තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් රඟපෑමට එක්වූ ආරංචිය පසුගිය සතියේ අපි ඔබට කිව්වා. කලක් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ මංජුලා තිළිණි අපි අද මේ විදිහට කතාබහට එකතු කර ගත්තේ මෙතෙක් කල් කිසිවෙකුට නොකී තවත් කාරණා කිහිපයක් ගැනත් ඔබට කියන්නයි.
වසර දොළහකට ආසන්න කාලයක් රඟපෑමෙන් ඈත් වෙලා හිටපු මංජුලා ආයෙමත් රඟපාන්න ඇවිත්. මෙච්චර කාලයක් ගිහිල්ලා හරි ආයෙමත් රඟපාන්න හිතුණේ ඇයි ?
ඇත්තම කිව්වොත් අපේ චූටි බබාට තවම මාස අටයි. එයා වෙනුවෙන් ඩිල්ෂාන්ටයි මටයි කරන්න තව වැඩ ගොඩක් තියෙනවා. ඔය වගේ කාලයක තමයි මගේ රංගනයේ දෙවෙනි ගමන පටන් ගන්නේ. දෙවෙනි ගමන ඉක්මන් වෙන්න ප්‍රධාන හේතුව තමයි මහේෂ් සහ ශාන්ත අයියලා. ඔවුන් දෙදෙනා එකට එකතු වෙනවා කියන්නේ හොඳ නිර්මාණයක් හැදෙනවා කියන එකයි. ඒ දෙන්නගේ දහවෙනි ටෙලි නාට්‍ය තමයි “මිතූ” කියන්නේ. මම ශාන්ත අයියා එක්ක වගේම මහේෂ් අයියත් එක්කත් කලින් වැඩකරලා තියෙනවා. මම කාලෙකට පස්සේ රංගනයට එනකොට නිදහසේ වැඩකරන්න පුළුවන් ඊට අවශ්‍ය පරිසරයකුත් තියෙනවාද කියලා බැලුවා. “මිතූ” ටෙලි කණ්ඩායම මට ඒ පරිසරය ඉතාමත් හොඳින් හදලා දුන්නා. ඒ නිසා මේ චරිතේ රඟපාන එකත් මට පහසු වුණා. ඩිල්ෂානුත් මට නිතරම කියනවා “මංජුලා ඔයා ආයෙමත් රඟපාන්නේ නැද්ද කියලා හැමෝම මගෙන් අහනවා” කියලා. ඩිල්ෂානුත් මම රඟපානවාට ගොඩක් කැමතියි. ඒ නිසයි මම ආයෙමත් රඟපෑමට එකතු වුණේ.
අවුරුදු දොළහකට පස්සේ මංජුලා රඟපාන්නේ අම්මා කෙනෙකුගේ චරිතයක්. එදා පෙම්වතියකගේ චරිත රඟපෑ මංජුලා මේ වෙනසට කොහොමද මුහුණ දුන්නේ?
දැන් මමත් දරුවෝ හතර දෙනෙකුගේ අම්මා කෙනෙක්. සැබෑ ජීවිතේදී අම්මා කියන භූමිකාව ඉටු කරන මට මිතුගේ අම්මා වෙන්න මොකද බැරි. “වාසුකී” කියන්නෙත් මංජුලා වගේම අම්මා කෙනෙක්ට දැනෙන සියලු හැඟීම් දැනෙන චරිතයක්. ඒ නිසා තමයි මම ඔය කියන චරිතය ඉතාම කැමැත්තෙන් රඟපාන්න බාර ගත්තේ.
ඉස්සරහටත් මංජුලා දිගටම රඟපාන්නද හිතාගෙන ඉන්නේ?
අපිට පුංචි දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. ඉතිං ඩිල්ෂාන්ගෙයි මගෙයි ලෝකේම අපේ දරු පැටව්. ඒ නිසා අපේ පවුලටත් මූලික තැන දීලා හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් විතරක් බාර ගන්නවා. මොකද නිර්මාණයකට දායක වෙනකොට මානසික නිදහසත් තියෙන්නම ඕනේ. එතකොට තමයි ඒ නිර්මාණයට උපරිම සාධාරණයක් කරන්න පුළුවන් වෙන්නේ.
“මිතු” හරහා මංජුලාගේ රංගනයේ දෙවෙනි ගමන ආරම්භ වෙනකොට, ඒ ටෙලි නාට්‍යයෙන්ම “ඩිල්ෂාන්” තමන්ගේ රංගනයේ පළමු ගමන ආරම්භ කරනවා. ඒ ගැන මොකද හිතෙන්නේ ?
ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද අවුරුදු දොළහකට පස්සේ මම රංගනයට එනකොට ඩිල්ෂාන්ටත් ඒ ටෙලි නාට්‍යයේම චරිතයකට ආරාධනා ලැබෙනවා. දිල්ෂාන් කියන්නේ ලෝකයම පිළිගත්ත දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඒ ක්‍රිකට් ක්‍රීඩකයාටම අද රංගනයෙන් අපේ ආදරණීය රසිකයන් දිනාගන්න පුළුවන් වෙලා තියෙනවා. බිරිඳක් විදිහට මට ඒ ගැන ආඩම්බරයි. ඒ වගේම ඩිල්ෂාන් හරිම කලාකාමී පුද්ගලයෙක්. කලාවට, සංගීතයට බොහොම ආදරේ කරන කෙනෙක්. ඉස්සර ඉඳලා ටෙලි නාට්‍ය බලන්න, සින්දු අහන්න එයා හරිම කැමතියි. “මිතූ” ටෙලි නාට්‍යයේ තිස්සගේ චරිතෙට ආරාධනා ලැබුණාම මුලින්ම එයා “බෑ” කිව්වා. මම තමයි එයාව ගොඩක් උනන්දු කළේ. මුලදී බෑ.....බෑ.... කියපු ඩිල්ෂාන් දැන් ඒ චරිතය රඟපාන්නේ පුදුම ආශාවකින්. එයා කොහොම හරි ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරනවා කියන සතුට මට තියෙනවා.
අම්මගෙයි තාත්තගෙයි රඟපෑම් දකිනකොට දරුවෝ මොකද කියන්නේ ?
“මිතු” ටෙලිනාට්‍ය යන වේලාවට දරුවෝ දුවගෙන ඇවිත් ටීවි එක ඉස්සරහ ඉඳගන්නවා. එක්කෙනෙක් කියනවා “තාත්තට ඒ විදිහට නම් කොණ්ඩේ හරි නැහැ” කියලා. තව කෙනෙක් කියනවා. “බලන්නකෝ තාත්තා රඟපාන ලස්සන” කියලා. එතකොට අනිත් කෙනා කියනවා “අම්මා නම් ලස්සනට ඉන්නවා.... තාත්තා ටීවි එකට ඇවිත් මුණ කැත කරගෙන” කියලා. ඒත් එයාලට හරිම සතුටුයි අපිව දැක්කම. ඒ හින්දා දැන් මේ තුන්දෙනාව ටීවි එක ළඟින් හොල්ල ගන්නවත් බැහැ. “අම්මයි තාත්තයි දිගටම රඟපාන්නකෝ” කියලා ඒ අය අපිට බලකරනවා.
සමන්මලී නැලිගම