නුගේගොඩ ප්‍රදේශයේ විදුලිය හෝරා කිහිපයකට නැවතිලා. ප්‍රවීණ නිළියක වන නිල්මිණි තෙන්නකෝන්ගේ නිවෙසට යන විටත් ඒ විදුලිය විසන්ධි වීම තිබුණේ ඒ විදියටමයි. විදුලිය නොමැති වීම නිසා තරමක් අඳුරේ තිබුණ ඒ සුන්දර කැදැල්ලට එක්වර ම ආලෝකයත් අරගෙන ආවේ නිල්මිණී. නිල්මිණීගේ සුන්දර හදවතෙත්, සුන්දර රූපයෙත් ආලෝකය කොයිතරම් අඳුරක් වුණත් පලවා හරින්න සමත් කියලයි ඈ දුටු විට ම මට සිතුණේ.
“ඉතිං... ඉතිං....”
සුපුරුදු සිනහව පාන ගමන් ම නිල්මිණි අප අසලින් ම අසුන් ගත්තේ දිගු කතාබහකට මුල පුරන්න වගේ.
“පසුගිය කාලයේ ඔබගේ දක්ෂතා අප හිරු මෙගා ස්ටාර් හරහා දැක්කා”
බොහෝදෙනාගේ කතාබහට ලක්වුණු හිරු මෙගා ස්ටාර්වලින් ම මා කතාව ආරම්භ කළා.
“හිරු මෙගා ස්ටාර් එකට සම්බන්ධ වෙලා මාස හයක් පමණ වැඩ කළා. ඒ සඳහා බොහොම හොඳ ප්‍රතිචාර ලැබුණා. එය බොහොම සාර්ථකව අවසන් කිරීමට මා ඇතුළු කණ්ඩායමට හැකියාව ලැබුණා. ඒ නිසා ඒ ගැන සතුටුයි. ඒ අතරතුර මා ‘අක්වැස්ස’ ටෙලි නාට්‍යයේ රඟපෑවා. පසුගිය මාස අටක කාලයේ මා කිසිම නිර්මාණයකට දායක වුණේ නැහැ. ඊට හේතුව නම් මගේ දියණියගේ ඕ-ලෙවල් විභාග කටයුතු තිබුණ නිසයි. ඈ විභාගය ලියලා මේ වනවිට ලකුණුත් ඇවිත් තිබෙන්නේ. දුව විභාගයෙන් සමත්. ඒ ගැනත් මට තිබෙන්නේ කිව නොහැකි සතුටක්.”
ඕනෑ ම මව්පියකු සතුටු වන්නේ තමන්ගේ දරුවන්ගේ දක්ෂතා දැකලා. ඒ වගේ නිල්මිණිත් තමන්ගේ එකම දියණිය ස්වේතාගේ දක්ෂතා නිසා බොහොම සතුටු වුණු අම්මා කෙනෙක්.
“ඒ සතුටින් ඉන්න නිල්මිණිට යළිත් එහෙම නම් රඟපාන්නට හැකිවේවි”
“ඔව්. දුවගේ ඒ-ලෙවල් තියෙන්න තවත් කාලයක් තිබෙනවා. ඒ නිසා මට රඟපෑම් කටයුතුවලට සහභාගි වීමට හැකියි. ඒ වුණත් මම කොයි වෙලාවකවත් දුවගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවන කිසිවක් කරන්නේ නැහැ. ඒ කටයුතුවලට මුල්තැන දෙමිනුයි මා අනෙක් සියල්ල ම කරන්නේ. ඇගේ ජීවිතයේ තීරණාත්මක කාලයක ඒ කටයුතුවලටත් සහයෝගය ලබාදිය යුතුයි. ඒ වෙනුවෙනුත් කාලය කැප කළ යුතු බවයි මා විශ්වාස කරන්නේ. අනෙක් කාරණය නම් මට රඟපෑමට ආරාධනා ලැබෙන සෑම නිර්මාණයකට ම මා රංගනයෙන් දායක වන්නේ නැහැ. හොඳ නිර්මාණයකට පමණයි මගේ රංගන දායකත්වය ලබාදෙන්නේ. අවුරුද්දකට එකක රඟපෑවත් හොඳ නිර්මාණයකට පමණක් දායක වීම වඩාත් හොඳ බවයි මට හැඟෙන්නේ. මා රඟපාන චරිතය මට හොඳට අතපය දිග හැරලා රඟපාන්නට තිබිය යුතුයි. ඒ චරිතය මගේ හදවතට දැනෙන චරිතයක් විය යුතුයි. එවැනි චරිතයකට පමණයි මා රංගන දායකත්වය ලබාදෙන්නේ.”
නිල්මිණි තෙන්නකෝන් කියන්නේ කොටස් දෙසීයේ පමණ ටෙලි නාට්‍යවලට රඟපෑමෙන් දායක වීමට කැමැත්තක් නොදක්වන රංගන ශිල්පිනියක්. ඒ නිසාමයි ඇගේ රුව නිතර දෙවේලේ පුංචි තිරයේ දකින්නට නැත්තේ.
“පසුගිය දවස්වල ඔබ රංගනයෙන් සහභාගි වුණු ‘අක්වැස්ස’ කියන්නේ ඒ වගේ හොඳ නිර්මාණයක්ද?”
“ඇත්තට ම මම හොඳට අතපය දිග ඇරලා රඟපෑව නාට්‍යයක්. මේ කාලයට රඟපෑව නාට්‍යවලින් ඒ නාට්‍යය පමණක් මට ඇති කියලා සිතෙනවා. මේ වනවිටත් පිටපත් තුනක් පමණ මගේ අතේ තිබෙනවා. ඒත් එකම විදියේ චරිත රඟපෑමටත් මා කැමැති නැහැ. මේ දවස්වල තිබෙන ඒකාකාරී අම්මලාගේ චරිත රඟපාන්න මා කොහෙත්ම කැමැති නැහැ. ඒ වගේ ම ඉදිරියේදි අපට වගේ ම අලුත් පරපුරටත් රඟපාන්නට තරම් නිර්මාණ හැදේවිද කියලා කියන්න බැහැ. අදටත් රූපවාහිනිය දැම්මොත් උදේ ඉඳන් හවස දක්වා ම අපට නරඹන්න සිදු වී තිබෙන්නේ හින්දි ටෙලි නාට්‍ය පෙළක්. මේ විදියට ගියොත් අපි වෙනුවෙන් නිර්මාණ හැදේවිද කියන එකයි අපට තිබෙන ප්රශ්නය වන්නේ. මේ අපරාධය කරන්න එපා කියලා මා පවසන්නේ රූපවාහිනි නාලිකාවලටයි. ඔවුන් ඔවුන්ගේ උදේ වැඩසටහන් පුරවා ගන්නයි අපේ රටේ නළු - නිළියන් භාවිත කරන්නේ. එහෙම නැත්නම් ගීත ගයන වැඩසටහන්, නැත්නම් ගේම් ෂෝ පමණයි අපේ අයට ඉතිරි කර තිබෙන්නේ. මේක ලොකු ඛේදවාචකයක්.”
වර්තමානයේ රූපවාහිනි ක්ෂේත්රයේ ඇති වී තිබෙන තත්ත්වය ගැන නිල්මිණිට තිබෙන්නේ සැබෑ ම දුකක්. ඒ දුක හංගාගෙන ඈ වැඩ කරනවා.
“රඟපෑමට අමතරව ඔබගේ ම ව්‍යාපාරයක නියැළෙන නිසා ඔබ ගත කරන්නේ බොහොම කාර්යබහුල ජීවිතයක්ද?”
“ඇත්තටම මට නිවාඩුව කියන දේ අඩුයි. මගේ දරුවාගේ වැඩ, සැලෝන් එකේ වැඩ, වැඩසටහන්වල වැඩ, රූගත කිරීම් ආදී දේ නිසා මා ගත කරන්නේ බොහොම කාර්යබහුල ජීවිතයක්. එක වෙලාවකට මම දිග හුස්මක් අරගෙන සෙටියට ඇදගෙන වැටෙනවා. ඒ මට බොහොම මහන්සි නිසයි. මොකද සෑම වැඩකටම දුවන්නේ මමයි. දුවට, අම්මා කෙනෙකු විදියට මා මගේ අතින් ඉටුවිය යුතු සියලු ම දේ ඉටු කළ යුතුයි. ඇගේ තනි නොතනියට සිටිය යුතුයි. අද සමාජයේ භයානක පැත්තක් තිබෙනවා. ඒ සඳහා මා ඈට රැකවරණය දිය යුතුයි. මේ සියලු දේ කරලා හවස් වනවිට මට මහන්සියක් දැනුණත්, ආපස්සට හැරිලා බලද්දි මට දැනෙන්නේ සතුටක්.”
නිල්මිණිගේ පුංචි කාලය ගෙවුණේ බොහොම සැහැල්ලුවෙන්. ඈට වුවමනා වෙලාවට පාඩම් කළා. පොත්වල වැඩ කළා. පාසලේ බාහිර වැඩවලට සම්බන්ධ වුණා. ක්‍රීඩා කළා. ගස් නැඟ්ඟා. බයිසිකල් පැද්දා. අයියාත් එක්ක තාප්ප උඩින් පැනලා පන්ති ගියා. ගඟේ පැනලා නෑවා. ඒක බොහොම සුන්දර අතීතයක්.
“ඒත් වර්තමානයේ ළමයින්ගේ කාලය ගෙවෙන්නේ වෙනස් ම විදියටයි”
“අප ගෙව්ව වගේ සුන්දර අතීතයක් දැන් ළමයින්ට ඇත්තේ නැහැ. ඒ අතීතයේ සිදුවුණු සුන්දර දේවල් ගැන මේ ළඟදිත් මා ස්වේතා දුවට පැවසුවා. ඒත් අපේ ළමයින්ට ඒ වගේ නිදහසක් ඇත්තේ නැහැ. පාසල් වැඩ වුණත් බොහොම වැඩියි. ඔවුන් ඒ වෙනුවෙන් බොහොම මහන්සි වෙනවා. ඒ වුණත් ස්වේතා දුව දුවගේ කටයුතු තනිවම කර ගන්නයි පුරුදු වී සිටින්නේ. පාසලේ නිල ඇඳුම වුණත් සෝදා ගන්නේ ඇයමයි. ඇගෙන් මට කිසිම කරදරයක් ඇත්තේ නැහැ. බොහොම කීකරු දරුවෙක්. බොහොම දැනුවත් දරුවෙක්. ජීවත් වීමට මා වන මහන්සිය ගැන ඈ දන්නවා. ආගම දහමට නැඹුරු කරලයි මා ඈ හදාවඩා ගෙන තිබෙන්නේ. එවැනි බොහොම යහපත් දරුවකු ලැබීම සතුටට කරුණක්.”
මේ අතර ලයිසියම් ජාත්‍යන්තර පාසලට යන සුන්දර ස්වේතා මන්දාකිණී දියණිය නිවෙසට ඇවිත්. ඈ හෙමින් හෙමින් පහළට ආවා.
“ස්වේතාට අම්මා ගැන කියන්න තියෙන්නේ මොනවාද?”
“මම පාසල් ගිහින් ආවට පස්සේ මුලින්ම පාසල් කටයුතුයි අවසන් කරන්නේ. ඊට පස්සේ අම්මාට නිවෙසේ කටයුතුවලට උදවු වෙනවා. ඒ රෙදි නවලා, ගේ අස්පස් කිරීම වගේ දේවල්වලින්. කවදා හරි මා සම සම්බන්ධ පර්යේෂණ කරන විද්‍යාඥවරියක් වන්න කැමැතියි. රඟපාන්න නම් කැමැති නැහැ. ඒ වගේ ම මම අම්මාට ගොඩක් ආදරෙයි. එයා මට යාළුවෙක් වගේ.”
එවැනි සොඳුරු රුවක් තිබෙන දියණියක් සිටින නිල්මිණී තෙන්නකෝන්ගේ සුන්දරත්වය අදටත් එදා වගේමයි.
“ඒ සුන්දරත්වයේ වෙනස මොකක්ද?”
“මම හිතන්නේ මගේ ආහාරවල ඉඳන්, මා බොන වතුර වීදුරු ගණන දක්වාත්, රූපලාවණ්‍ය ගැනත් මා බොහොම උනන්දුයි. ඒ සියල්ලේදීම දේශීයත්වයට මුල්තැන දෙමින් සියලු දේ සමබර කර ගැනීමත් සුන්දරත්වයට බලපානවා. ඒ වගේ ම සිතේ සතුටත් තමන්ගේ සුන්දරත්වයට බොහොම බලපාන බවයි මට නම් හැඟෙන්නේ. කුහකකම් නොකිරීම, ආගමට දහමත් සමඟ හොඳීන් කටයුතු කිරීමේදී සියල්ල හොඳීන් සිදුවේවි.”
ඇගේ අලුත්ම පැතුම රංගනය නොවෙයි අධ්‍යක්ෂණය. දිගු කාලයක් ලැබුණු අත්දැකීම් හා පළපුරුද්ද සමඟ නිල්මිණි ළඟදීම ඊට මුල පුරාවි.
“මා මෙතෙක් පැමිණි ගමනේ ඉගෙන ගත් දේ බොහෝයි. ඩී.බී. නිහාල්සිංහ මහත්තයාගෙන් අධ්‍යක්ෂණය ගැන බොහෝ දේ ඉගෙන ගත්තා. පොතපතින් ඉගෙන ගත් දේත් ඒ වගේමයි. ඒ නිසා මට අධ්යක්ෂණයට පිවිසෙන්න බියක් දැනෙන්නේ නැහැ. මේ තාක් කාලයක් මා ඒ කටයුත්ත පසුකළේ මගේ දියණියගේ විභාග කටයුතු නිසයි. ඒ සියලු කටයුතු අවසන් නිසා ළඟදීම ටෙලි නාට්‍යයේ අධ්යක්ෂණ කටයුතු ආරම්භ කිරීමටයි මා අදහස් කරගෙන සිටින්නේ.”
නිල්මිණී තෙන්නකෝන්ගේ නව පැතුමත් සමඟ ඇගේ ජීවිතය තව තවත් සාර්ථක වේවි. ඒ සාර්ථකත්වය පසුපස ඉන්න එක ම පැතුම ස්වේතා දියණිය. ඇගේ හෙට දවස වෙනුවෙන් වෙහෙසන නිල්මිණිගේ පැතුම් සාර්ථක වේවා යැයි පතමින් ඒ දෙදෙනාගෙන් අප සමුගත්තා.
තිලානි ශානිකා විතානාච්චි