හැබැයි කවදාවත් කාටවත් හිත රිදෙන දෙයක්වත්, කවුරු දිහාවත් හිත රිදෙන විදිහටවත් රොනී බලලා නැහැ.
මරියසෙල්... මතකද මුලින්ම රොනීව මුණගැහුණු කාලය..?
ඔව්.. මට මතකයි. ඒ 1973 අවුරුද්දෙ විතර. ඒ කාලේ මම moester කියන සංගීත කණ්ඩායමට එකතුවෙලයි හිටියෙ. ඒකෙ පොඩි ප්‍රසංගයක් අපි අත්තිඩියේ පැවැත්වුවා. ඒක බලන්න රොනී එයාගේ යාළුවෝ පිරිසකුත් එක්ක ඇවිත් හිටියා. අපේ බෑන්ඩ් එකේ අනිත් අය එක්ක රොනී හිතවත්ව හිටියට එදා තමයි මම රොනීව හඳුනාගත්තෙ. අද කාලේ වගේ නෙමේ ඒ කාලේ, අද නම් සමහරු ප්‍රසංගයකදී සින්දුවක් ගායනා කරන එකේ පොඩි මාන්නයක් තියෙනවනෙ. ඒ කාලේ එහෙම නැහැ. එදා අපි බෑන්ඩ් එකේ සෙල්ලම් කරද්දී රොනී අපෙන් සින්දුවක් ගායනා කරන්නද කියලා ඇහුවා. ඉතින් අපි හරිම කැමැත්තෙන් ඒකට අවස්ථාව දුන්නා. එදා රොනී බටහිර ගීතයක් හරි අපූරුවට ගායනා කළා. හැමෝම රොනීට හොඳ ප්‍රතිචාර දැක්වුවා. එදා තමයි රොනීව මම මුලින්ම හඳුනාගත්තෙ. එතැනින් පස්සෙ රොනී බටහිර සංගීතය කරගෙන ගියා.
ඊටපස්සෙ නිතර නිතර ඔබ රොනීව මුණගැහුණා නේද..?
ඔව්.. ඉස්සර සංගීතයට සම්බන්ධ හැමෝම වගේ නිතර නිතර මුණගැහුණ තැනක් තමයි කොටුව ආකාසේ කඩේ. ඉතින් රොනීත් ඒ කාලේ එයාගේ සංගීත කණ්ඩායමත් එක්ක ආකාසේ කඩේට ආවා. ඉතින් ඒ නිසා අපි නිතර නිතර ආකාසේ කඩේදී මුණගැහුණා. ඒ වගේම තිඹිරිගස්යායෙ Kokon කියලා තව තැනක් තිබුණා. එතැනදී අපි කට්ටිය මුණගැහුණා. ඒ කාලේ හරි විනෝදකාමීයි. අපි කවුරුවත් අතරේ ඉරිසියාව, කේලම් කීම වගේම කිසිම තරගයක් තිබුණේ නැහැ. අපි හැමෝම එකතුයි. අපේ ගමන අපි ගියා. රොනී එයාගේ ගමන ගියා. ඉතින් එහෙම තමයි අපි ඒ කාලේ මුණගැහුණේ.
රොනී මොනවගේ කෙනෙක්ද..?
ඒ කාලෙත් එයා හරිම විනෝදකාමියි. විහිළු කරන්න හරි දක්ෂයි. රොනී පොඩි දරුවන්ට හරි ආදරෙයි. කොහේ ගියත් පොඩි දරුවෝ රොනී එක්ක හරිම හිතවත් වෙනවා. රොනීගේ කොලු කාලෙදීත් එයා හරිම විහිළුකාරයෙක්.
ඔහු ප්‍රසංගයකට මුලින්ම ඔස්ට්‍රේලියාවට ගියෙත් ඔබත් එක්ක. අවසානයට ඔස්ට්‍රේලියාවට ගියෙත් ඔබත් එක්ක. මතකද මුලින්ම ඔස්ට්‍රේලියාවට ගිය ඒ ගමන..?
ඔව්.. රොනීගේ ඔස්ට්‍රේලියාවට ගිය මුල්ම ගමන මට සුන්දර මතකයක් වුණා. රොනීට මෙල්බර්න්වල එයාගේ නෑදෑයෝ ගොඩක් හිටියා. දැනටත් ඉන්නවා. හැබැයි ඊටත් වැඩි පිරිසක් ඒ මුල් ගමනේදී හිටියා. ඉතින්.. එදා රොනී ගීත ගායනා කරන්න කලින් මයික් එක අතට අරගෙන දෙහිවලින් කවුරුහරි ඉන්නවද.. එහෙම ඉන්නවනම් අත උස්සන්න. කියලා කිව්වා. විශ්වාස කරන්න, එදා ප්‍රසංගයට ඇවිත් හිටපු අයගෙන් ගොඩක් දෙනෙක් අත ඉස්සුවා. එදා සියයට අනූවක් වගේ හිටියෙ දෙහිවලින් ඇවිත් හිටපු, රොනීව දන්න කියන අයයි. එදා රොනී හරියට සතුටු වුණා. ලස්සනට සින්දු කිව්වා. ඉවර වුණාට පස්සෙ එයා ඒ හිතවතුන් එක්ක ෆොටෝ ගත්තා. ඒ නෑදෑයන්ගෙ ගෙවල්වල ගියා. එදා මගේ පුතාත් අපිත් එක්ක ඔස්ට්‍රේලියාවට ගියා. ඒ කාලේ පුතා හරිම පොඩියි. රොනී යන යන තැන රස කතා මවනවා. රොනී ඒ යද්දී දරුවෙක්ට කියන්න හොඳ නැති වචනයක් කියලා, ඒක මගේ පුතාත් කියන්න පටන් ගත්තා. ඔන්න මගේ නෑදෑයෝ එක්ක මෙයා කියවනවා. ඒ වෙලාවේ මම රොනීට හොඳට බැන්නා. අනේ ඒ වෙලාවෙත් රොනී ඒ වචනය කිය කියා බඩ අල්ලගෙන හිනාවුණා.
රොනීගේ පාස්පෝට් එකට මොකද වුණේ..?
ඔය කියන්නෙ අර හඳුනාගන්න බැරිවුණු පාස්පෝට් එකනෙ. ඒකත් වුණේ මේ අවුරුද්දෙ අගෝස්තුවල මෙල්බර්න්වලට ගිය ගමනෙදී තමයි. එහේ එයාර්පෝට් එකට ගියාට පස්සෙ තමයි අපි දැක්කෙ රොනීගෙ පාස්පෝට් එකේ මුහුණ තියෙන පිටුව සම්පූර්ණයෙන්ම දියවෙලා කියලා. මුහුණක් පේන්නවත් නැහැ. බොඳවෙලා ගිහින්. සාක්කුවේ පාස්පෝට් එක දාලා වැස්සෙ ගිහින් පාස්පෝට් එක දියවෙලා. ලංකාවෙන් රොනීව මෙල්බර්න්වලට යැව්වට එහෙදී මේක දැක්කම රොනීව ටික වෙලාවක් තියාගෙන හිටියා. ඊටපස්සෙ ඉතින් විස්තරය කියලා රොනී ඉක්මනට ආවා. ඒ වගේ සමහර වෙලාවට රොනීට සිහියක් නැහැ. ඒ ඇවිල්ලත් ඉතින් වෙච්ච දේ කිය කියා රොනී හිනාවෙනවා. ඒක තමයි එයාගේ එකම වැඩේ.
කේෂියාගේ විවාහ උත්සවය වෙනුවෙන් රොනී මරියසෙල්ගෙන් කරපු ඉල්ලීම මොකක්ද..?
මම ගීතිකා ගායනා කරනවා. රොනීයි මායි කතා කරගන්නෙ උඹ, බං කියලා තමයි. ගොඩක් වෙලාවට රොනීට මම මචං කියනවා, මට රොනී මචං කියනවා. ඉතින් දවසක් රොනී මට කිව්වා මචං කේෂියාගේ වෙඩින් එක තියෙනවා. එදාට කේෂියා වෙනුවෙන් ගීතිකාවක් ගායනා කරන්න පුළුවන්ද කියලා. මම ඒකට කැමති වුණා. ඒ වගේ විශේෂිත ගීතිකා කිහිපයක්ම තියෙන නිසා මම කේෂියාගෙන් ඇහුවා, මොකක්ද පුතේ ඕන සින්දුව කියලා. එයාලට ඕන වුණේ කේෂියාගේ විවාහය අත්සන් කරන වෙලාවෙදී මම ලවා විශේෂිත ගීතිකාවක් ගායනා කරවන්න. ඉතින් එදා කේෂියා විවාහය ලියාපදිංචි කරද්දී මම ගීතිකාව ගායනා කරලා එයාලා එතැනින් යනතුරුම එතැනට වෙලා බලාගෙන හිටියා. ඒ වෙලාවේ පිටත්වෙද්දීත් රොනී මම දිහා බලලා හරි සතුටින් නියමයි කියන ඉඟිය අතින් පෙන්නුවා. ඊටපස්සෙ හොටෙල් එකේදීත් රොනී මම ළඟට ඇවිත් මට ගොඩක් ස්තූති කළා. ඒ වගේ සුළු දෙයක් වුණත් රොනීට ලොකු දෙයක් වුණා. අපි සුළු දෙයක් විදිහට සලකන දේ රොනීට ලොකු දෙයක් වුණා. එයා වෙනුවෙන් කරන දේවල් එයා පොඩියට සැලකුවේ නැහැ. රොනීට මම දන්න තරමින් හතුරෝ හිටියේ නැහැ. කලා ක්ෂේත්රයට ආපු මුල් කාලයෙදී රොනීගේ හිත රිදෙන යම් යම් දේවල් වුණා. නමුත් ඒ හැමදෙයක්ම රොනී විඳ දරාගත්තා. මාත් එක්ක රොනී එහෙම කියලත් තියෙනවා. හැබැයි කවදාවත් කාටවත් හිත රිදෙන දෙයක්වත්, කවුරු දිහාවත් හිත රිදෙන විදිහටවත් රොනී බලලා නැහැ.
රොනී කවදාවත් එදා හිතන්නෙ නැතිව ඇති ඒ ඔස්ට්‍රේලියාවේ යන්නෙ ඔහුගේ අවසන් ගමන කියලා..?
කවදාවත් හිතුවේ නැහැ. අපි මෙහෙන් ගියේ එකකුත් ගාණට තිබුණු සිංගප්පූරු ෆ්ලයිට් එකකින්. ඒ යද්දීත් කිසිම වෙනසක් තිබුණේ නැහැ. පර්ත් යනකම් රොනී හොඳට ෆිල්ම් බැලුවා. මම හොඳට නිදාගත්තා. ඉතින් මගේ අතට ඇන ඇන, මේ බලපන් හොඳ ෆිල්ම් එකක් කිය කියා කිව්වා. රොනී එක්ක යන්න කලින් මම රොනී කැමති දේවල් ටිකක් හොයලා බලලා කළා. එයා කුකුළු මස්වලට කැමති නැහැ. ඒ වගේම මෙල්බර්න් යද්දීත් එයා වීදුරුව අයින සීට් එකකට කැමති වුණේ නැහැ. ඒ නිසා මේ ගමනෙදී මම එයාට මේ පැත්තෙ සීට් එකක් ලෑස්ති කළා. කුකුළු මස් වෙනුවට සී ෆුඩ් ලෑස්ති කළා. ඒ හැමදෙයක්ම දැනගෙන රොනී වෙරි ගුඩ් මචං කියලා මට කිව්වා. එහේ ගියාමත් රොනී කිසිම වෙනසක් පෙන්නුවේ නැහැ. ගිය දවසට පහුවදා උදේ අපි දෙන්නම දවල් වෙලා නැඟිට්ටේ. හැබැයි මට කලින් රොනී ඇහැරිලා කෝපි එකක් හදාගෙන බීලා තිබුණා. ඊටපස්සෙ අපි විහිළු කර කර හොඳට හිටියා. හැබැයි ඒ රොනීගේ අවසන් දිනය දා කියලා මම කවදාකවත් හිතුවේ නැහැ.
29 වැනිදා ප්‍රසංගය පවත්වපු දවසෙත් ඔහුගේ වෙනසක් තිබුණෙම නැද්ද..?
නැහැ. එදා තමයි ඩිනර් ඩාන්ස් එක තිබුණේ. එදත් හොඳට එයාගේ වැඩේ එයා කෙරැවා. මේ ප්‍රසංගය සංවිධානය කළේ ඒ රටේ ජීවත්වුණු OAAWA-OLD ANANDIANS ASSOCIATION OF WESTERN AUSTRALIA විසිනුයි. පහු කාලයෙදී තමයි අපිට ආරංචි වුණේ රොනී එතැන හිටපු පොඩි දරුවෙක්ට විහිළු කරද්දී මට ගොඩක් මහන්සියි ඩාලිං කියලා තිබුණා. ඒ හැර වෙන වෙනසක් තිබුණේ නැහැ. අසනීප ගතියක් කොතැනකදීවත් රොනී පෙන්නුවේ නැහැ. පහුවදා උදේ රොනී එයාගේ නෑදෑයන් එක්ක ගත කරන්න ගියා. එදා රෑ අපිට ප්‍රසංග සංවිධායකවරු රෑ කෑමත් දුන්නා. හැබැයි මම ඉතා වගකීමකින් කියන්නෙ, එදා රෑ රොනී මත්පැන් කිසිවක් පාවිච්චි කළේ නැහැ. සමහරුනම් එක එක දේවල් කිව්වා. ඒත්.. එදා රොනී මත්පැන් පානය කළේ නැහැ කියලා අපි හොඳාකාරවම දන්නවා. ඉතින් පහුවදා උදේ මම නැඟිටලා පැන්ට්‍රියට යද්දී රොනී බිම වැටිලා හිටියා. ඇත්තටම මම හිතුවෙම රොනී මට විහිළුවක් කරනවා කියලා. අදටත් මම හිතන්නෙ රොනී ඒ කළේ විහිළුවක් කියලයි. ඒ රොනීගේ අවසානය කියලා අදටත් මට හිතාගන්න බැහැ.
බොහෝ දෙනා මේ මරණය ගැන එක එක කතා කිව්වා..?
ඔව්.. ඇත්තටම ඒකට මටත් හරි දුකයි. විශේෂයෙන් හුඟක් gossip සයිට්වල මගෙන් අහලා ලියපුවා වගේ ඒ අය ලියලා තිබුණා. මම කිසිම සමාජ වෙබ් ජාලයකට ඒ ගැන කතා කළේ නැහැ. රොනී වැටිලා ඉන්නවා දකිද්දී මගේ හිතට දැනුණු කම්පනය තවමත් තියෙනවා. මම මොහොතකට ගල්ගැහුණා. ඊටපස්සෙ තමයි මම අරිත්ට (සංවිධායක) කියලා ඉක්මනින්ම ඒ අයව ගෙන්නුවේ. ඒ එද්දී ඔවුන් වෛද්‍යවරයකු පවා ගෙනාවා. ඒ එද්දීත් රොනී අපිව දාලා ගිහින් තිබුණා. ඒ වෙලාවේ අරිත් ඇතුළු කණ්ඩායම රොනීගේ එක ඡායාරෑපයක්වත් ගන්න නැතිවෙන්න වගබලාගත්තා. මම ඉතා වගකීමෙන් කියන්නෙ, රොනී මියගිය එකම ඡායාරෑපයක්වත් කවුරුවත් ගත්තෙ නැහැ. සමහරැ එක එක ෆොටෝ පෙන්නන්න හැදුවා. ලංකාවේ ඉඳලා සමහරු අපට ෆොටෝ අරගෙන එවන්න කිව්වා. ඒත් රොනීගේ කිසිදු පින්තූරයක් නැහැ. ඒ නිසා කිසිම ෆොටෝ එකකට රැවටෙන්න එපා.
රොනී වෙනුවෙන් බොහෝ දෙනා දුක් වුණා. රොනීගේ මරණය වෙනුවෙන් බොහෝ දෙනා කම්පා වුණා. ඒ වගේම රොනීගේ නිසල සිරුර ලංකාවට ගෙන එන්නට බොහෝ දෙනා මහන්සි වුණා..?
ඔව්.. රොනීව නැවත ගෙන එන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වගේම, කීර්ති පැස්කුවල්, ජානක වික්‍රමසිංහ ඇතුළු ගායක ගායිකාවන්ගේ සංගමය මේ වෙනුවෙන් මහන්සි වුණා. ඒ වගේම එම ප්‍රසංගය සංවිධානය කළ සංවිධායකවරු හතරදෙනා ඇතුළු බොහෝ දෙනා ඒ වෙනුවෙන් මහන්සි වුණා. කවදාවත් ඒ රටේදී ඒ අය මියගිය රොනීගේ පින්තූරයක් ගත්තෙ නැහැ. රොනී අපව දාලා ගියා. ඉතින්.. ආයෙමත් රොනීගේ මරණය සම්බන්ධව කිසිම තොරතුරක් කිසිම පුවත්පතකට කියන්න මම සූදානම් නැහැ. ඒ වෙනුවෙන් කරන අන්තිම ලිපිය මෙයම වේවි..
රොනී ගියාට.. කවදාවත් ඔහුගේ මතකය අපෙන් ඈත්වෙන්නෙ නැතිවෙයි. එහෙම නේද..?
කවදාවත් නැහැ. රොනී එක්ක කොහේහරි යනවනම්, ටුවර් එකක් යනවනම්, අපි ඔය ඇඳුම් පැළඳුම්, දරුවන්, කලාව, නිර්මාණ, අනාගතය, පිටරටවල් ගැන වගේ බොහෝ දේවල් ගැන කතාබහ කරනවා. රොනී සිංහල කෑම හදන හැටි හොඳට දන්නවා. හැබැයි මේ ගමනෙදී රොනී මාත් එක්ක වැඩිපුරම කතා කළේ බයිබලය ගැනයි. අපි දෙන්නම කතෝලික. ඉතින් බයිබලය ගැන මම දන්න පොඩි දේ රොනී එක්ක බෙදාගත්තා. එයා දෙවියන් වහන්සේට ගොඩක් ගෞරව කළා. දෙවියන් වහන්සේට ගොඩක් ආදරය කළා. ඉතින්.. මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ රොනීව එයා ළඟට කැඳවාගත්තා. රොනී හොඳ තැනක ඉඳීවි. ඉතින්.. දවසක අපිත් රොනී ළඟට යනතුරු මේ ගමන අපිට එයා නැතිව යන්න වේවි..
දේශය