උපේක්ෂා නුවන්ශ්‍රීනි ලංකාවෙ සාහිත්‍යයට දායක වෙලා තියෙන්නෙ මොන විදිහටද?
ලංකාවෙ සාහිත්‍යයට මම දෙයක් එකතු කලාද නැද්ද කියන එක ගැන නම් මටම කියන්න බැහැ. නමුත් මම මුලින්ම කාව්‍යය කියන මාධ්‍යය තුළින් තමයි ලේඛනයට පිවිසෙන්නේ.
ඉන් පසුව එක නවකතාවක් ලිව්වා ඒක ඇත්තටම අහම්බයක්. 2009 වසරේ ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ලේඛකත්ව හා ජනසන්නිවේදන පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හදාරන අවධියෙ මුහුණ පෑව කිසියම් සිදුවීමක් නිසා මට මහාචාර්ය දම්මික ගංගානාත් දිසානායක කිව්වා ස්වාධීන නිබන්ධය ලෙස නවකතාවක් ලියන්න කියලා. ‘සර්පයාගේ දියණිය’ නවකතාව ලියවුණේ ඒ අභියෝගය බාර ගැනීමක් විදිහට. ඉන් පසුව වසර අටක් පමණ කාලයක් පුරා එළැඹි ‘මොහොතවල්’ වෙනුවෙන් යම් යම් දෑ ලීවා. ඒවා ඒ වෙලාවෙ හදවතට දැනිච්චා .එහෙම නැතිව කිවිඳියක් වෙන්න ඕන නවකතාකාරිණියක් වෙන්න ඕන, විචාරිකාවක් වෙන්න ඕන කියලා ක්ෂේත්රය තුළ අඛණ්ඩ පැවැත්මක් අපේක්ෂාවෙන් ස්ථාවර සරල රේඛීය ගමන් මගක් මම කවදාවත් සකස් කරගත්තේ නැහැ. කිසියම් මාධ්‍යයක් තුළ නිර්මාණකරුවාගේ පැවැත්ම කියන එක තීරණය වන්නේ අපි කරන දේ වෙනුවෙන් දක්වන අවංක කම මත මිස අඛණ්ඩව එහි නිරත වීම තුළ නොවෙයි.
ඒ දායකත්වය පිළිබඳව ඔබ සෑහීමකට පත් වෙනවද?
සැබෑ ලෙසම ලේඛනයේ නිරතවෙන කෙනෙක් කවදාවත් තමන් ලියන දේ පිළිබඳව සෑහීමකට පත්වෙන්නේ නැහැ. මම ලියපු කිසි දෙයක් ගැන මම කවදාවත් සෑහීමකට පත්වෙන්නේ නැහැ. සර්පයාගේ දියණිය දෙවන සංස්කරණිත මුද්‍රණය නිකුත් වුණේ 2016 වර්ෂයේදී . මම පොත සංස්කරණය කළේ මුල් මුද්‍රණයෙන් වසර අටකට පසුව. එතනදී මට තේරෙන්න ගත්තා මොන තරම් දේවල් මට මග ඇරිල තියෙනවද කියලා. අත්පිටපතක් ලියලා එය වසර කිහිපයක් තමාට අමතක වන තුරු තබා සංස්කරණය කිරීම මොන තරම් සාර්ථකද සිතුණා. ලියපු පොත් ගණන අනුව ප්‍රවීණත්වය මනින රටක මම හැමදාම වැටෙන්නෙ ආධුනික කාණ්ඩයට. මොකද මම තවමත් ඔය පොඩි පොඩි ලියවිලි වලට අමතරව එක නවකතාවයි ලිව්වෙ. ඒක ඒ ලියපු කාලය, ඒ වන විට මගෙ වයස දැනුම එක්ක මට තනිවම සතුටු වෙන්න පුලුවන් කාරණයක් තමයි. නමුත් විශ්ව නවකතා එක්ක බැලුවම කවදාවත් අපට අපි ගැන සතුටු වෙන්න බැහැ. ඒ අතින් අපි අපටවත් අවංක නැති තක්කඩි කොට්ඨාශයක්. හැබැයි සාහිත්‍යයට කල සේවයක් විදිහට මම මා තුළින්ම සතුටු වෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි පාඨක ඉල්ලීම් වලට හෝ සම්මාන ලැබීමේ ප්‍රීතිය සලකා පළමු නවකතාවේ උත්තේජනය මත අඛණ්ඩව නොලීම. ඒ නිහඩතාවය තුළින් උපයාගත් අතිරික්ත කාලය තුළ මම බොහෝ දේ ඉගන ගත්තා. මිනිස්සු ගැන. ලංකාවෙ සාහිත්‍යය ගැන. සාහිත්‍යය උළෙලවල ස්වරූපය ගැන වගේම මම කොහොමද මේ වගේ පොළවක ස්ථාන ගත වෙන්න ඕන කියන එක . අන්න ඒ දැනුවත් භාවය මතු දවසක ලියවෙන්න තියෙන දේකට හොද සාරයක් වේවි.
ලංකාවෙ සාහිත්‍යය අද තියෙන තැන ගැන ඔබේ අදහස?
ලංකාවෙ සාහිත්‍යය අද තියෙන්නේ එක්කො පොළවෙනුත් යට. නැත්නම් අහසිනුත් උඩ. මොකද දැන් ලියවෙන ඒවා දෙයියන්ටයි යම පල්ලන්ටයි විතරයි කියවන්න පුළුවන්...විශාල පොත් ගොණු ඇතුළෙ කියවන්න පුළුවන් කිසි දෙයක් නැහැ. මූලිකම දේ ඒවයෙ ජීවිතය නැහැ. ඒකට හේතුව තමයි ලේඛකයා සැලසුම් සහගත වෙන්නෙ, කැප වෙන්නෙ මුහුරත් උළෙලට මිසක් තමන්ගෙ කෘතියට නොවෙයි. නවකතාව කියන මාධ්‍යය වෙන් කරල ගත්තොත් . ඒවායේ නිර්මාණ මූලික කැප කිරීම කියන එක බින්දුවයි. නිර්ව්‍යාජත්වය කියල දෙයක් ඇත්තෙම නැහැ පරිකල්පන සාහිත්‍යය කියල දෙයක් නැහැ. මිනිහා ගැන සම්පූර්ණයෙන්ම මවා ගැනීමක් තුළ ලියන්න බැහැ. ආර්ථික සාධකය නිසා නගරයට කේන්ද්‍ර වෙච්ච පිරිසක් පරිකල්පනිකව සංස්කෘතිය, ගම සහ යුද්ධය හිතෙන් මවනවා.ඒව හරියට බාගෙට කාලා නිදා ගත්තම රෑට පේන හීන වගේ. ගිලන් වෙච්ච දවසකදි උදාවෙන වෙහෙසකර නින්දක් වගේ හැඟීමක් පමණයි පාඨකයටත් ඉතිරි වෙන්නේ. මොකද හදවතට ගොඩක් දුර දෙයක් ගැන ලියවුණ කෘතියක් දැඩි ආයාසික කියවීමක් ඇතුළෙ විඳල කිසි දෙයක් කාටවත් ලබන්න බැහැ. ඔය අතරෙ තව සමහර කොටසක් ඉන්නවා ලේඛකයො විදිහට මුදලාලිකරණය වෙච්ච . ඒ අය සල්ලි නැති වුන ගමන් දුප්පත් කම, අම්ම තාත්ත පවා ලේඛන ඇතුළෙ විකුණනවා . ජීවන වෘත්තාන්ත කියලා එළි දැක්වෙන්නෙත් කුණු ගොඩවල්. ඒ දේවල් වල කිසිම වින්දනීය වටිනාකමක් නැහැ. ලියපු මනුස්සයගෙ ආවේග බැහැරවීම පමණයි වෙලා තියෙන්නේ. එහෙම අය කරන්න ඕන තමන්ගෙ ඇරියස් සේරම කොපි පොතක ලියලා කවර් කරගෙන ඊට පස්සෙ දෙයියනේ කියලා ඒක පුළුස්සන එක මිසක්, සාහිත්‍යයක් ලෙස හඳුන්වලා ඒක ලේඛනගත කරන එක නෙමෙයි. ඔය වගේ දේවල් නිසා අර කොටුවෙ පොඩි හාමුදුරුවන්ගෙ බණයි ලංකාවෙ නවකතා අතරයි අද දවසෙ කිසි වෙනසක් නැහැ.
ලංකාව තුළ ස්ත්‍රියගේ නිර්මාණ දායකත්වය ප්‍රමාණවත්ද?
මෙහෙමයි. සාහිත්‍යකරණයේදී ස්ත්‍රිය සියයට පනහක් දායක වෙන්න ඕන පිරිමියා පනහයි කියල එකක් නම් නැහැ. සාහිත්‍යය කියන්නේ දෙපිල බෙදිල කරන ක්‍රීඩාවක් නෙමෙයිනේ. ලිංග භේදය අදාළ ම නැහැ . ගැටලුව තියෙන්නෙ නිර්මාණකරණයේ නියුක්ත වෙන්නේ පිරිමියාද ගැහැණියද කියන එක නෙමේ මේ ලියවෙන ඒවා සාහිත්‍යය ලේඛන වශයෙන් තවදුරටත් තැකිය හැකිද කියන කාරණයයි. කොහොම වුණත් ලංකාවෙ ස්ත්‍රිය ගැන නම් කතා කරල වැඩක් නැහැ.ස්ත්‍රීන් ආකල්ප අනුව ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක කොටසක් තමයි ඇත්තටම මධ්‍යම පාන්තික සහ ඒ වගේ පෙන්නන පිරිස. ආං ඒ අය රැස්වීම් තියන්නෙ කෑ ගහන්නෙ තමන්ට බාර් එකකට ගිහින් බොන්න තියෙන නිදහස වගේ දේවල් වෙනුවෙන්. හරි රැඩිකල් කියල පෙන්වන්න මොකක් හරි අනෙක් අය නොකරන දෙයක් කරනවා. අනෙක් පොදු ගැහැනිය නොකරන දේ කිරීම කලාව කියලා හිතනවා. ඒ තුළින් එන්නෙ විනාශකාරී ප්‍රතිවිපාක මිස නිර්මාණ නොවෙයි. එතකොට අනෙක් පිරිස ගත්තම එයාල හරියට ගේක පිලයි මිදුලයි අතරෙ සීමාවක් කොටුකරල හදපු මල්පාත්ති වගේ. තමන් වටා සීමිත විශ්වයක් එයාලම නිර්මාණය කරගන්නවා. තමන්ගෙ පවුල දරුවො සහ සැමියා හැරුණු කොට එතනින් එහාට ඇයට වෙන කිසි දෙයක් පේන්නෙ නැහැ. පොතක් කියවන එක, නාට්‍යයක් බලන එක, නිදහසේ ලොකු ගහක් යටින් ඇවිදන් යන එක වගේ අපට තියෙන සුන්දර හීන මහ සාපරාධි දේවල් වශයෙනුයි ඒ අය සලකන්නේ. නිර්මාණ සඳහා දායක නොවුණත් ඇයගේ චින්තන විශ්වය අනිවාර්යයෙන්ම මීට වඩා ප්‍රසාරණය විය යුතුයි. දරුවන් වැදීම පමණක් නොවෙයි ස්ත්‍රීත්වය ට අයත් කාර්යභාරය වන්නේ. ඒ බිහිවන දරුවන් ප්‍රඥාවන්ත පරපුරක් වන්න නම් අඩු තරමේ හොඳ පොතක් කියවා රසවිදින්නවත් ඇයට හැකි වෙන්න ඕනෑ. මෑත කාලයෙ මධ්‍යම පාන්තික ස්ත්‍රීන් කිහිප දෙනෙක් තමන්ගෙ අතිරික්ත කාලය ප්‍රයෝජනයට අරන් නිර්මාණකරණයට ඇවිත් තියෙන බව පෙනුනා..නමුත් මොනිකා රුවන් පතිරණලගෙ තිබුණු ජීවන බර අද නිර්මාණ වල දකින්න නැහැ.ජී වන බරක් තියෙන ජීවිතය විඳින කාන්තාවන් අද මේ පොළව ඇතුළෙ නැහැ.ඉතින් කොහොමද නිර්මාණ දායකත්වයක් දෙන්නේ. මේ තත්වයට ආසන්නම හේතුව තමයි තමා විසින් ම සීමිත විශ්වයක් තුළ තමාව රාමුගත කර ගැනීම.
නිර්මාණයකට ස්වයං හික්මීමක් ලේඛකයකුට අවශ්‍යද?
ඔව් . අනිවාර්යයෙන්ම එය අත්‍යවශ්‍ය සාධකයක්. ලියවිල්ල ඇතුලෙදි පමණක් නොවේ . ලේඛකයා කියන සමස්ත භූමිකාව තුළම ඔහුට විලිලැජ්ජාව කියන එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒ විලිලැජ්ජාව ක්‍රියාත්මක වෙන්න ඕන මෙන්න මේ කාරණාවලදියි. නවක ලේඛිකාවක් සම්බන්ධයෙන් අත්වැල සපයන කොට , සම්මාන උළෙලකදී තමන්ට නැතිව වෙනත් අයකුට සම්මානය හිමි වූ විට, දේශපාලනය කියන බලවේගය තමා හඹා එන විට.. ඔන්න ඔය වගේ අවස්ථාවල ඔවුන් ක්‍රියා කරන පිළිවෙත අනුව ඔවුන්ගෙ ලේඛන සහ ජීවිතය තුළ පරස්පරය හොයාගන්න පුළුවන්. ගේක අත්තිවාරමයි බිත්තියි අතර පරතරයක් හිටින්න පුළුවන්ද? බැහැනේ. අන්න ඒ වගේ කෘතිය තුළ තියෙන්න ඕන තමන්ගෙ ඇත්ත ජීවත ආකල්පය. ඒ වගේම ලේඛන කාර්යට අවතීර්ණ වුණාට පස්සෙ නිර්මාණකරණ ක්‍රියාවලිය තුළදීත් ඔහුට ඉවසීමක් තිබිය යුතුයි. මා ඔබට මුලින් කීවා වගේ අත් පිටපතක් සකසලා එය වසරක් පමණවත් තමාට අමතකවන තුරු සංස්කරණය කරනවානම් , එමෙන්ම අඩු තරමේ තමන් ලියන ප්රස්තුතය සහ විෂය සම්බන්ධව ප්‍රමාණවත් අධ්‍යයනයක් තිබේද කියන එකවත් පිරික්සා බලන්න විවේකයක් ගන්නව නම් එය ඉතාම වැදගත්.ඒ වගේම තමා කිසියම් කෘතියක් ලිවිය යුත්තේ සිහිවටන නඩත්තු කරන්න නොවෙයි කියන කාරණය.සම්මාන හීනෙන් දකිමින් ලියන නවකතාත් ඒ ලෝහමය සිහිවටන වගේ තමයි. අජීවී භෞතික ද්‍රව්‍යමය වස්තු පමණයි. ඒවා තුළින් ජීවින් සහ ජීවිත බැහැර වෙනවා . ලේඛකයෙක් වෙන්න මෙවැනි සාරයක් නැති භෞතික වස්තු පනහක් හැටක් බිහිකිරීම ප්‍රමාණවත් නොවන බව වටහා ගන්න ඕන. මිලාන් කුන්දේරාගේ පියාපතක් වන් ජීවිතයක් පොත කියෙව්වම මම මා ගැනම විලි ලැජ්ජාවට පත් වුණා. අපි අපේම ජීවිතය ගැන දන්නේ මොන තරම් ටිකද? ලංකාවෙ සමහර නවකතාවල තියෙන පරිච්ඡේද බීපු මිනිස්සු ලියන වාක්‍යය වගේ .කිසි තේරුමක් නැහැ. ඒත් කුන්දේරගෙ පොතේ කිසිම අනවශ්‍යය වාක්‍යයක් නැහැ ඒක ඇතුළෙ තියෙන දැනුම, ආකෘතික විවිධත්වය, සැලසුම් සහගත බව මේ කිසිදෙයක් කලබලයට කරපු දේවල් නොවෙයි. සාහිත්‍යය කියන්නෙ ආත්මීය දෙයක්. ඒක තමන්ගෙ ආත්මීය ප්රකාශනය වෙන්න ඕන. නමුත් එහෙම කියල ජීවිතය ඇතුළෙ සිද්ධ වෙන කුණු ගොඩවල් සේරම පොතක ලියන්න බැහැ. අත්දැකීම් සමූහයක් අතරින් නිර්මාණාත්මක අත්දැකීම කුමක්ද කියන එක තෝර ගන්න ලේඛකයෙකු තුළ මනා හික්මීක් තියෙන්න ඕන. ඒ වගේම එය නිර්මාණයක් බවට පත් කිරීම කියන කාර්යය තුළ පරිකල්පනය හැසිරවීමේදී තමන්ගෙ කෘතියෙ සැලසුම, චරිත නිරූපණ විලාස පමණක් නොවේ සන්දර්භීය ගැඹුර පවා තීරණය වන ආකාරය සැලසුම් කළ යුත්තේ කුමානුකූලව සහ මහත් ඉවසීමකින්.
සර්පයාගේ දියණිය හරහා ඔබ සමාජගත කරන්නට බලාපොරොත්තු වූයේ කුමක්ද?
ඇත්තම කතාව නම් ඕක ලියල මට සමාජ ගත කරන්න ඕනෑ වුණේ කවි ලියන මුවාවෙන් කූඨ ජීවිතයක් ගෙන ගිය තක්කඩියෙක් ගෙ සත්‍යය ජීවන විලාසය.ඒක ටිකක් විතර සී.අයි. ඩී වැඩක් වුණත් සමාජ මෙහෙවරක්ය කියලා මට හිතුණා. ඒත් අපි පත්තරේකට ලිපියක් ලියනවා වගේ නෙමෙයි. නවකතාවක් ලියද්දි අර ඇත්ත චරිතය වෙනස් වෙනවා.අන්තිමේ ප්රස්තුත මූලික චරිතයෙ හරය විතරක් ඉතිරි වෙලා අපි ලෝකයට එළිදක්වන්න ගිය පෞද්ගලික අනුරුව සම්පූර්ණයෙන්ම විනාස වෙනවා. අපිට මොන තරම් අප්‍රසන්න කෙනෙක් වුණත් ඔහු , ඔහුගෙ අන්තර් සම්බන්ධතා, සෙසු චරිත අතර අවකාශීය කාරණා සහ නවකතාව තුළ විශ්වය සකස් කරද්දි අර මුලින් තිබුණ පැතලි හැඩය නැතිවෙලා ඔහු වෙනත් පුද්ගලයකු බවට පත්වෙනවා. ඉන් පසු අපි ගාව ඉන්නෙ වෙනත් පුද්ගලයෙක්. මෙන්න මේ නවමානයෙන් යුක්ත චරිත තුළ මට කියන්න ඕන වුණේ හොඳ නරක වශයෙන් මිනිසුන් බෙදා වෙන් කිරීමේ කිසිදු පලයක් නැති බවයි. සර්පයාගේ දියණිය නවකතාව අවසානයේ මාධවී තේමියට වගේම බුවනෙකටත් සොහොන් දෙකක් තනවනවා. එයින් ඇය හොඳ සහ නරක වශයෙන් මෙතෙක් නවකතාව තුළ සම්මත කරණය වෙමින් ආ චරිත දෙක සමපාත කරනවා. ඇත්තටම අපි ජීවිතේ අවසානෙ මේ ලෝකෙට තියල යන්නෙ මොනවද? සොහොන් කොතක් සහ ඒ මත ලියවුණු එක් කෙටි වැකියක් පමණයි. ඒ කෙටි වැකිය ඇත්තටම අපි ගත කළ ජීවිතය පිළිබඳ සත්‍ය පිළිබිඹුවක්ද ? මොන තරම් ජරාජීර්ණ කෙනෙක් වුණත් මිය ගියාම එයාගෙ සොහොනෙ වැකියක් ලියන්න එයාට ආදරය කළ කෙනෙක් මිහිපිට ඉතිරිවෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංවේදී විදිහට ලියන්න පුළුවන් නාඳුනන කෙනෙක් ඒ මොහොත තුළ තමාට දැනෙන දේ සොහොන් කොත මත ලියා තබනවා . සර්පයාගේ දියණිය ලියල ඉවර වුණාම පුද්ගල වෛරය කියන එක මගෙන් විනිර්මුක්ත වුණා. එකම මිනිහා ජීවිතේ විවිධ ස්වරූප මත කෙනෙක්ගෙ ජීවිත කාලය තුළ දි බලපවත්වන විදිහ වෙනස් වෙන්න පුළුවන්. ජීවිතය හරි සංකීර්ණ විෂයක්. ඒක තුළ වර්ගීකරණයෙන් තොරව මිනිසා වැළඳ ගැනිම සහ එළඹි මොහොත අත්විඳිම වඩා වැදගත් කියන එකයි මට කියන්න ඕනෑ වුණේ.
සාහිත්‍යය ගැන ඔබේ නිර්වචනය කුමක්ද?
මට අනුවනම් සා + හිත කියන්නෙ හිතක් සහිත දේ හෝ හිතේ සහිත දේ. නිර්මාණයකට මුල් වෙන්නෙ කිසියම් සිතිවිල්ලක් හෙවත් නිර්මාණකරුවෙකුගෙ හිතේ සහිත දේ. ඒ සිතුවිල්ල එන්නෙ ආපේ හදවතින් එහෙම නැත්නම් ආත්මයෙන්. වඩාත් සංකීර්ණව කියනවා නම් මානසික ව්‍යුත්පත්තීන් හෝ ක්ෂතියන් තමයි අත්දැකීම් බවට පරිවර්තනය වන්නේ. මෙන්න මේ හිතේ ඇති දේ සාහිත්‍යක් බවට පත් වන්නේ කලාකරුවකුගේ හිත ඇති දේ හෙවත් තමා කැමති මාධ්‍යයක් තුළිනුයි. නවකතාවට හිත ඇත්නම් එය නවකතාවක් ලෙසිනුත් , එසේත් නැත්නම් කවියට හිතැති නම් කවියක් ලෙසිනුත් ආදී වශයෙන්. තව පැත්තකින් ගත්තොත් මේ හිතැති දෙය කියන එක තේමාත්මක හිතවාදය ලෙසත් ගන්න පුළුවන්. ඒ කියන්නේ මානවීය, පාරිසරික , ආත්මීය , ඛේදාන්ත ආදී වශයෙන් විවිධාකාර තේමාවන් වෙන්න පුළුවන්. සමහරු යුධ හිතවාදී ලේඛකයො බවට පත්වෙනවා. ඔවුන් යුද්ධය විෂය කරන් ලේඛනය කරනවා. තවත් අය පරිසරය හේතු කරගෙන. හැබැයි මොන ආකාරයකට අපි ලිවීමකට ප්‍රවේශ වුණත් එතන තියෙන්න ඕන තමන්ගෙ සැබෑ හඬ සහ ආත්මය . හැබැයි සර්වකාලීන හෝ සදාකාලික කලා කෘති ලෝකෙ කොහොවත් ඇත්තෙ නැහැ. ඒව තියෙන්නෙ ලංකාවෙ විතරයි. මෙහේ නවකතාවල විතරයි සදාකාලික විරාගික චරිත, පරාජිත චරිත නිරූපණය වෙන්නේ . නමුත් පැහැදිලි වතුර වගේ චරිත නියම සාහිත්‍යය නිර්මාණයකින් බිහි වෙන්න බැහැ. මොකද පැහැදිලි වතුර කියන්නෙත් හිතින් හදා ගත්ත සංකල්පයක් පමණයි. දෘඨ පාංශුමය දහරක් තුළින් පැන නැගෙන වතුරක ක්ෂුද්‍ර අංශු කිසිවක් නැති සුපිරිසිදු බවක්, අමිශ්‍ර බවක් කිසිසේත්ම බලාපෙරොත්තු වෙන්න බැහැ. මහ පොළවෙන් උපන් අපිත් ඒ වගෙයි. ඒ නිසා සාහිත්‍යය කියන්නේ පොළොවෙන් ඉපදුණු මිනිසුන්ගේ ජීවන ලාලලසාව, අභිප්‍රේරන සහ වියුක්තීන් කෙරේ යටි හිතේ ඇති හිතවාදී බව තමාට හිතැති මාධ්‍යයක් තුළින් නිරූපණය කිරීමයි කියල කියන්න පුලුවන්. නමුත් මේ මොහොත වෙද්දි සාහිත්‍ය අභිලාෂයක් ලෙස වඩා වැදගත් වෙන්න ඕන මාර්ටින් හෛඩැගර් කිව්ව වගේ ලෝකය සමග කාලය කියන සාධකය මත මිනිසා ගේ පැවැත්ම තහවුරු වන්නෙ කොහොමද කියන එක සියුම් ව සොයා ගැනීමයි.
සංලාපය - නදීෂා සදමාළි ලියනගේ
ජනයුගය - රේඛාව