හොලිවුඩයේ සිනමා විචාරකයන් විසින් ඇයව හඳුන්වනු ලබන්නේ ‘අනෙක් ප්‍රියංකා‘ නමිනි. ඒ ඇය රංගනයෙන් එක්වන නවතම සිනමාපටය වන Lion එළඹෙන පෙබරවාරි 26 වැනිදා පැවැත්වීමට නියමිත ඔස්කාර් සම්මාන උළෙලට පෙර සිටම සුවිශේෂී අවධානයක් දිනාගැනීමට සමත්වී සිටින සිනමාපටයක් වී තිබීම නිසාවෙනි.
Lion සිනමාපටය තුළ දිගහැරෙන්නේ වයස අවුරුදු 5 ක කුඩා දරුවෙකු වන Saroo ගේ අසාමාන්‍ය ජීවිත අන්දරයයි. Saroo ට කල්කටාවේ දුම්රිය පළකදී සිය මව හා සොහොයුරාව මඟහැරෙන ඉන් අනතුරුව ඕස්ට්‍රේලියානු පවුලක් විසින් ඔහුව හදාවඩාගනු ලබයි. ඉන්පසු තරුණයෙකු බවට පත්වන Saroo ඔහුගේ සැබෑ මව වන Kamala ව සොයාගැනීමට වෙහෙස දරයි. මේ චරිතයට පණපොවන්නේ ප්‍රියංකා බෝස්ය. මෙහි රංගනයේ යෙදෙන නිකොලි කිඩ්මන්, රූනි මාරි හි දේව් පටෙල් ආදීන්ගේ රංගනය හමුවේ නොදෙවෙනි ලෙස බෝස් සිය අපූර්ව හා අද්විතීය රංගනය සිදුකරන්නීය. ප්‍රියංකා බෝස් Gulaab Gang හා ඉතාලියානු ආර්ට් හවුස් සිනමාපටයක් වූ Gangor හි කුඩා වුවත් අතිශය ප්‍රබල චරිතයන් නිරූපණය කළ අයුරු කිසිවෙකුට අමතක නොවනු ඇත. එමෙන්ම, ඇය වේදිකාව මත ද සිය අද්විතීය රංගනය නිරූපණය කරන්නට Nirbhaya නාට්‍යයේදී සමත් වූවාය.
මෙහි පළවන්නේ ඉන්දියාවේ සුප්‍රකට සන්නාමයක් වන Ogaan සමගින් ප්‍රියංකා බෝස් සම්මුඛ වූ ආකාරයයි. අප මුම්බාය වෙත ගමන් කළේ ඇගේ ඡායාරූපයන් ගනිමින් ඇය සමග අති සෞම්‍ය දිනයක් ගතකිරීමේ බලාපොරොත්තුවෙන් යුතුවය. Alibaug හි Kiki මුහුදු වෙරළ ඉදිරිපිට පිහිටි කුඩා හෝටලයකදී අපි ඇය සමගින් කතාබහේ යෙදුණෙමු.
Ogaan: ඔබ සිනමාවට පිවිසෙන්න තීරණය කළේ කොහොමද ?
Priyanka: මගේ පවුලේ කවුරුවත් කිසිම අන්දමකින් කලාවට සම්බන්ධ අය නොවෙයි. මා කලාවට සම්බන්ධ වූ මුල්කාලවේදී තමන්ගේ දියණිය සිය ජීවිතය අවුල් කරගනීවි යැයි මගේ මාපියන් බියවුණා. ඉතිං බොහොම අසීරුවෙන් වුවත් එහෙම බිය විය යුතු නොවන බව ඔප්පු කරලා පෙන්වන්න මට සිද්ධ වුණා. බැරිවෙලාවත් මේ සැලසුම වැරදුණා නම් ඇත්තටම මට ප්ලෑන් බී එකක් තිබුණේ නැහැ. ඒ නිසාම මගේ ගමන ගැන දැඩිව දැනුවත් වී සිටින්නට මට සිද්ධ වුණා. කිසිම පවුල් පසුබිමක්, කිසිම සම්බන්ධතාවයක් නැතිව, නිකම්ම නිකං නැටුම් පුහුණුවක් පමණක් හා නාට්‍ය කලාවට ආධුනිකයකු වී හිඳීම පමණක් මගේ වාසියට තිබුණු හේතු වුණේ. හැබැයි, මා තවමත් පෙර කිව්ව කලාවට අතිශය කෑදර හා උනන්දු සහගත කෙනාම තමයි.
Ogaan: සාහිත්‍ය හෝ සිනමාපට තුළ දක්නට ලැබෙන චරිත අතරින් ඔබේ පෞද්ගලික ජීවිතයට බෙහෙවින් බලපෑ චරිත මොනවාද ?
Priyanka: මම ළමා කතා සාහිත්‍යයට බෙහෙවින්ම කැමතියි. ළමා කතා එකිනෙකට වෙනස් නිසා ඒ කතා කියවන විට අතිශය සජීවී බවක් දැනෙනවා. Roald Dahl මා අතිශයින්ම කැමති ලේඛකයෙක්. ඔහුගේ කෘතීන් තුළ තිබෙන රෝස පැහැ අකුරු කියවන්න මම ගොඩක්ම කැමතියි, මොකද ඒ අකුරු දකින විට ඕනම දෙයක් කළ හැකි යැයි යන්න මට දැනෙනවා. ඒ වගේම Where the Wild Thing Are හා The Little Prince කෘතියටත් මා බෙහෙවින් කැමතියි.
Ogaan: ඔබ කැමතිම සිනමාපට ගැන කිව්වොත් ?
Priyanka: සිනමාපට ගැන මට තිබෙන්නේ වෙනස්ම විදියේ තේරීමක්. විවිධාකාරයේ සිනමාපට බලන්න මා කැමතියි. සමහරවිට නරක යැයි කියන සිනමාපට බලන්න පවා මා යොමුවෙනවා. සිනමාපටයක් නැරඹීමේදී නිසිලෙස රඟපා නොමැති අවස්ථා වලදී පවා විශේෂ අංග කිහිපයක්ම තිබෙනවා. Cinema Paradiso, Motorcycle Diaries, Wild, Monster වැනි සිනමාපටයන් මට නිතරම සිහිපත් වන සිනමාපටයන්.
Ogaan: Lion සිනමාපටය දැනටමත් අති දැවැන්ත අවධානයක් ලබාගන්නට සමත් වී සිටිනවා. මේ සිනමාපටය ඔබට අතිශයින්ම වැදගත් වන්නේ කුමන කරුණු කාරණා මත ද ?
Priyanka: මෙය අතිශය වගකීම් සහගත සිනමාපටයක් වන නිසාම එය මට අතිශයින්ම වැදගත් වූවක්. මෙය සත්‍ය කතාවක් මත පදනම් වූවක්. මෙය මා කවුද ?, මා ආවේ කොහෙ සිටද ? යන්න සොයායන සිනමාපටයක්. අපි මෙතෙක් කළ අතිශය දරුණු හා බිහිසුණු ක්‍රියාවලි පසුවත් නොමැරී ජීවත්විය හැකි බව අපි හිතනවා. Garth (Davis, අධ්යක්ෂවරයා) සිය සුවිශේෂී ප්‍රතිභාව ඔස්සේ මේ කතාව බෙහෙවින් වගකීම් සහගත අන්දමින් ඉදිරිපත්කර තිබෙනවා.
Ogaan: Lion සිනමාපටයේදී ඔබ නිරූපණය කරන භූමිකාව ගැන පැහැදිලි කළොත් ?
Priyanka: මා මෙහි නිරූපණය කරන්නේ Saroo Brieleyගේ ජීවවිද්‍යාත්මක මව වන ‘කමලා‘ගේ චරිතයයි. මේ කතාව තුළ අන්තර්ගත වී තිබෙන්නේ Saroo නොසිතූ මොහොතක සිය මවගෙන් වෙන්වී ඇය නැවතත් සොයායන්නට දරන අනවරත උත්සහයයි. ඇත්තටම මෙහි මා රඟපෑ චරිතය දශක ගණනාවක් පුරා ඇදී යන චරිතයක් වුණා. ඒ චරිතයට මා බෙහෙවින් ඇළුම් කරනවා.
Ogaan: මේ සිනමාපටය සිනමා උළෙලයන්ට ඉදිරිපත් කිරීමේදී ඔබට හිමිවුණු අත්දැකීම් මොනවාද ?
Priyanka: Toronto සිනමාපට උළෙලට මේ සිනමාපටය රැගෙනයාමට සහභාගී වූ අවස්ථාව මගේ පළමු අත්දැකීම වුණා. එහිදී මට උණුසුම් ප්‍රතිචාර හිමිවුණු අතර හැමෝගෙම ආදරය දිනාගන්නටත් අප හැමෝටම හැකිවුණා. ඒ අවස්ථාවේ ඉඳන් ලොවපුරා මාධ්‍ය මේ සිනමාපටය ගැන කතාබහ කරන්න ගත්තා. ඒවගේම, Los Angeles හා New York හිදී පළමුවරට මේ සිනමාපටය දර්ශනය කෙරුණු අවස්ථාවේදී ඊට සහභාගී වීමේ භාග්‍යය උදාවුණා.
Ogaan: ඔබ ඇඳුම් විලාසිතාවන් තෝරාගන්නා ආකාරය පිළිබඳ පැහැදිලි කළොත් ?
Priyanka: ඇත්තටම මගේ විලාසිතාවන් තෝරාගැනීම ගැන බොහෝ දේවල් කියන්න තියෙනවා. මගේ විලාසිතාවන් හැමවිටම තීරණය වන්නේ මම කරන හා හිතන විදිය මතයි. සමහර වෙලාවට තරුණියක් විදියට මල් විසිරුණු විලාසිතාවන් හා කාන්තා ලාලිත්‍යය මනාව පෙන්නුම් කරන විලාසිතා වල ඇඳුම් වලට මා බෙහෙවින් ප්‍රිය කරනවා. ඒ වගේ වෙලාවට මගේ රස්තියාදුකාර පෙනුම එළියට විවෘත වන්නේ නැහැ. ඒත්, මම හැමවෙලාවෙම මා කැමති විදියේ සරළ, සැහැල්ලු, ලිනන් රෙද්දදෙන් නිමවුණු සාරි හෝ වෙනත් විලාසිතාවන්ටත් අතිශය ප්‍රිය කරනවා.
Ogaan: අද දිනයේදී ආකාර තුනකින් අපි ඔබව ඡායාරූපයට නැඟුවා. මේ අතරින් ඔබ වඩාත්ම ප්‍රිය කරන්නේ කුමන ආකාරයේ පෙනුමකටද ?
Priyanka: මම ඒ හැම ආකාරයේ පෙනුමකටම කැමතියි.Ridhima Bhasin සන්නාමයේ ජම්ප්සූට් එකට මම ගොඩක් කැමතියි. එහි කොළ පැහැයට වගේම මගේ සිරුරේ හැඩයන්ට එය මනාව ගැළපෙන නිසා මා ඊට ඇළුම් කරනවා. වර්ණ භාවිතය, මගේ කොණ්ඩ විලාසිතාව, මේක්අප් පවා මනාව ගැළපුණා මට වෙනස්ම ආකාරයේ පෙනුමක් ඉන් ලැබුණා.
පරිවර්ථනය වින්ද්‍යා ගම්ලත්