සූර්යගෙ අලුත් සිංදුව ගැන ටිකක් කතා කරමුද?
අලුත් සිංදුව “මගේනෙ”. මේ මගේ දෙවැනි ගීතය. කසුන් මහේන්ද්‍ර හීනැටිගලගෙ පද රචනයෙන්. මංජුල බණ්ඩාරගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ආදරය ගැන වෙනස්ම විදිහකට ලියවුණු, වෙනස්ම විදිහකට ගායනා වුණු ගීතයක්.
හිතුවට වඩා ප්‍රේක්ෂකයින් ගොඩක් ආදරයෙන් වැළඳගත්ත ගීතයක් වුණා. මේ ගීතයේ රූපරචනයටත් හාත්පසින් වෙනස්, හිතාගන්න බැරි විදිහෙ සංකල්පයක් තමයි මුල්කරගෙන තියෙන්නෙ. රූපරචනය තිසර ඉඹුලානගේ නිර්මාණයක්.
දන්සලක දි හමුවෙලා, ආදරයක් ඇතිවෙන අවස්ථාවක් පෙන්වන රූපරචනයක් තමයි කරලා තියෙන්නෙ. මං හිතන්නෙ හැමෝටම ඒක හොඳ අත්දැකීමක් ගන්න පුළුවන් ගීතයක් වුණා. දමිත රත්නායක අයියා තමයි කැමරාකරණය කළේ. මහේන්ද්‍ර පැස්කුවල් අයියවත් විශේෂයෙන් මතක් කරන්න ඕනෙ. එයා තමයි බේස් ගිටාර්, ලීඩ් ගිටාර් වාදනය කළේ. ඒ විදිහට ඉතිං ලස්සනට වැඩේ කෙරුණා.
මනීෂා චංචලා ව තමයි අපි මේ රූපරචනයට තෝරගත්තෙ. හරිම තාත්වික විදිහට කළා. හොඳ ප්‍රතිචාර තියෙනවා, ගීතයට, රූපරචනයට, කැමරාකරණයට , අධ්යක්ෂණයට, ගායනයට හැමදේටම. ඒ ඔක්කෝමත් එක්ක පොදුවෙ විඳින්න පුළුවන් විදිහෙ හොඳ ලස්සන දෙයක් එළියට දුන්නා. මේ වෙනකොට ලක්ෂ 10ක් 12 විතර ගීතයේ රූපරචනය බලලත් තියෙනවා, නොහිතපු විදිහට.
හැම නාලිකාවකම වගේ මේ ගීතය විකාශය වෙනවා. 2017 අන්තිම ගීත 10 ඇතුළට ඇවිල්ලා තියෙනවා මගේ ගීතය. ඉතිං ගොඩක් සතුටුයි.
ඊට අමතරව මේ දවස්වල මොනවද අලුත් වැඩ?
මේ දවස්වල ඉතින් ෂර්ලි පී. දෙලන්කාවල අයියගෙ “හිතුවක්කාරයා” ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට යනවා. ඒත් එක්කම “පිනිදිය වැස්ස” ටෙලි නාට්‍යයේත් රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. ඊට අමතරව ජාතික රූපවාහිනියේ වැඩසටහනක නිවේදන කටයුතුවලටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වැඩසටහන තාම විකාශය වුණේ නෑ.
වැඩියෙන් දායකත්වය ලබා දෙන්න කැමති ගායනටද රංගනයටද?
සිංදු කියන්න තමයි පුංචි කාලෙ ඉඳන්ම ගොඩක් කැමති. මං සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරුවා. ගායකයෙක් වෙන්න තමයි හිතාගෙන හිටියේ. ඒ අතරතුරේ තමයි මට රඟපෑමට ආරාධනා ලැබුණෙ. ගීත මං මේ වෙද්දි 25ක් 26ක් වගේ ගායනා කරලා තියෙනවා. චිත්‍රපට ගීත පහකුත් ටෙලිනාට්‍ය ගීත අටකුත් එක්ක. මං ගීත ගායනා කරපු ටෙලිනාට්‍ය කිහිපයක් ඉස්සරහට එන්නත් තියෙනවා. ඉතිං රඟපෑම වගේම සංගීතයත් සමබරව කරගෙන යන්න පුළුවන්. මේ දෙකම කරන ගමන් නිවේදන කටයුතුවලටත් සම්බන්ධ වුණා. දෙරණ “Star City” වැඩසටහනෙන් මට මගේ නර්තන හැකියාව පෙන්නන්නත් අවස්ථාවක් ලැබුණා.
වේදිකාව පැත්තට එහෙම අතගැහුවෙ නැද්ද?
නැත්තෙ නෑ. වේදිකාව පැත්තටත් අතගැහුවා. ඒ 2014දි. රංජිත් ධර්මකීර්ති සර්ගෙ “අංගාරා ගඟ ගලා බසී” කියන වේදිකා නාට්‍යය තමයි මගේ පළවෙනි වේදිකා නාට්‍ය වුණේ. ඒක අවුරුදු 40ක් 50ක් පරණ එකක් . ඒකම අලුතින් කරනකොට මුල් දර්ශනවලදි ටී.එම්. ජයරත්න රඟපාපු චරිතය තමයි මට ලැබුණෙ.
ඒකෙන් පස්සෙ නම් මට වේදිකාවත් එක්ක සම්බන්ධ වෙන්න බැරි වුණා. මගේ විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු එක්ක කාලය යොමු කරන්න ටිකක් අමාරු වුණා.
පවුලෙ විස්තර ටිකක් කියමුද?
මගෙ පවුලෙ ඉන්නෙ අම්මයි තාත්තයි අක්කලා හතර දෙනයි අයියයි. ඒ කවුරුවත් කලා ක්ෂේත්රයට සම්බන්ධ අය නෙවෙයි.
ඒ වුණත් කාලාවත් එක්ක තමයි ඉන්නෙ මගෙ පවුලෙ හැමෝම. කලාව ඇඟේ තියෙන පවුලක්. ඒක නිසා වෙන්න ඇති මටත් ඒ හැකියාව ඇවිල්ලා තියෙන්නෙ.
ළඟදි ගම්පළාතෙ එහෙම ගියේ නැද්ද?
අප්‍රේල්වලින් පස්සෙ තාම ගෙදර යන්න බැරි වුණා. අම්මත් ඇවිල්ලා ඉන්නෙ මාත් එක්ක කොළඹ. දිගට ෂූටින් තිබුණු නිසා පොළොන්නරුවෙ අපේ ගෙදර යන්න බැරි වුණා කාලෙකින්. මේ මාසෙ මැද තමයි ගෙදර යන්න ඉන්නෙ.
සමනල සංධ්වනිය ගැන මොකද හිතන්නෙ?
“සමනල සංධ්වනිය” ඉතිං මගේ ජීවිතේ ප්‍රධාන හැරවුම් ලක්ෂය වුණා. ඒ හරහා තමයි මං මේ ක්ෂේත්රයට ආවේ. ජයන්ත චන්ද්‍රසිරි වැනි විශිෂ්ට අධ්‍යක්ෂක වරයෙක් යටතේ මට රංගනයට පය තබන්න ලැබුණ එකම ලොකු වාසනාවක්. විශේෂයෙන්ම මතක් කරන්න ඕනෙ දර්ශන රුවන් දිසානායක කියන මගේ මියුසික් සර්ව.සර් තමයි මාව මේ චිත්‍රපටයට සම්බන්ධ කළේ. මම වයලින් වාදනය කරන නිසා තමයි මට ඒ අවස්ථාව ලැබුණෙ. ඒ වගේම මට ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරන්න ලැබුණු එකත් ලොකු වාසනාවක්. ජූරියේ විශේෂ සම්මාන, රන් සම්මාන, නැගී එන නළුවාට හිමි සම්මානය වගේ ගොඩක් සම්මාන ලැබුණා. ඒකෙන් පස්සෙ තව චිත්‍රපට තුනක රඟපාන්න අවස්ථාව ලැබුණා. ලබන මාසෙ වගේ වෙද්දි එක චිත්‍රපටයක් විකාශය වේවි.
මේ තරුණ නිර්මාණකරුවන්ගේ නිර්මාණ වැඩි වැඩියෙන් කරළිගත වෙන කාලයක්. ඒකෙදි ඔබේ දායකත්වය කොයි වගේද?
තරුණයෙක් විදිහට මේ වෙනකොට මං ගීත 25ක් විතර කළා. ටෙලි නාට්‍ය 12කත් චිත්‍රපට 4කත් රඟපාලා තියෙනවා. ඒ වගේම නෙළුම් පොකුණෙ දර්ශන රුවන් දිසානායකගෙ සර්ගෙ ඔපෙරා ගායන දෙකකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ විදිහට ඉතින් නිර්මාණ කටයුතුවලට විශාල දායකත්වයක් ලබා දෙනවා.
මං මේ වෙනකොට ක්ෂේත්රයට ඇවිල්ලා අවුරුදු 5යි. ඒ කාලය ඇතුළත මගේ අනෙක් වැඩත් එක්ක සමබර කරගෙන මම කාලාවට මගේ උපරිම දායකත්වයක් දුන්නයි කියලා මං හිතනවා. අපේ මේ තරුණ පරම්පරාව නියෝජනය කරමින් කලාත්මක වටිනාකමක් තියෙන නිර්මාණ රැසක් කළා. ප්‍රේක්ෂකයින්ට ඒ දේවල් බලාගන්න පුළුවන්.
සූර්යා කියන්නෙ මොන විදිහෙ චරිතයක්ද කියලා ඇහුවොත්?
හොඳ අවබෝධයකින් ඉන්න, නිරහංකාර, අහිංසක චරිතයක් කිව්වොත් හරි.
කාංචනා සිරිවර්ධන