සංගීතවේදී නදීක ගුරුගේ මහතා මෙවර ඡන්දයේදී ගනු ලබන තීරණය පිළිබඳ සිය අදහස් දැක්වීමක් සිදු කළේය. ඒ මෙසේය.
ජනතාව වෙනුවෙන් අපි වෙනුවෙන් වඩාත් තර්කානුකූල තීරණයක් ගන්නට ලැබී තිබෙන අවස්ථාවක් මේ එළැඹිලා තියෙන්නේ. පසුගිය කාලයේ එක වකවානුවක මම මේ වැනි දේශපාලන භූමිකාවක ඇතුල්වී හිටිය කෙනෙක් නෙවෙයි. අපේ දේශපාලනය අපි කරන කලා නිර්මාණ තුළ තිබෙනවා. නමුත් මම හිතනවා මෙවැනි වෙලාවක කලාව තුළ දේශපාලනය වගේම එතනින් එහාටත් මැදිහත් වෙන්න සිදුවෙනවා. ඒ නිසා මෙවරත් ජනතා විමුක්ති පෙරමුණට වැඩි දේශපාලන බලයක් එකතු කිරීමේ අභිලාශය වෙනුවෙන් කතා කරනවා. සකලවිධ සමාජමය යාන්ත්‍රණවල තිබෙන අර්බුද අපි කාටත් පැහැදිලියි. ඔබ, අපි සියලු දෙනාම ඒබව අත්විඳිමින් ඉන්නවා. ඒක හරියට නුවරින් බස් එකට නඟින කෙනෙක් සීට් එකක් වෙන්කරගෙන මාවනැල්ලෙන් නඟින කෙනෙකුට සීට් එකක් අල්ලගන්නව වාගේ දෙයක් මේ රටේ දේශපාලනය තුළ තියෙන්නේ. තමන්ගේ දරුවන් නැත්නම් තමන්ගේ සමීපතමයන් තමන්ගේ අනුප්රාප්තිකයන් හැටියට පසුගිය අවුරුදු ගණනාවක් තුළම දේශපාලන ක්ෂේත්රයට එකතුවී තිබෙනවා. ඒක පුරුද්දක් බවට පත්කරගෙන තිබෙනවා. සමාජයට ඒක කොච්චර කාවැදිලා තියෙනවාද කියනවා නම්, සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ මෙවර බිම් මට්ටමේ දේශපාලන බලයක් අත්පත් කර ගැනීම සඳහා කරන මේ ප්රයත්නය වෙනුවෙන් පෙනීසිටින්නට මමත් තීරණය කළා. මේ මොහොතේ ගත යුතු වඩාත් තාර්කිකම පියවර තමයි බිම්මට්ටමේ දේශපාලනයේදී ජවිපෙට වැඩි බලයක් දීම. ඒ හරහා වඩාත් යහපත් වඩාත් පෝෂිත කණ්ඩායමක් එක්ක සමාජයට ගනුදෙනු කරන්න පුළුවන්. ඒ වගේම අපිට ගැටීම් සහ නොඑකඟතාවන් ඇති කරගන්න පුළුවන්. ඒ තුළින් වඩාත් යහපත් දිශානතික කතා සමාජය ගෙනියන්න පුළුවන් මාවතකට ජවිපෙ සමග වැඩකරන්න පුළුවන් කියන අදහස මා තුළ තිබෙනවා. අපි හැමවිටම සමාජය දැනුවත් කළ යුත්තේ බිම් මට්ටමේ දේශපාලනයේදී ජවිපෙට වැඩි බලයක් එකතු කරදීම සම්බන්ධයෙන්.
අවුරුදු හැත්තෑවක නිදහස සමරන්න අද ලොකු උනන්දුවක් තිබෙනවා. අප බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් නිල වශයෙන් නිදහස ලබා ගත්තට පස්සේ ඒ වන විට පැරණි වැඩවසම් යාන්ත්‍රණය තුළ සිටි ප්‍රභූන් නැත්නම් කුලීනයින් නිලතල දැරූ අය නව සමාජයට එකවරම ඇතුළුවුණා. ඒ නව පාලන තන්ත්රය තුළ. එතකොට හුදී ජනයාත් එලෙසම හුදී ජනයන් ලෙස මේ නව යාන්ත්රණයට ඇතුළු වුණා. එතකොට ඡන්දදායකයින් බවට පත්වුණේ මේ හුදී ජනයින්. දේශපාලන බලය ලැබුණේඅර වැඩවසම් සමාජය තුළ සිටි කුලීනයින්ට නැත්නම් රදළයින්ට.
පැරැණි වමේ ඇරඹුමත් ඒ අර්ථයෙන්ම එක්තරා ආකාරයට සරදම්කාරී යමක් ලෙස දකින්න පුළුවන්. යම් ප්‍රාග්ධන ශක්‍යතාවක් තිබුණු පිරිසක් බටහිර අධ්‍යාපනයත් එක්ක ලංකාවට ඇවිත් තමයි පළමු වාමවාදීන් හැටියට සමාජගත වන්නේ. ඔවුන් බරපතළ සමාජ මෙහෙවරක් කරන බව ඇත්ත. නමුත් එක කඳවුරකින් බලය අයිතිකරගෙන සිටි මේ අය පසුකාලීනව කඳවුරු කිහිපයකට බෙදෙන්න පටන් ගන්නවා.
මේ දිනවල ඔබට එක එක විදිහේ වාග් සංග්රාම දකින්න පුළුවන් ජනමාධ්‍ය ඔස්සේ. එකිනෙකාට ඇඟිල්ල දිගුකර ගනිමින් ආක්‍රෝෂ පරිභව බෙනෙමින්. ඒ හැම කෙනාගේම කිල්ලෝටවල හුණු තියෙන බවයි ඔවුන් කියන්නේ. මේ වෙලාවේ ඉතා පැහැදිලියි බලවේග දෙකක් නැහැ අනෙක් කඳවුරේ එකයි තියෙන්නේ. ඔවුන්ගේ නම් වෙනස් පාට වෙනස්. නමුත් දේශපාලන අධ්‍යාශයන් එකක්. ඔවුන් එය පහුගිය අවුරුදු හැත්තෑව තුළම ඔප්පු කරමින් ඉන්නවා. සමාජයේ ස්වාධීන සාමාජිකයන් ලෙස අපට එක්වීමට දෙවැනි කඳවුරක් අවශ්‍යයයි. මේ මොහොතේ ඒ දෙවැනි කඳවුර තමන් බව ජනතා විමුක්ති පෙරමුණ ඔප්පු කරමින් ඉන්නවා. එනිසා මම තීරණය කළා ජවිපෙ වැඩි ප්‍රතිශතයක් බිම් මට්ටමේ දේශපාලනය කරා ආ යුතුයි කියලා.
ප්‍රධාන කඳවුරේ පක්ෂ තුනක් වගේ පෙනුණාට ඔවුන් එකයි. මේ ප්‍රධාන කඳවුරේ සියලුම නොපනත්කම් හෙළිදරව් වෙමින් තිබෙනවා. ලංකාවේ සාමාජිකයාගේ විඥානය ඉතා සිත් ගන්නා සුළුයි. එක පරිපථයක් වැඩ කරද්දී අනෙක් පරිපථය වැඩකරන්නේ නැහැ. මේ පරිපථය වෙනස් කරලා වඩාත් තාර්කිකව දැකීම නමැති පරිපථය අප එකතුකර ගත යුතුයි සමාජ විඥානයට. පහුගිය ඡන්දෙදි වූ වෙනස යම් ධනාත්මක බලාපොරොත්තු දැල්වූවා සිවිල් සමාජය තුළ. නමුත් අද මේ අය එකිනෙකාට අවලාද චෝදනා එල්ලකර ගනිමින් සිටිනවා. මේ අය චූදිතයි. එනිසා වඩාත් ප්රගතිශීලී ගමනක් සඳහා දෙවැනි බලවේගයක් අවශ්‍යයි. ඒ තමයි ජනතා විමුක්ති පෙරමුණ.
දිවයින