කුවින්ටින් ටැරන්ටිනෝ කියන්නේ හොලිවුඞ් සිනමාවේ සිටින සුවිශේෂ සිනමාකරුවෙක්. සිනමාව පිළිබඳව ආන්දෝලනාත්මක මත දරන්නෙක්. ඇල්ෆ්රඞ් හිච්කොක්ට පස්සේ හොලිවුඩයට පෑයූ තරු අධ්යක්ෂවරයෙක් ඔහු. Pulp Fiction, Reservoir Dogs, Jackie Brown, Inglourious Basterds, Django Unchained ඔහුගේ සිනමාවෙන් බිඳක්. ඔහුගේ Pulp Fiction චිත්‍රපටයට ප්‍රංශයේ කාන් සිනමා උළෙලේදී Palme dzOr සම්මානය ලැබෙනවා. ඊළඟටDeath Proof, Inglourious Basterds කියන චිත්‍රපට දෙකම Palme deor සම්මානයට නිර්දේශ වෙනවා. දැන් ඔහු කියනවා තව චිත්‍රපට දෙකකින් පස්සේ සිනමා ජීවිතයට සමුදෙනවා කියලා. මේ ඔහු සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක සිංහල පරිවර්තනය.
ටොරන්ටිනෝ මහත්මයා, ඔබගේ චිත්‍රපට විමසා බැලීමෙන් අනතුරුව මට මෙහෙම අහන්න හිතනෙවා: ස්ත්‍රී පාදවලට ඔබේ දැඩි ඇල්මක් තියෙනවා නේද?
මම එය මඟහැර යන්නේ නැහැ. පාදවලට ඇලුම් කළ අධ්‍යක්ෂවරුන්ට ඇඟිල්ල දිගු වෙනවා නම්, එහෙම වෙන්න ඕනෑ ඇල්ෆ්රඞ් හිච්කොක්, බුනුවෙල්, සැමුවලේ ෆුලර් වගේ අය වෙත. කෙසේ වෙතත් එය හොඳ සමාගමයක්. ඉන් ඇඟවෙනවා ඔවුන් හොඳ චිත්‍රපට නිර්මාණකරුවන් වගේම තම කැමරාව මානන්න ඕනෑ කොතැනට ද කියන එක ඔවුන් හොඳින් දන්නවා කියන එක. එහෙත් මම හිතනවා මගේ නිර්මාණවල පාදවලට වගේම පශ්චාද් භාගයට ද සමාන ඉඩක් දෙනවා.
ඒ වගේම තමයි ප්‍රචණ්ඩත්වයටත්..
හුදෙක් මම මගේ කතාව කියමින් මගේ වැඬේ කරගෙන යනවා. මම කැමතියි ශානරය ඇතුළත හා ගනුදෙනු කරමින් උපශානරය තුළට ගමන් කරන්න. මම නිර්මාණයට යොදා ගන්න බොහොමයක් ශානර තුළ හැඟීම් කුප්පනසුලු, ප්‍රචණ්ඩකාරී දේ තිබෙනවා. – එය ත්‍රාසජනක, කුන්ග්ෆු, සමුරායි, මෝටර් රථ හඹා යෑමේ චිත්‍රපට වෙන්න පුළුවන්- ඒ නිර්මාණ විසින්ම ඒ ඒ ශානර ඒවාට ලබා දෙනවා. ත්‍රාසය දනවන සිනමාව ගත් විට, එම ශානර විසින් එය ලොමු දැහැ ගන්වන ප්රචණ්ඩත්වය දැක්වෙන සිනමාවක් බවට පත් කරනවා. මම එයට කැමතියි. ඒත් ජැකී බ්‍රවුන් චිත්‍රපටය ගත් විට එය ප්‍රචණ්ඩකාරී එකක් නොවෙයි. එය මුළුමනින්ම ගොඩ නැඟෙන්නේ චරිත වටා.
ඔබ එවැනි ප්‍රබල සජීවි චරිත නිර්මාණය කිරීමේදී අනුගමනය කරන්නේ කුමන ආකාරයේ ක්‍රියා පිළිවෙළක්ද?
මේ මම ඔබේ ප්රශ්නය සැහැල්ලුවට ගන්නවා නොවෙයි. ඒත් මම ලේඛකයෙක්. ඒකයි මම කරන්නේ. ලේඛකයකුගේ කාර්යය වෙන්නේ තමන් ගැනම ලියන එක නෙමෙයි, සෙසු මනුෂ්‍යයන් නිරීක්ෂණය කරමින් නැවුම් දේ සොයා යෑමයි. ඔවුන් කතා කරන විදිය, ඔවුන් කතා කරන වාග් මාලාව. අනික මගේ මනස ඉස්පන්ජියක් වගේ.
මම සවන් දෙනවා අනිත් අය කියන දේවලට, යන්තම් හෝ අභව්‍ය හැසිරීම් දෙස මම බලා ඉන්නවා, ඔවුන් මාත් ඒකක විහිළු කරද්දී මම ඒවා මතක තියා ගන්නවා. සමහරවිට ඒ අය ඔවුන්ගේ ජීවිතය හා සම්බන්ධ සිත් ඇදගන්නා කතාන්දර මට කියනවා, මම ඒවා පරිස්සමින් මතක තියා ගන්නවා.
ඒත් ඔබට එය මතක නැතිනම්?
ඒ කියන්නේ බාගවිට එතැන මතක තියා ගන්න තරම් වටින දෙයක් නැතිව ඇති. එතැන වටිනා යමක් තියේ නම්, මාස හයක් හරි, අවුරුදු පහළොවක් හරි ඒක මගේ මතකයේ තියෙනවා. මම ලියද්දී මගේ පෑන තොරතුරු ලබාගන්නේ හරියට ඇන්ටෙනා එකක් වගේ. හදිසියේම, අඩු වැඩි වශයෙන් ගොඩනැඟුණු චරිත එළියට එනවා. මම ඔවුන්ගේ දෙබස් ලියන්නේ නැහැ, මම ඒවා ඔවුන් හා කතා කිරීමෙන් සොයා ගන්නවා.
ප්‍රචණ්ඩත්වයට නැවතත් ගියොත්, ඔබ පුද්ගලිකව මොනවටද වැඩියෙන් බය?
මගේ අංක එකේ භීතිකාව තමයි – ඒක තමයි මට තියෙන එකම දැවැන්තම බිය, ඒක අහේතුක බියක්- මම බයයි මීයන්ට.
ඇත්තටම?
මේක තමයි මගේ එකම මානසික දුර්වලතාව. බැරිවෙලාවත් මීයෙක් මේ මේසෙ උඩ හිටියොත් මම ඉඳීවි ගෑනු ළමයෙක්ගේ ඔඩොක්කුව උඩ. මම සමහරවිට ඇයගේ උරහිස උඩ නැගගෙන කෑගහයි බැල්ලක් වගේ.
ඔබ කවදහරි රාත්‍රියට භයානක හීන දැකලා තියෙනවාද?
මම ගොඩාක් කාලෙකින් බය හිතෙන හීන දැකලා නැහැ. පුංචි කාලේදී මම හීනෙන් බය වුණාම මම ගිහින් නගිනවා තාත්තා අම්මා නිදන ඇඳට. ඒත් මගේ අම්මා මට තදින් හිටියා. එක්තරා වයසකින් පස්සේ ඔවුන් මාව ආපසු මගේ ඇඳට ම ඇරලූවා. ඉතින් මට තේරුම් ගියා, අම්මාගේ ඇඳට පනින්න ඉඩක් නොලැබුණු නිසා මට තවදුරටත් භයානක හීන දැකීමට තරම් සැපවත්කමක් ලැබෙන්නේ නැහැ කියලා. ඒ නිසා මට ඉන් පස්සේ බය හිතෙන හීන පෙනුණේ නැහැ.
ඔබට කවදාහරි දරුවන් හදන්න ඕනෑකමක් ඇතිවෙයිද? සිනමා නිර්මාණ කිරීමට හැකි ඔබේ හැකියාව ඔවුන් ඔබෙන් උදුරා ගනීවිද?
බලමු මොකද වෙන්නේ කියලා. ඒත් මට හැමදාම චිත්‍රපටි හද හදා ඉන්න අදහසක් නැහැ. මම අවුරුදු 60 දී විතර එය නවත්වාවි.
ඔබට ඒ ගැන විශ්වාස ද?
නැහැ. එය එක්තරා ආකාරයක සැලැස්මක් විතරයි. ක්ෂේත්රය අත්හැර යන්න ඕනෑ වෙලාව නොදන්න පරණ තාලේ චිත්‍රපට හදන පරණ තාලේ සිනමාකාරයෙක් වෙන්න මට ඕනෑ නැහැ. මට ඕනෑ නැහැ මගේ නිර්මාණ ලැයිස්තුව පරණ තාලේ දේවල්වලින් කැත කර ගන්න. මට චිත්‍රපටයක් හදන්න ඕනෑකම තියෙද්දි, ඒක කරන්න පුළුවන් නම් වයස අවුරුදු 62දී, මම ඒක කරයි. ඒත් මට පිට්ටනියෙන් යන්න ඕනෑ ජයග්‍රාහයෙක් විදියට. මම හිතන්නේ ඒ කාලෙ වෙද්දී මම ලිවීම විතරක් කරයි, සාහිත්‍යකාරයෙක්. මම සිනමා ගැන පොත්, නවකතා ලියාවි, දරුවන් හදාවි.
ඔබට ගණනය කිරීමට හැකි නම් ඔබ මේ තාක් කොයිතරම් චිත්‍රපට ප්‍රමාණයක් නරඹා ඇද්ද?
මට හරි අදහසක් නැහැ. අනුමාන කිරීමේ අභියෝගයත් ටිකක් අමාරුයි. මම වයස අවුරුදු දහහතේ සිට විසි දෙක වගේ වෙන කල් ඒ ඒ වසරවල මම නැරඹූ සෑම චිත්‍රපටයක්ම, නැවත නිෂ්පාදිත නිර්මාණත් ඇතුළත්ව, ලැයිස්තුවක් හැදුවා. එය නව නිර්මාණයක් නම් මම එම අංකය රවුම් කරනවා. ඉන් පසු මම කැමතිම සිනමා නිර්මාණ තෝරාගෙන මගේ කුඩා සම්මාන ඒවාට ප්රදානය කරනවා. ඒ කාලේ 197 හෝ 202 වගේ සංඛ්‍යාවක් තමයි ආවේ. ඒ චිත්‍රපට බලන්න මම ම වියදම් කළ, ඒත් මගේ අතේ සල්ලි නොතිබුණ කාලේ. මහත් කෑදරකමකින් චිත්‍රපට බැලුව කාලේ සාමාන්‍ය අගය වුණේ 200 ක් විතර.
මම හිතන්නේ ඒ ගණන ගොඩාක් විශාල ගණනක් කියන එක ඇඟට ගුණයි. ඔබගේ ප්‍රියතම චිත්‍රපට තුන මොනවාද?
ඔබ එය අසනවා නම් අද, මේ විශේෂ මොහොතේ මම තුනක් නම් කරාවි. ඒත් ඔබ හෙට හෝ තව පැය හයකින් ඇහුවොත් මම ඊට වඩා ගොඩක් වෙනස් උත්තරයක් දේවි.
එහෙනම් මේ මොහොතෙවත් කැමතිම චිත්‍රපට තුන මොනවාද?
මම එහෙනම් කියන්නම්. මම කැමතියි Abbott and Costello Meet Frankenstein චිත්‍රපටයට. මම එය නැරඹුවේ මම කුඩා කොළුවෙකු ව සිටියදී, මම ඒ කාලේත් ඒ චිත්‍රපටයට ආසා කළා. එහි ශානරවල සංකලනයක් තිබීම එයට හේතුවෙන්න ඇති. ඇබට් සහ කොස්තෙලෝගෙ දේවල් තරමක් හාස්‍යජනකයි, ඒත් ෆ්‍රැන්ක්ස්ටයින් තිරයේ දිස්වන්නේ මඳක් තැතිගන්වන සුලු ආකාරයෙන්. මට තේරුණේ නැහැ මම වයස අවුරුදු පහේදී ශානරවල වෙනස්කම් හඳුනා ගත්තා කියලා, ඒත් මම ඒක තමයි කරලා තියෙන්නේ. ඒ වගේම මගේ මුළු වෘත්තීය ජීවිතය පුරාම කරලා තියෙන්නෙත් ඒක, ශානර සංකලනය. මේ ගොන්නට මම Taxi Driver චිත්‍රපටයත් එක් කරන්න කැමතියි. ඇයි කියන එක නම් ටිකක් අමාරුයි කියන්න.
ඒ චිත්‍රපටය තුළ ඇති ශක්තිය එක වාක්‍යයකට දෙකකට ගොනු කරන්න බැහැ. එය මගේ සිනමා ඉතිහාසයේ වියදම් කළ මුදලට මා ලැබූ වඩාත්ම නවකථාරූපී සහ සංකීර්ණ චරිත අධ්‍යයනයක්. නවකතාවල විතරයි චරිතයක් ඒ අයුරින් ගොඩ නඟන්නේ. එය එසේ තිබියදීත් එම චිත්‍රපටය ඉතාමත් විනෝදජනකයි. චිත්‍රපටය පුරාම ප්‍රේක්ෂකයාව සිනා ගන්වනවා. අවසාන චිත්‍රපටය තමයි මම කැමති, මම නිතරම කියන Good, the Bad and the Ugly චිත්‍රපටය.
කිසියම් ශෛලියක් තියෙනවා ද ඔබ කැමති නැති?
මම හැම එකකටම නම් කැමති නැහැ. ඓතිහාසික චිත්‍රපටවලට මම කැමතියි, ඒත් මම විශේෂිත ඓතිහාසික යුගයක් පිළිඹිබු කරමින් නිර්මාණය කළ චිත්‍රපටවල ලෝලියෙක් නෙමෙයි. අනික් මම ජීවිත කතා අළලා කරන සිනමා නිර්මාණ අගය කරන්නේ නැහැ. ඒවා නළුවන්ට ඔස්කාර් සම්මාන දිනා ගැනීමට තියෙන වැදගත් නිදහසට කාරණා විතරයි. එය දූෂිත සිනමාවක්.
ඇයි?
ඉතාමත් ආකර්ෂණීය පුද්ගලයෙක් වුවත් මුල සිට අගට ඔබ ඔහුගේ කතාව කියනවා නම්, ඒක එම චිත්‍රපටය එපා කරවන තරම් නීරස වෙනවා. උදාහරණයකට ඔබ එල්විස් ප්‍රෙස්ලි ගැන චිත්‍රපටයක් නිර්මාණය කරනවා නම්, ඔබට ඔහුගේ මුළු ජීවිතය ගැනම කියන්න බැහැනේ. හදන්න ඕනෑ එහෙනම් එක දවසක් ගැන. අපි හදන්න ඕනෑ එල්විස් ප්‍රෙස්ලි Sun Records එකට යන ආකාරය. නැත්නම් ඔහු Sun Records සමාගමට යන්න කලින් දවස ඔහු ගත කළ ආකාරය ගැන, අපි අර දොරින් පිට වෙද්දී චිත්‍රපටය නිමා වෙනවා. ඒකටයි චිත්‍රපටයක් කියන්නේ.
කවුරුන් හෝ ඔබ ගැන චිත්‍රපටයක් හැදුවොත් එයත් නීරස වෙයිද?
එය මට කරන බොරු ප්‍රශංසාවක් වේවි, මම එය නරඹන එකක් නැහැ.
සුභාෂිනි චතුරිකා -රාවය-