයා කැමැති වුණා මේ චිත්‍රපටය කරද්දි අපි මුල් චිත්‍රපටය බලනවාට. හැබැයි මම කිව්වා ඒක ඒ තරම් සුදුසු දෙයක් නොවෙයි කියලා.
ඇයි ඒ?
අපිට ඒ අය කරපු එක කරන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. කතන්දරේනෙ එකම දේ වෙන්න ඕන. රංගනයේ එකම දේ වෙන්නේ නෑ. මුල් නිර්මාණයේ රඟපාපු ඒ රටේ ශිල්පීන් වෙනස්. අපි අපිට පුළුවන් විදියට නිර්මාණයට දායකත්වය දීලා තියෙන්නේ.
කෙනෙක්ව අනුකරණය කරන්න ඔබ කැමැති නැද්ද?
ඒක වැරැදි තීන්දුවක්. කවදාවත් අපි මුල් එක කියලා ඒ දේම කරන්න ඕන නැහැ. අනිත් අයව අනුකරණය කරන්න ගියොත් තමා කියලා කෙනෙක් නැති වෙනවා.
ඒත් අධක්‍ෂවරයාට එය අවශ්‍ය නම් රංගන ශිල්පීන්ට ඔහුට අවශ්‍ය දේ කරන්න වෙනවා නේද?
ඔහු ඉන්දියාවේ ඉඳන් ඇවිත් මුල් නිර්මාණය වගේම මේ නිර්මාණයත් කිරීමේ ආසාවෙන් හිටියේ. ඔහු ජැක්සන් කියන්නේ කවුද කියලා දැනගෙන හිටියේ නෑ. දිල්හානි කියන්නේ කවුද කියලා දැනගෙන හිටියෙත් නැහැ. ඔහු දැකලා තිබ්බේ ඒ මුල් නිර්මාණයේ හිටපු අය කරලා තිබුණු දෙයනේ. ඒ වගේම මේ නිර්මාණය ඒ විදියටම කරගන්න ඕන වුණාට ඔහුත් පස්සේ තේරුම් ගත්තා අපේ ස්ටයිල් එක වෙනස් කියලා. ඊට පස්සේ එයා දැන ගත්තා මේ නිර්මාණය මුල් නිර්මාණය වගේම වෙන්නේ නෑ කියලා. ඔහු අපිට ඒ කරන විදිය කරන්න පූර්ණ නිදහස දුන්නා.
චිත්‍රපටය නිම කළාට පස්සේ අධ්යක්ෂවරයා ඔබ ඇතුළු රංගන ශිල්පීන්ගෙන් ලැබුණු රංගන දායකත්වය ගැන සතුටු වුණාද?
අපව හමුවූ සතුට ඔහුට තිබ්බා. නමුත් අවාසනාවට ඔහු දැන් මිය ගිහින්. ඔහු හිටියා නම් මේ චිත්‍රපටය අපිත් එක්ක නරඹන්න එයි. ඔහුගේ ඒ සතුට අපිට දකින්න බැරි වුණා.
ඔබ ලංකාවේ අධ්යක්ෂවරු බොහෝ දෙනෙක් යටතේ වැඩ කර තිබෙනවානේ. ඉන්දියානු අධ්යක්ෂවරයෙක් යටතේ වැඩ කරද්දී මොන වගේ අත්දැකීමක්ද ලැබුණේ?
ඔහු හරි හොඳ අධ්යක්ෂවරයෙක්. හොද තේරුම් ගැනීමේ හැකියාවක් ඔහුට තිබුණා. අධ්යක්ෂවරයෙක් ඔහුගේ දැක්මක් එක්ක අවශ්‍ය මෙහෙයවීම් කරනවා. එක එක අධ්යක්ෂවරයා වෙනස්නේ. අපි අවුරුදු තිහක් විතර ඒවට මුහුණදීලා තෙම්පරාදු වෙලා ඉන්න නිසා කොහෙන් අධ්යක්ෂවරයෙක් ආවත් ලොකු අභියෝගයක් වෙන්නේ නැහැ. මොකද අත්දැකීම් බහුල නළු නිළියන් පිරිසක් තමයි ඒ නිර්මාණයේ හිටියෙත්.
ඔබේ රංගනය මේ නිර්මාණයෙන් දුටු බොහෝ අය කියනවා ඔබේ පරිණත වීමත් එක්ක ඔබේ රංගනයෙත් ඒ පරිණත ස්වභාවය දකින්න ලැබෙනවා කියලා. ඔබටත් එහෙම දැනෙනවාද?
ජීවිතය හරි විදියට මෙහෙයවා ගත්තොත් කරන කාර්යය සාර්ථකව කර ගන්න පුළුවන් කියන තැන තමයි මම කවදත් හිටියේ. ඒකට ලොකු අත්දැකීම් සම්භාරයක් අවශ්‍ය වෙනවා. අපි ජීවිතය දිහා බලන හැටි, සමාජයේ ඉන්න හැටි වගේම හැම දෙයක්ම අපිට අත්දැකීම්. කලාව කරන අයට මිනිස්සුන්ගේ ස්පන්දනයන් ඕන. වයසට යන්න යන්න ලබන අත්දැකීම් වැඩි වෙනවා. මම ලබන පන්නරය චිත්‍රපට තුළ තියෙනවා කියලා මම හිතනවා.
හීන හොයන සමනල්ලු චිත්‍රපටයේදී ඔබ නවක අධ්යක්ෂවරයෙක් එක්ක වැඩ කරන්නේ. සමහර ප්‍රවීණයන් අලුත් අය එක්ක වැඩ කරන්න මැළි වෙනවා. ඔබ අලුත් අය එක්ක වැඩ කරන්න මැළි වෙන්නේ නැද්ද?
මම ඒ මෝඩ මතයේ නැහැ. චිත්‍රපටයක අධ්යක්ෂවරයා තමයි ප්‍රධානියා. ඔහුගේ යටතේ තමයි සියල්ල තියෙන්නේ. පහුගිය කාලේ තේ හදන්න ආපු අයත් අධ්‍යක්ෂණය කරන්න ගියානේ. ඒ අය අධ්යක්ෂණ කාර්යය හරි ලේසියට ගත්තා. අපිට දැනෙනවටත් වඩා අඩුවෙන් නම් අධ්යක්ෂවරයාට දැනෙන්නේ එතකොට ගැටුම්කාරී තත්ත්වයක් එන්න පුළුවන්. අධ්යක්ෂවරයා විෂය දන්නවා නම් බයක් වෙන්න දෙයක් නැ. ගැටීමක් එන්නෙත් නෑ. හීන හොයන සමනල්ලු චිත්‍රපටයේ අධ්යක්ෂවරයා විෂය දැනන් ඉන්න කෙනෙක්. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ.
රාණි සහ මධු කියන මවු චරිත දෙක හාත්පසින්ම වෙනස් චරිත දෙකක්. ඒ අතරින් මොන මවද සිනමාවෙදි ජීවත් කරන්න පහසු වුණේ?
මධු කියන චරිතය තමන්ගේ දරුවාවත් අවසානයේ අතහරිනවා. කාගේ වුණත් දරුවා, දරුවෙක් කියන තැනට ඒ අම්මා එනවා. හැබැයි ධර්ම යුද්ධයේ ඉන්න රාණි කියන අම්මා තමන්ගේ දරුවා වෙනුවෙන් තව කෙනෙක් නසන තත්ත්වයට හරි පත්වෙන අම්මා කෙනෙක්. හැබැයි ඒ අම්මා ඒ දේ ගැන කම්පා වෙන දරුවන්ට ආදරය කරන මවක්. මේ චරිත දෙකට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න දෙවිධියක්. ඒ දෙන්නා ඒ ප්‍රශ්නවලට මුහුණ දෙන අන්දම දෙවිධියක්. කොහොම වුණත් අම්මා කියන කෙනා තමයි ඒ චරිත තුළ ඉන්නේ.
සැබෑ ජීවිතයේදී දිල්හානි කියන මව ඒ මවුවරුන්ගෙන් මොන මවද නියෝජනය කරන්නේ?
ඔය චරිත දෙකම මගේ ජීවිතය තුළ තියෙයි. මගේ දරුවට කොහොම ප්‍රශ්න එයිද දන්නෑ. ඒ ප්‍රශ්නවලට අනුව අම්මා කෙනෙක් කොයි විදියට හරි මුහුණ දෙනවා. මගේ ජීවිතය තුළත් ඔය චරිතවල ඉන්න මව ඉන්න පුළුවන්.
මධු වගේ ඔබට තමන්ගේ දරුවා අතහරින්න පහසුද?
පහසු නැහැ ඒ දේ. නමුත් අතහරින්න ඕන. එතෙන්ට එන එක අමාරුයි. හැබැයි එය ස්ථිරවම කරන්න ඕන දෙයක්.
එක එක යුගවල ඔබ විවිධ චරිත නිරූපණය කළා.මේ යුගයේ ඔබ මවට සීමා වෙලාද? පෙම්වතිය ආයේ එන්නේ නැති වෙයිද?
මුල් කාලයේ දැක්ක කෙළිලොල් පෙම්වතිය ආයේ එන්නේ නෑ. හැබැයි මවගේ, බිරියගේ චරිතය තුළ ඉන්න පෙම්වතිය වෙන්න පුළුවන්. මට ආයේ පෙම්වතිය වෙන්න බෑ කියලා මම ඇත්ත දන්නවා. ඒ චරිතවලට මම සුදුසු නැහැ. ඒ වගේම ඒ චරිත දැන් කරන්න ගිහින් මේ තියෙන ටිකත් නැති කරගෙන විහිළුවක් වෙන්න මම කැමැති නැහැ. මිනිස්සුන්ට අපිව ලස්සනට පේන්න පුළුවන්. නමුත් දැන් වෙනකොට මගේ සෑහෙන ප්‍රමාණයක් විනාශ වෙලා ඉවරයි. ඒ නිසා මට දැන් ගැළපෙන දේ මම කරන්නේ.
ඔබ වෙනස් වීම දරා ගන්න පුළුවන් කෙනෙක් වගේ?
ඔව්. කෙනෙක් පාරෙදි හම්බවෙලා මට කිව්වා මම වෙනස් වෙලානේ කියලා. මම සාමාන්‍ය විදියට එදා ගියේ. මම ඒකට දුක් වුණේ නැහැ. මා තුළින් හරි වෙනස් වෙන බව දැන ගත්ත එක සතුටුයි කියලා මම ඔහුට කිව්වා. නළු නිළියෝ හැම වෙලේම ලස්සනට ඉන්න කොටසක් කියලා තමයි ගොඩක් අය හිතන්නේ. නමුත් ඒ කෙනා දැක්කා අපිත් රූපයෙන් වෙනස් වෙනවා කියලා. අපි තුළින් වෙනස් වෙන බව දකිනවට මම කැමැතියි. අපිව සීනි බෝල විදියටම දකින්න එපා. වෙනස් වෙන බව අපෙන් අවබෝධ කරගන්න පුළුවන්.
පසුගිය කාලේ ඔබ පුංචි තිරයේ, රිදී තිරයේ රජ බිසව වුණා. දැන් ඒ රාමුව කඩනවාද?
රජ බිසව කියන දේ කඩන්න වුවමනායි. ඒක මට වෙහෙසකර දෙයක්. රජ කතන්දරවලට යන එක අමාරුයි. උදේ ඉඳන් රෑ වෙනකල් රජ බිසවගේ ඇඳුම් ඇඳන් ඉන්න එක අමාරුයි. චිත්‍රපටයක නම් දවස් ගණනින් ඒ දුක විඳලා ඉවර වෙනවා. ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණාම ඒක කොටි වලිගයක් අල්ලා ගත්තා වගේ දිගින් දිගට යන්න වෙනවා.
ඔබ මීට කලින් කළ නිර්මාණවලින් ඔබ නොකර හිටියා නම් හොඳයි කියලා හිතුණු චරිත තියෙනවාද?
ඉස්සර කරපු චිත්‍රපට දැන් ටෙලිවිෂන් එකේ යනවානේ. ඒවා දැන් බලද්දි මට ඒ චිත්‍රපටවල කිසිම රසයක් නෑ. නමුත් ඒ තමයි අපේ ජීවිත. අපි පටන් ගත්ත විදිය තමයි ඒක. සමහර කරපු ඒවා මකලම දාන්න පුළුවන්නම් හොඳයි. නමුත් ඒක කරන්න බෑනේ. අතීතය කිසිම කාලෙක මකන්න බෑනේ. ඒ නිසා අතීතයේ තැවි තැවී ඉන්න එකේ තේරුමක් නැහැ. දැන් තමන්ට මොළේ තියෙනවා නම් හොඳ දෙයක් තෝරා බේරාගෙන ජීවිතය ගෙනියන එක හොඳයි.
දැන් ලැබෙන නිර්මාණ තෝරාගන්නේ මොන නිර්නායක යටතේද?
දැන් ලැබෙන දේවල් භාරගන්නේ මට දෙයක් කරන්න තියෙනවා නම්. සමහර පෙනී සිටින චරිතවලට ආරාධනා ලැබෙනවා. ඒ චරිත මට මෙලෝ රහක් නෑ. ඒ වගේ දේවල් මම ප්‍රතික්ෂේප කරනවා. පිටපත කියවද්දී ඒ තුළ මට කරන්න දෙයක් තියෙනවා කියලා දැනුණොත් මම ඒ චරිතය කරනවා.
යම් නිර්මාණයක් භාර ගනිද්දී ඒ නිර්මාණය කරන පුද්ගලයන් ගැන අවබෝධය වැදගත් කියලා හිතනවාද?
හොඳම දේ කරන්න ලැබෙනවා නම්, හොඳම අධ්යක්ෂවරයා එක්ක වැඩ කරන්න ලැබෙනවා නම් හොඳම නිෂ්පාදකවරු හම්බවෙනවා නම් අපි කැමැතියි. නමුත් ජීවිතේ ඒ දේවල් හරියටම ලැබෙන්නේ නෑ. තිබෙන අඩුපාඩු එක්කත් මේ ගමන යන්න වෙනවා. මේ රටේ වෘත්තීයමය රංගන ශිල්පීන් කියන කොටසට, ඔය කියන වර්ගීකරණයේ යන්න අමාරුයි. ඒ නිසා මම මේ හොද, නරක කියන දෙකක් එක්කම වැඩ කරලා තියෙනවා.
නිර්මාණවලට සම්බන්ධ වෙද්දී ප්‍රවීණත්වය එක්ක ලැබෙන මූල්‍යමය වටිනාකමට මුල් තැන දෙනවාද?
ඔව්. මගේ ගාණ ගැන මම හුඟක් හිතනවා. ගුණාත්මකභාවයෙන් නිර්මාණ කරන අය හොඳට ගෙවනවා. මොකද ඔවුන් එහි වටිනාකම දන්නවා. උදවුවට නිකන් වුණත් වැඩේ කරලා දෙන්න පුළුවන් අය ඉන්න පුළුවන්. හැබැයි ඒක මම ලේසියෙන් කරන්නේ නැති දෙයක්. මොකද වෘත්තිය කියන්නේ වෘත්තිය.
පුංචි තිරයේ අලුත් වැඩවලට සම්බන්ධ වෙන්නේ නැද්ද?
දැන් මම ටෙලි නාට්‍යවලින් හුඟාක් දුරස් වෙමින් යනවා. ටෙලි නාට්‍ය කරන එක ජීවිතයට අමාරුයි. මම පසුගිය කාලේ ටෙලි නාට්‍යවලට ගියා. ඒ කාර්යය මට දුෂ්කර වුණා. ඒ නිසා අති විශේෂ දෙයක් හැර ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ නෑ කියන තැන මම ඉන්නවා. නමුත් දැනට මඟ නතර කළ වැඩ කිහිපයක් තියෙනවා. ඒ ටිකට සම්බන්ධ වෙනවා. ඒ නිර්මාණ කළාට පස්සේ අලුත් වැඩකට මම ලේසියෙන් යයි කියලා හිතන්නේ නැහැ.
බිරියක්, මවක් ලෙස ගෙවන ජීවිතේ ගැනත් කතා කරමු?
ඒක සාමාන්‍ය විධියට ගලාගෙන යනවා. පුතා ඉගෙන ගන්නවා. ප්‍රියංකර සින්දු කියනවා. මමත් වැඩ කරනවා. වැඩ නැති වෙලාවට ප්‍රියංකරයි මමයි ගෙදරට වෙලා නිදහසේ ඉන්නවා.
ඉදිරියට සැලසුම් කරගත්ත දේවල් තියෙනවාද?
හොඳ නිර්මාණ ලැබුණොත් කරනවා. පසුගිය කාලේ වගේ ලොකුවට කාර්යබහුල වෙන ජීවිතයකට දැන් යන්න අමාරුයි. හොඳ දෙයක් කරගෙන නිදහසේ ඉන්නවා.
තිළිණි කෞශල්‍යා විජේසිංහ
ඡායාරූප තිළිණ ප්‍රනාන්දු