කාටවත් නොකී රහසක් ගැන විමසද්දී මට කියන්න තියෙන්නේ ටිකක් දිග කතාවක්. ඒ කතාව පටන් ගන්නේ මගේ පුංචි සන්දියෙන්. මට මතක හැටියට එතකොට මගේ වයස 9ක් 10ක් විතර ඇති. අපිට හිතවත් අක්කා කෙනෙකුට හදිසි මුදල් අවශ්‍යතාවයක් ඇතිවෙලා ඇයගේ මහන මැෂිම විකුණන්න සූදානම් වුණා. අපේ ගෙදරට ඇවිල්ලත් එයා ඒ ගැන පැවැසුවා. ඒ වෙද්දී අපේ අම්මාටවත් ගෙදර වෙනත් කිසිම කෙනෙකුට මහන්න බැහැ. ඒත් ඒ අක්කට උදව්වක් විදියට තාත්තා ඒ මැෂිම මිලදී ගත්තා.
මැෂිම දැකපු වෙලාවේ ඉඳන් මට ඒ ගැන ලොකු ආශාවක් ඇති වුණා. ඒ වෙලාවේ ඉඳන් මම මැෂිමත් එක්කමයි වැඩ. ඒක ක්‍රියා කරවන විදිය ගැන හොයලා බලලා ඉක්මනින් මහන්න තමයි මට ඕනෑ වුණේ. මම මුලින්ම සීයාගේ පරණ සරමක් කපලා කලිසමක් මැහුවා. ඒත් ඒක කාටවත් අඳින්න බැහැ. හැබැයි මම මගේ උත්සාහය අතහැරියේ නැහැ. පස්සේ මම අහුවෙන අහුවෙන රෙදි කපලා ඇඳුම් මහන්න පටන් ගත්තා. දවසක් සීයාගේ අලුත් සරමක් කපලා හොඳටම බැණුම් අහන්නත් සිද්ධ වුණා. ඒ බැණුම්වලින් මගේ වැඩේ නම් නැවතුනේ නැහැ. අම්මගේ සාරි කපලත් මම ගවුම් මහලා තියෙනවා. හැබැයි අම්මා මට කවදාවත් තහංචි පනවලා නැහැ.
අපේ ගෙවල් කිට්ටුව ඉන්නවා රෙදි මහන අක්කා කෙනෙක්. මම ඒ කාලේ එයාව මුණගැහෙන්න ගිහින් එයා රෙදි කපන දිහා බලාගෙන ඉන්නවා. එයා තමයි මට රෙදි කපන්න පුරුදු කළේ.
ඔහොම ටික කාලයක් ගතවෙද්දී මට රෙදි මහන්න පුළුවන්. වතාවක් මම ඩෙනිම් රෙද්දකින් සායක් මැහුවා. ඊට පස්සේ මමම ඒ සාය ඇන්දා. හැබැයි ඒක ඇන්දාට පස්සේ මට හුස්ම ගන්නත් බැහැ. මම ඉක්මනට සාය ගලවලා දාන්න හැදුවා. හැබැයි සාය ඇඟට හිර වෙලා ගලවන්න බැහැ. පස්සේ අම්මා ඇවිත් සාය කපලා තමයි අයින් කළේ.
කොහොම කොහොම හරි මම ඇඳුම් මහන්න පුරුදු වුණා. සාප්පුවලට ගිහින් රෙදි වර්ග ගැන දැන ගත්තා. බොහොම ඉක්මනට ඇඳුම් මහන්න විතරක් නෙවෙයි ඩිසයින් කරන්නත් මට පුළුවන් වුණා.
මම ලස්සනට ඇඳුම් මහනවා දැකලා අම්මටත් ඇඳුම් මහන්න ආසාවක් ඇති වුණා. දවසක් අම්මත් මැෂිම ළඟ වාඩි වෙලා මම බාගෙට මහපු ඇඳුමක් මහන්න පටන් ගත්තා. ඒත් ඉතින් නුපුරුදු දෙයක් කරන එක අමාරුයිනේ. ඉදිකට්ට අම්මගේ ඇඟිල්ලක් පසාරු කරගෙන එහා පැත්තෙන් මතු වුණා. අම්මා බයවෙලා කෑ ගැහුවා. අම්මව රෝහලට රැගෙන යන්නත් සිද්ධ වුණා. එදායින් පස්සේ අම්මා මැෂිමක් ළඟ වාඩි වෙන්නෙවත් නැහැ. කොහොමින් කොහොම හරි අද අම්මගේ ඇඳුම් මහන්නෙත් මම.
පස්සේ මම නිළියක් වුණා. නර්තන ශිල්පිනියක් වුණා. නමුත් ඊට පස්සෙත් මගේ හැම ඇඳුමක්ම මහගන්නෙත්, ඩිසයින් කරගන්නෙත් මමමයි. උත්සවවලට, ප්‍රසංගවලට මම අඳින්නේ මගේම අතින් මහපු ඇඳුම්. ගොඩක් අය අහනවා ඒවා මිලදී ගත්තේ කොහෙන්ද කියලා. මමම නිර්මාණය කළා කිව්වාම සමහරු විශ්වාස කරන්නේ නැහැ. අද වෙද්දී මට ලස්සන ඇඳුමක් පැය 1 1/2 කින් මහන්න පුළුවන්. උදේ ඇඳුම මහලා හවස උත්සවයට ඇඳගෙන ගිය අවස්ථාත් මගේ ජීවිතයේ තියෙනවා.
පුංචි කාලේ මම අම්මාගේ සාරි කපනකොට අම්මා දඬුවම් කළා නම් මට මේ හැකියාව ලැබෙන්නේ නැහැ. උපතින් මම අරගෙන ආපු හැකියාව මතු වුණේ අම්මා නිසයි. මගේම ඇඳුම් නිර්මාණ ඇතුළත් ව්‍යාපාරයක් පටන් ගන්න කියලත් මගේ යාළුවෝ අද මට යෝජනා කරනවා. සමහරවිට මේ රහස කවුරුත් දැන ගත්තාට පස්සේ ඒ විදියේ යෝජනා මට තව තවත් ඉදිරිපත් වෙයි.
ආරියවංශ කුලතිලක