රොෂාන් රණවන රිදී තිරයේ පෙම්වතා ලෙස බොහෝ ජනප්‍රියය. නමුත් ඔහු ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපටයක් ඔස්සේ දුෂ්ටයෙකු ලෙස අප හමුවීමට නියමිතය. ඒ පිළිබඳ සහ ඔහුගේ නිර්මාණ ගැන කතාබහ කිරීමට රොෂාන් සමග මෙලෙස එක් විය.
මේ දිනවල වැඩ කටයුතු කොහොමද?
පසුගිය දිනවල සමන් කුමාර ලියනගේ මහතාගේ ටෙලි නාට්‍යයක වැඩකටයුතු නිම කළා. අංගම් පොර සටන් කලාව හා සම්බන්ධව තමයි රූගත කිරීම් කළේ. මම පළමුවෙනි වරට තමයි මේ වගේ ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණේ. මට ඒක අලුත් අත්දැකීමක්. ඊට අමතරව 'ෆේස් ටු ෆේස්' කියලා චිත්‍රපටයක් තිරගත වීමට නියමිතව තියෙනවා. මේක මම දුෂ්ටයාගේ චරිතය හා ඩබල් ඇක්ටින් කරපු පළමු චිත්‍රපටය. එය ලබන වසරේදී තිරගත වේවි.
පසුගිය දිනවල තිරගත වුණු 'රේන්බෝ' චිත්‍රපට‘යෙත් ඔබ ප්‍රේමවන්තයාගෙන් එහා ගිය චරිතයක් රඟපෑවේ. එය සාර්ථක වුණාද?
ඒ චිත්‍රපටය අපි හිතපු තරමටම සාර්ථක වුණේ නැහැ. නමුත් ඒ චිත්‍රපටය අසාර්ථකයි කියන්නත් බෑ.
එයින් අදහස් වෙන්නේ ප්‍රේක්ෂකයා ඔබ පෙම්වතාගේ චරිතයෙන් ඇරෙන්න වෙනත් චරිතයකින් දකින්න අකමැතියි කියන එකද?
එහෙමම කියන්න බෑ. ඇක්ෂන් චරිතයක් මම කළේ පළමුවෙනි වරට. එහි ප්‍රචාරණ කටයුතු පැත්ත හරියාකාරව සිදුවුණේ නැහැ. ඒ වගේ දේවල් ඇතුළෙන් සිදුවුණා.
ප්රේමවන්තයෙකුගෙන් එයා ගිය චරිතයක් ඔබට ලැබීම පිළිබඳ ඔබ තෘප්තිමත්ද?
මට ලැබුණු අවස්ථා එක්ක මම ඒ ඒ චරිතවලට සාධාරණයක් කළා කියලා හිතනවා.
'ෆේස් ටු ෆේස්' චිත්‍රපට‘යත් සමග වැඩ කරද්දී ලබපු අත්දැකීම් මොනවගේද?
මට වෙනසක් අවශ්‍ය වෙලා තියෙනකොට හර්ෂ උඩකන්ද මහතාගෙන් ලැබුණු හොඳ අවස්ථාවක් ඒක. 'ෆේස් ටු ෆේස්' චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයන් කවදාවත් මගෙන් බලාපොරොත්තු නොවන විදියේ චරිතයක් ඔවුන් වෙනුවෙන් දෙන්න ලැබුණා කියන එක මට හිතෙනවා.
හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ 'උලත් එකයි පිලත් එකයි' චිත්‍රපටයත් සාර්ථක වුණේ නැහැනේ?
ඒ චිත්‍රපටයටත් හරි සැලැස්මක් ලැබුණෙ නැහැ. ප්‍රචාරණ කටයුතු හරියාකාරව සිදු වුණේ නැහැ. සිනමාහල තුළ චිත්‍රපටය අසාර්ථක වුණා. නමුත් චිත්‍රපටය DVD පට හරහා වෙළෙඳ පොළට නිකුත් වුණාට පස්සෙ විශාල පිරිසක් ඒ චිත්‍රපටය නරඹලා තියෙනවා. දැන් ඒ චිත්‍රපටය සඳහා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
අද ගොඩක් සිනමා නිර්මාණ බිහිවුණත් සිනමාහල්වල තිරගත කරවීමේ ගැටලු ඇති වී තිබෙනවාද?
අනිවාර්යයෙන්ම. ඉදිරියේදී අපි කොච්චර හොඳ නිර්මාණ කළත්, විකාශන තිර, ශබ්ද විකාශන යන්ත්‍ර ඇතුළු සිනමා ශාලාවල අඩුපාඩු තිබෙනවා. 'රේන්බෝ' චිත්‍රපට‘ යේදීත් මෙම ගැටලුව මතුවුණා. චිත්‍රපටය තිරගත වීමේදී එකම දවසේ චිත්‍රපට තුනක් තිරගත වෙනවා. ඉංග්‍රීසි, සිංහල, හින්දි මේ ආදී වශයෙන්. සිනමා ක්ෂේත්රයට ඉදිරියේදී මොනවා වෙයිද කියලා හිතාගන්න අමාරුයි.
එවැනි තත්ත්වයක් තුළ අධ්යක්ෂවරුන් හා නිෂ්පාදකවරුන් සිනමාවට යොමුවීමේ අඩුවක් වෙන්න පුළුවන් නේද?
එහෙමත්ම නෑ. නමුත් ඉතිං චිත්‍රපටියක් කීවාම ඒ සඳහා එකතු වෙන්න බයයි. ඒක තමයි වෙන්නේ. විශේෂයෙන්ම නිෂ්පාදකවරු ඒ සඳහා දායකවීමට මැලිකමක් දක්වනවා.
ටෙලි නිර්මාණවලින් ඔබ දායක වුණේ මේ නිර්මාණය සඳහා පමණද?
තව ටෙලි නාට්‍ය කිහිපයක් කළා. නමුත් ඒවා කවදා විකාශය වේවිද කියන්න දන්නේ නැහැ. ටෙලි නාට්‍ය ක්ෂේත්රයටත් ඒ වගේ තත්ත්වයක් වෙලා තියෙන්නේ. චැනල්වලට ඕනේ විදියට සමහර වැඩ කරන්න වෙනවා. චැනල්වලින් කරන ගෙවීම් පිළිබඳ ගැටලු තියෙනවා. චැනල්වලින් ලැබන මුදලත් සමග නිෂ්පාදකවරුන් සොයාගෙන හොඳ නිර්මාණ කරන්න බැරි වෙනවා.
මේ වෙද්දි ඉන්දියානු ටෙලි නාට්‍ය ප්‍රචාරය වීම නිසා සිංහල ටෙලි නාට්‍ය බිහිවීම හා ප්‍රචාරය වීම අවම වෙලා තියෙනවා. මෙයට මාධ්‍ය ආයතන සඳහා චෝදනාව එල්ල කරන්න පුළුවන්ද?
ප්‍රේක්ෂකයන්ට වුණත් ඕනෙ දෙයක් බලන්න අයිතිය තියෙනවා. හැමදේම වැඩිපුර සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඕනෑවට වැඩිය වෙනවා.
අවසාන වශයෙන් ඔබේ රසිකයන්ට වෙනුවෙන් මොනාද කියන්න තියෙන්නේ ?
රසිකයන් නිසා තමයි තරු බිහිවීම සිදුවෙන්නේ. ජනප්‍රිය වෙනවා කියන එක හැමදාම හැමෝටම කරන්න බෑ. තමන්ට හැමෝගෙම හිත්වලට යන්න පුළුවන් කියන්නේ ඒක තමන් ලද වාසනාවක්. මම ඇත්තටම හැමදාම මගේ රසිකයින්ට ආදරෙයි. මම රසිකයන් නිසා තමයි අද මේ තැන ඉන්නේ.
ඡායාරූප – කවීත් මිලින්ද
ඩිලාන් ක්‍රිෂාන්ත