Life Begins where fear ends – osho
ඕෂෝගේ මේ කියමන මන් දැක්කේ ඩිමු ෆ්රනෑන්ඩුගේ ටැටූ ආර්ට් ස්ටුඩියෝ එකේදී. කලින් දවසක කතා කර ගත්තු විදියට ජා ඇළ රියලිටි ප්ලාසා එකේ තිබුණු ඩිමුගේ ස්ටුඩියෝ එකට මන් යන්නේ රොඇනාව හමුවෙන්න. කෙල්ලෙක් තමන්ගේ ඇගේ කොහේ හරි ටැටූ එකක් කරනවා කිව්වත් ටැටූ ආර්ටිස් කෙනෙක් වෙනවා කිව්වත් මිනිස්සු දකින්නේ මහා අමුතු විදියට. ඒක මේ සමාජේ හැටි. මේ රටේ හැටි. ඒ සමාජේට රටට බයේ තමන්ගේ හිත් වල හැංගිච්ච ආසාවල් එහෙම්ම තියාගෙන ඉන්න කෙල්ලෝ ඕනි තරම් ඉන්නවා. ටැටූ හීනෙත් ඒ වගේ.
ටැටූ එකක් තියන්නේ සදාකාලික සලකුණක්. යම් ස්ථිර මතකයක්. මාස තුන හතරකට කලින් මමත් ෆේස්බුක් පොස්ට් එකක් දානවා ටැටූ එකක් කරන්න ඕනි කියලා. අවුරුදු 23ක කෙල්ලෙක් විදියට මන් ටැටූ එකක් කරනවා කිව්වම අපේ මිනිස්සු මන් දිහාවේ බලන්නෙත් හරියට අර ඉස්සර කාලේ මරිය මග්දලේනා දිහාවේ බැලුවා වගේ. ඒ වෙලාවේ සමාජයේ ඉන්න බහුතරය ඇවිත් බොහෝ දේවල් කියලා යනවා.ඒ මන් කෙල්ලෙක් හින්දා.
අවුරුදු 23ක කෙල්ලෙක් විදියට මන් ටැටූ එකක් කරනවා කිව්වම අපේ මිනිස්සු මන් දිහාවේ බලන්නෙත් හරියට අර ඉස්සර කාලේ මරිය මග්දලේනා දිහාවේ බැලුවා වගේ. මට විතරක් නෙවෙයි මේ ප්‍රශ්නේ අපේ තාරුණ්‍යයේ බොහෝ දෙනෙක්ට විදින්න සිද්ධ වෙනවා. රටේ මිනිස්සුන්ට කෙල්ලෝ ටැටූ කරන එක මහා ප්‍රශ්නයක් වෙද්දී කෙල්ලෙක් විදියට මට තියෙන එකම ප්‍රශ්නේ නාදුනන කොල්ලෙක් ගාවට ටැටූ කරන්න යන්න තියෙන බය. ටිකක් බොළදයි වෙන්න ඇති. හැබැයි ඒකට උත්තර හෙව්ව මට ඒකට විසදුමක් හමුවෙනවා.ඒ රෝඇනා. රෝඇනා වෙබ්ස්ටර්. මගේම වයසේ ටැටූ ආර්ටිස්ට් කෙනෙක්. කොටින්ම කිව්වොත් ටැටූ ආර්ටිස්ට් කෙල්ලෙක්.
රෝඇනා ලංකාවේ වෘත්තිමය වශයෙන් ටැටූ ආර්ටිස්ට් කෙනෙක් වෙච්ච එකම කෙල්ල. එතැනයි විශේෂත්වය. කුතුහලය නිසාම කෙල්ලෙක් කොහොමද ටැටූ ආර්ටිස්ට් කෙනෙක් වුනේ කියලා මමත් අහලා බැලුවා.
ශ්‍රී ලාංකික කෙල්ලක් උනත් අවුරුදු 7 දී ඇමරිකාවට යන රෝඇනා ආයේ ලංකාවට එන්නේ අවුරුදු 18. ඉතින් ඇයට ඩිමුව හමුවෙනවා. ඇයගේ ජීවිතය වෙනස් වෙන්නේ එතැනින්. අවුරුදු 18 දී ඩිමුගේ පලවෙනි ටැටූ එක කරන රෝඇනා ඊට පස්සේ ටැටූ ගැන ඉගෙන ගන්න පටන් ගන්නවා. ඇයගේම වචන වලින් ඇය ඒක කියන්නේ මෙහෙම.
“ ඩිමුයි මායි හොද යාළුවො. ඩිමු තමයි මට මේක ඉගෙන ගන්න ට්‍රයි කරන්න කිව්වේ. ඩිමු විතරක් නෙවෙයි. තවත් ගොඩක් මගේ යාළුවො මට කිව්වා ඔයා මේ ටැටූ ගැන ඉගෙන ගන්න ඔයාගේ ඇගේ එකට තියෙන ආසාව හැකියාව තියෙනවා කියලා. ඉතින් ටික කාලයක් ටැටූ ගැන ඉගෙන ගෙන මන් ආයේ ඇමරිකාවට ගියා අවුරුදු 19දී එහෙ ගිහින් මන් ආයේ ටැටූ ගැන ඉගෙන ගත්තා. Touch of Ink කියලා ටැටූ ෂොප් එකක අවුරුදු දෙකක් විතර වැඩ කරා. ඊට තමයි ලංකාවට ආවේ. මට මේ රට දාලා දැන් නම් කොහෙවත් යන්න ඕනි නැහැ. පුංචි කාලේ ඉදන් මට ඕනි උනේ ලංකාවේ ඉන්න. ඇමරිකාවේ ඉද්දිත් මන් මගේ අම්මලට කියනවා මාව ලංකාව ට යවන්න යවන්න කියලා. මොකද මන් මේ රටට ගොඩක් ආදරෙයි. හැබැයි මේ ලංකාවේ කෙල්ලෙක් ටැටූ ආර්ටිස්ට් කෙනෙක් වෙනවා කියන එක හරි අමුතු දෙයක්. හැමෝම බලන්නේ හරි වෙනස් විදියට. සමහරු මාව දැක්ක පාරේදී වුනත් මග හරිනවා. මගේ ගෙදරින් වුනත් මුලදී කැමති උනේ නැහැ. එයාල කිව්වේ කෙල්ලෙක්ට ඒක ලස්සන නැහැ. කවුරුත් ඔයාව කසාද බදින එකක් නැහැ මේ විදියට ඇග පුරාම ටැටූ තිබුනොත් වගේ දේවල්. මන් වුනත් කවදාවත් හිතුවේ නැහැ මන් මේ වගේ වෙයි මේ තරම් දුරක් එයි කියලා. නමුත් මන් අද ගොඩක් සතුටු වෙනවා මන් ඉන්න තැන ගැන. ඉස්සර ඉදන් මන් චිත්‍ර වගේ දේවල් අදින්න ආස කරා. හැබැයි මන් ඉගෙන ගත්තේ පයිලට් කෙනෙක් වෙන්න. අවුරුදු දෙකක් විතර ඉගෙන ගද්දි මට තේරුනා. මගේ ජිවිතේ සතුට තියෙන්නේ මෙතැන නෙවෙයි මට මේක රස්සාවක් විදියට කරන්න ඕනි නැහැ කියලා. මගේ ආත්මයේ සතුට තිබුනේ ටැටූ වල. මට අවශ්‍ය වුන මානසික භෞතික සහ මුල්‍යම හැම සතුටක් ම මට ලැබුනා මේ ක්ෂේත්රය හරහා.
ඇය ගැන කියාගෙන ගියේ එහෙම. අවුරුදු හතරක තිස්සේ මග පැදගෙන ආපු ගමනක් ගැන එහෙම ලේසියෙන් කියලා නිම කරන්න බැහැ. එතන තව ගොඩක් බාධක අභියෝග නොසෑහෙන්න තියෙනවා.
“ගොඩක් මිනිස්සු හිතන්නේ මේක පිරිමින්ගේ රස්සාවක් පිරිමින්ගේ වැඩක් කියලා. ඒත් ගෑනුන්ටත් ටැටූ ආර්ටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඇයි ගෑනුන්ට ටැටූ කරන්නවත් බැහැ කියන්නේ. මගේ ඇගේ වුනත් මේ වෙද්දී ටැටූ 50 කට වැඩිය තියෙනවා. මිනිස්සු හිතන්නේ ටැටූ ආර්ටිස්ට් කෙනෙක් කිව්වම ඩ්‍රග්ස් ගන්න නරක කෙනෙක්. එකම ඉදිකටු පාවිච්චි කර කර වැඩ කරන පිළිවලක් නැති කෙනෙක් කියලා. එහෙම නැහැ.. එහෙම අය ඉන්නවා නැතිව නෙවෙයි. නමුත් ගොඩක් අය එහෙම නැහැ. අපි එක්කෙනාගෙන් එක්කෙනාට හැම දෙයක්ම මාරු කරනවා. මොකද මිනිස්සු අපි ගාවට එන්නේ ලොකු විශ්වාසෙකින්. ඒ විශ්වාසෙ අපි රකින්න ඕනි. අපි හරි විදියට වැඩ කරනවා නම් ඒ ගරුත්වය රකිනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක ලේ එක්ක කරන සෙල්ලමක් වගේ. විහිළුවක් නෙවෙයි යු ටියුබ් එකෙන් බලලා ටැටූ ඉගෙන ගන්න බැහැ. මමත් කැලිෆෝනියාව රෙජිස්ටර් වෙලා ටැටූ ගැන සැහෙනන ඉගෙන ගත්තා. තව ගොඩක් ඉගෙන ගන්නත් තියෙනවා. වෙනස් ටැටූ ආර්ටිස්ට් ලා එක්ක වැඩ කරලා අත්දැකීම් අරගන්න ඕනි. මොකද හැමෝගෙම ස්ටයිල් එක වෙනස්. ඩිමු, රොබී ඕටිස් සහ විකාස් මලානි තමයි මගේ ගුරුවරු. ටැටූ ගැන වගේම නියම විදියට ටැටූ රිමුව් කරන්නේ කොහොමද උපකරණ මොනවා ද කියලත් මන් ඉගෙන ගත්තා. ලබන අවුරුද්දේ ඉදන් ලේසර් වලින් ටැටූ රිමුව් කරන්න පටන් ගන්නත් මන් හිතාගෙන ඉන්නවා. ලගදීම දවසක ලංකාවේ මිනිස්සු ටැටූ ගැන තියෙන තමන්ගේ ආකල්පය වෙනස් කර ගනීවි. ටැටූ කියන්නේ තමන්ගේ ආත්මය තමන් කවුද කියලා ප්‍රකාශ කරන මාර්ගයක්. මට උනත් ගොඩක් නරක කාල ඇවිත් තියෙනව් . ඒ වෙලාවට ටැටූ කරා මට මාව අලුත් වෙනවා මාව ශක්තිමත් වෙනවා ප්‍රශ්නේ ඉවරයි වගේ හැගීමක් දැනෙනවා. ටැටූ තමයි මට ජීවිතය දුන්නේ. මන් දවසක බෙල්ලෙ ඉදන් මගේ යටි පතුල් දක්වා ටැටූ කරන්නත් හිතාගෙන ඉන්නවා “
ඒ රෝඇනා ඇය ගැන කිව්ව කතාව. ඇත්තටම ඇය හරිම සුහදශීලි වගකීමක් තියෙන කෙල්ලෙක්. නිකම්ම කෙල්ලෙක් නෙවෙයි. ඇය කිව්ව ඒ දේවල් එක්ක මමත් එකගයි. මේ තරුණ වයසේ දී අපි අපිට තියෙන ජිවිතේ නිකම්ම මරලා දාන්න හිතාගෙන කොච්චි වලට බෙල්ල තියනවා. නමුත් ජීවිතය කියන්නේ ඒක නෙවෙයි. වේදනාව අත් විදිමින් ජිවත් වෙන එකට. තාරුණ්‍යයේ කෙල්ලෙක් විදියට මට ආපු ප්‍රශ්න වලදී මමත් මැරෙන්න හිතලා තියෙනවා. හැබැයි අන්තිමට මැරෙන්න හිතන එකම කොයි තරම් විහිළුවක් ද කියලා මන් ඉගෙන ගත්තේ ටැටූ වලින්. වේදනාව ටික වෙලාවයි. ඒ මොහොතට බය නැතිව මුහුණ දෙන්නයි අවශ්‍ය. බය කියන්නේ මොකක් ද කියලා දැන ගන්නයි අවශ්‍ය. ඊට පස්සේ තියෙන්නේ සදාකාලික සුවපත් වීමක්. ජීවිතය ගැන වෙනස්ම දැක්මක්. කොටින්ම කිව්වොත් ඕෂෝ හරියටම හරි.
(077 816 6 2 22 – Roanna)
සටහන - අරුණි කළුපහන
ජායාරූප - U Rasta G Bandaragoda