“නිළියෝ ගණිකා වෘත්තියේ යෙදෙනවා” කියන්නේ ඇත්තද? කියලා දවසක් එක්තරා මාධ්‍යවේදියෙක් මගෙන් ඇහුවා. “නිළියෝ ගණිකා වෘත්තියේ යෙදෙන්නේ නැහැ. ඒත් ගණිකාවෝ නිළිකමට එන හින්දයි ඔය වගේ කතාවක් හැදිලා තියෙන්නේ” කියලා මම ඔහුට උත්තර දුන්නා.
නැතිබැරිකමට, අසරණකමට ගැහැනුන් ගණිකා වෘත්තියට යනවා. ඒත් තමන්ගේ ආත්මය පාවා දීලා හම්බ කරනවට වඩා කුලී වැඩක් කරලා ජීවිකාව ගෙනියන්න බැරිද කියන එකයි මට තියෙන ප්රශ්නය. ඒ කොහොම වුණත් ඒක ඒ අයගේ පෞද්ගලිකත්වය. තමන්ගේ ශරීරය අලෙවි කිරීම තමන්ගේ කැමැත්තට ඒ අය කරනවා කියමුකෝ. ඒත් ඒ වටිනාකම වැඩිකරගන්න.
“මම නිළියක්” කියාගන්න රූප පෙට්ටියේ මූණ දාගන්න කලාව වගේ උත්තරීතර දෙයක් පාවා දෙන එකනම් අනුමත කරන්න බැහැ. හැමදේම කරලා කරන්න දෙයක් නැති වුණාම රඟපෑම තෝරා ගන්න එක අනුමත කරන්න බැහැ. ඒ හින්දයි මම මේ රහස හෙළි කරන්න තීරණය කළේ.
මෙන්න මේකයි කතාව. විදෙස් රටක පදිංචි ශ්‍රී ලාංකික හිතවතෙක් ලංකාවට ආවා. ඔහු මටයි මගේ සැමියා සුජීවටයි රාත්‍රී ආහාරයට ආරාධනා කළා. ඉතින් අපි දෙන්නත් ලෑස්ති වෙලා මේ කියන අයගේ නිවසට ගියා. අපිව බොහොම සුහදව පිළිගත්තු ඔහු ටිකක් අපිත් එක්ක කතා කර කර හිටියා.
“ඩාලින්...ඉක්මනට ඔය කූල් ඩ්‍රින්ක්ස් ගෙනෙන්න...”
අර මනුස්සයා ගේ ඇතුලට හැරිලා එහෙම කියද්දී මට ඇතිවුණේ කුතුහලයක්. එයා බැඳලා දරුවෝ පවා ඉන්න කෙනෙක්. බිරිඳයි දරුවොයි එයයි ඉන්නේ පිටරට. සති දෙකකට ලංකාවට ආවේ තනියම කියලයි මේ පුද්ගලයා අපට කිව්වේ. එතකොට කවුද මේ “ඩාලිං” කියලා මම හොඳට බැලුවා. ඔය වෙලාවේ එක්තරා තරුණියක් ශීතකල බිම බඳුන් සහිත බන්දේසියක් අරගෙන අපි ළඟට ආවා. මට මේ ගෑනු ළමයගේ මුහුණ හොඳට පුරුදුයි. මම උනන්දුවෙන් එයා දිහා බලාගෙන හිටියා.
“අක්කි.... අක්කිට මතකද මාව.... අපි අර... “.....” ටෙලි නාට්‍යයේ අපි දෙන්නා එකට රඟපෑවේ.
මේ ළමයා කිසිම ලැජ්ජාවක් නැතුව එහෙම කියද්දී තමයි මට මතක් වුණේ ඇය මා රඟපාපු ටෙලි නාට්‍යයක අතිරේක දර්ශනයක හිටි බව. ඒත් එක්කම මම වැලමිටෙන් සුජීවගේ කිහිල්ලට ඇන්නා. “අපිට හදිසි ගමනක් තියෙනවා. ඒකට නොයාම බැහැ. ආයේ දවසක මුණගැහෙමු....”
මගේ හැටි දන්න සුජීව කිව්වා. ‘රෑ කෑමට ඉන්න’ කියලා අර පුද්ගලයා බලකරත් අපි ඒ වෙලාවෙම එතැනින් පිටත්වෙලා ආවේ කේන්තිය දරාගන්න බැරිකමටයි.
ඒ පුද්ගලයා ලංකාවේ ඉන්න සති දෙක තුනට තමන්ගේ පාළුව මකාගන්න කෙනෙක් හොයලා දෙන්න කියලා තැරැව්කරුවෙකුට කියලා තියෙනවා. ඒ අතරමැදියා තමයි ඔහුට “නිළියක්” සපයලා තියෙන්නේ. නිළියක් හින්දා නියමිත මුදලට වැඩි මුදලක් වැය කරන්නත් ඔහුට සිදුවෙලා. අර ගෑනු ළමයගේ පූර්ණ කාලීන රැකියාව තමයි ගණිකා වෘත්තිය. ඒ අතරතුර කොහොම හරි ටෙලි නාට්‍යයකට මූණ දා ගන්නවා.
ටෙලි නාට්‍යයක සමූහ දර්ශනයකට හිටියත් “මම නිළියක්” කියන අය ඉන්නවානේ. මේ ළමයත් “මම නිළියක්” කියලා තමන්ගේ ගැණුම්කරුවන්ගෙන් අය කරන මිල වැඩිකරගන්නවා.
ඊට කාලෙකට පස්සේ මම රඟපෑ තවත් ටෙලි නාට්‍යයක සමූහ දර්ශනයකට ඇය ඇවිත් හිටියා
“හා කොහොමද.. ඊට පස්සේ කාත් එක්කවත් ගියේ නැද්ද...?”
මම උපහාසයෙන් එහෙම ඇහුවේ ඇගේ පෞද්ගලිකත්වය මට අදාළ හින්දා නොවෙයි, ඇය නිළිකමට කරන අපහාසය මට අදාළ නිසා.
“අනේ.... අක්කි... කියන ඒවා...”
ඒ ළමයා කිසිම ලැජ්ජාවක් නැතුව එහෙම කියලා හිනාවුණා. පස්සේ එයාගේ විස්තර ඇහුවම නම් මටත් අනුකම්පාවක් ඇතිවුණා. ඇය ප්‍රශ්න ගොඩක ඉන්න කෙනෙක්. මුදල් අවශ්‍යතාවයටයි මෙහෙම කරන්නේ. ඒත් ගැහැනියක් අසරණ වුණාට තියෙන එකම විකල්පය ගණිකා වෘත්තියද..? අනෙක එවැනි වෘත්තියක යෙදෙන කෙනෙක් තමන්ගේ මිල වැඩිකරන්න රූප පෙටිටියට මූණ දාගන්න ක්‍රමයක් විදියට උත්තරීතර කලාව පාව්ච්චි කරන එක හරිද?
ආරියවංශ කුලතිලක