-මමයි හේමාලුයි චිත්‍රපටය පටන්ගත්ත දවසේ ඉඳන් එකම කාමරයක තමයි හිටියේ. අපි නිදහස් හැම වෙලාවකම ඊට පස්සේ කරන්න තියෙන දර්ශන ගැන කතා කරනවා. අපි හරිම ආසාවෙන් ආදරයෙන් තමයි මේ චරිත කළේ. අපි ඒ චරිත වෙනුවෙන් මහන්සි වුණා.-
ඔබත් ආදර කතාවක කොටස්කාරයෙක් වෙලා. මොකක්ද මේ ආදර පැටලිල්ල?
අපේ පරම්පරාවටත් කලින් පරම්පරාවල අයත් ආදරය කළ ආදර කතාවක තමයි මමත් පැටලුණේ. විජයබා කොල්ලය කියන්නේ ඩබ්ලිව්.ඒ. සිල්වා මහත්මයා රචනා කළ අසංග, නයනානන්ද, නීලමනී යන චරිත වටා ගෙතුණු ඓතිහාසික සිදුවීමක් ආශ්‍රිතව නිර්මාණය කළ ආදර කතාවක්. එය බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත ආදර කතාවක්. මහාචාර්ය සුනිල් ආරියරත්න එය චිත්‍රපටයක් ලෙස නිර්මාණය කරද්දී මමත් ඒ ආදර කතාවට පැටලුණා.
ඒ ආදර කතාවට පැටලෙන්න අවස්ථාව නිර්මාණය වුණේ කොහොමද?
ගිය අවුරුද්දේ මුල් කාලෙදී වගේ තමයි සුනිල් ආරියරත්න මහත්මයා මාව අසංගගේ චරිතයට ගන්න කැමැත්තක් තියෙනවා, ඇවිත් හම්බෙන්න කියලා කිව්වේ. ඒ ගියාම තමයි මම දැනගත්තේ නයනානන්දගේ චරිතය කරන්නේ හේමාල් කියලා. හේමාල් කියන්නේ මම එකට වැඩ කරන්න ආස නළුවෙක්. යාළුවෙක් වගේම මම ගෞරව කරන කෙනෙක්. ඉතින් අපි දෙන්නම ප්‍රධාන චරිත දෙකක් කරනවා කියලා දැනගත්තම ලොකු සතුටක් දැනුණා.
මේ වගේ ඓතිහාසික චිත්‍රපටයකට ඔබේ දායකත්වය කොතරම් දුරට දෙන්න පුළුවන් වෙයිද කියලා දෙගිඩියාවක් තිබ්බෙම නැද්ද?
සමහර අය කියනවානේ දැන් රජ කතා, ඓතිහාසික කතා කළා ඇති කියලා. ඒත් මට නම් වාණිජ චිත්‍රපටයක්ද කලාත්මක චිත්‍රපටයක්ද, ඓතිහාසික චිත්‍රපටයක්ද ඒක කළා ඇති වගේ කියලා හිතිලා නැහැ. චිත්‍රපටයක් කරද්දී මම පිටපත, මගේ චරිතය සහ එහි නියමුවා කවුද බලනවා. මහාචාර්ය සුනිල් ආරියරත්න කියන්නෙ ලංකාවේ බොහෝ දෙනෙක් ගෞරව කරන අපිට එතුමාගේ නිර්මාණවලට සම්බන්ධ වෙද්දී දෙගිඩියාවක් නොහිතෙන්න වැඩ කරලා තියෙන අධ්යක්ෂවරයෙක්. ඉතින් මට මේ වැඩේට සම්බන්ධ වෙද්දී දෙගිඩියාවක් ඇති කරගන්න කිසිම කාරණයක් තිබුණේ නැහැ.
මහාචාර්ය සුනිල් ආරියරත්නගේ චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රඟපාන බලාපොරොත්තුවක් අශාන්ට තිබුණාද?
ඇත්තටම මට එහෙම ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මට ‘විජයබා කොල්ලය’ චිත්‍රපටයේ මේ අවස්ථාව ලැබීම පුදුමයක් වගේ. මොකද සුනිල් සර්ගේ පත්තිනි, යශෝදරා, කුසපබා වගේ චිත්‍රපට ගත්තොත් ඒවායේ හරිම ආකර්ෂණීය පෙනුමක් තියෙන නළු නිළියන් හිටියේ. ඉතින් මාව එතුමාගේ නිර්මාණයකට ගැළපෙයිද කියලා හිතුණේ නැහැ. නමුත් මගේ ස්වරූපය, පෞරුෂය මේ චරිතයට ගැළපුණු නිසා මට මේ අවස්ථාව ලැබුණා.
අසංගව සිනමාවේ ජීවත් කරන්න ඔබ මහන්සි වුණේ කොහොමද?
තිරපිටපත කියවද්දී මට අසංගගේ චරිතය ගැන ලෝබකමක් ඇති වුණා. මමම මේ චරිතය කරන්න ඕනේ කියන හැඟීම දැනුණා. අසංගගේ චරිතය විශ්වාස කරන විධියට වැඩ කරන විධිය පිටපත කියවද්දී මට තේරුණා ශාරීරිකවත් ඒ චරිතයට අනුගත වෙන්න මම උත්සාහ කළා. මොකද අනෙක් පැත්තෙන් නයනානන්ද විධියට ඉන්නේ හේමාල්. ඔහු ශරීරය හරියට පවත්වාගෙන යන කෙනෙක්. අසංග නයනානන්දට සම කරන්න ඕනේ නිසා ජිම් ගිහින් ඇඟ හදාගන්නත් මහන්සි වුණා. හැබැයි හේමාල්ගේ තත්ත්වයටම මට එන්න බැරි වුණා.
මේ චරිත රංගනයේදී අභියෝගයක් වූ තැන් තිබුණාද?
අපි හැම චරිතයක්ම ආසාවෙන් භාරගන්නේ නැහැනේ. වෙන වෙන හේතුන් මතත් අපිට චරිත භාරගන්න සිදුවෙන අවස්ථා තියෙනවනේ. නමුත් ‘විජයබා කොල්ලය’ චිත්‍රපටයේ අසංගගේ චරිතය මම ආසාවෙන් භාරගත්ත චරිතයක්. කායික වශයෙන් සහ චිත්තවේගමය වශයෙන් මේ චරිතවලට ළඟා වෙන්න පහසු නැහැ. නයනානන්ද, අසංග සහ නීලමනී කියන චරිත තුනේම විත්තවේගයන් නිරන්තරයෙන් ඉහළ පහළ යන තැන් තිබුණා. ඒ වගේම මේ නිර්මාණය තිබෙන සම්පත් ප්‍රමාණය, මුදල් ප්‍රමාණය, ස්වභාවදහමේ කාරණා එක්ක හදිසියේ කරන්න වුණා. දවසක් තුළ කරන්න ඕන සමහර දේවල් පැයකින් කරන්න වුණු අවස්ථා තිබුණා. ඒක අධ්යක්ෂවරයා, තාක්ෂණික ශිල්පීන්, රංගන ශිල්පීන්, ශිල්පිනියන් කියන හැමෝටම අභියෝගයක්.
හේමාල්, සෙනාලි එක්ක වැඩ කරන්න ඔබට කොතරම් පහසු වුණාද?
මමයි හේමාලුයි චිත්‍රපටය පටන්ගත්ත දවසේ ඉඳන් එකම කාමරයක තමයි හිටියේ. අපි නිදහස් හැම වෙලාවකම ඊට පස්සේ කරන්න තියෙන දර්ශන ගැන කතා කරනවා. අපි හරිම ආසාවෙන් ආදරයෙන් තමයි මේ චරිත කළේ. අපි ඒ චරිත වෙනුවෙන් මහන්සි වුණා. සෙනාලිව මට මීට අවුරුදු හතකට කලින් සිරිපැරකුම් චිත්‍රපටයේදී මුණගැහුණා. එතකොට සෙනාලි පොඩි කෙල්ලක්. ඉතින් සෙනාලිව ‘විජයබා කොල්ලය’ චිත්‍රපටයෙදී මුණ ගැහෙද්දී ඒක හරිම පහසු දෙයක් වුණා. සෙනාලිත් මේ චරිතය වෙනුවෙන් ගොඩක් පුහුණුවීම් කළා. පුහුණුවීම් එක්ක කතාබහ කරලා ලොකු කැපවීමකින් තමයි අපි තුන්දෙනාම වැඩ කළේ.
ඔබේ චරිතය වෙනුවෙන් උපරිමය ඉෂ්ට කළා කියලා දැනෙනවාද?
ඕනම රංගන ශිල්පියෙක්ට හෝ ශිල්පිනියකට රඟපාලා ඉවර වෙලා දැනෙන්න පුළුවන් දේ තමයි ‘අයියෝ’ මට මීට වඩා තව හොඳට රඟපාන්න තිබුණා නේද කියලා. මටත් ඒ දේම හිතෙනවා. සමහර තැන් හොඳට කරලා තියෙනවා කියලා වගේම මට මීට වඩා තව පොඩ්ඩක් හරි හොඳට කරන්න තිබ්බා නේද කියලා හිතෙන තැන් තිබෙනවා. බිමල් දුෂ්මන්ත ගොඩනඟපු ලස්සන ලෝකය චන්න දේශප්‍රිය ලස්සනට පෙන්නලා තියෙනවා. ඒ වගේම මේ සියල්ලේ නියමුවා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්. නිර්මාණයට සම්බන්ධ වුණු සියලු දෙනාගේ සහායත් එක්ක තමයි අසංගගේ චරිතය සාර්ථක හෝ මම ඒ චරිතය හොඳට කරලා තියෙනවා කියලා කෙනෙක්ට කියන්න පුළුවන්.
මේ සිනමා නිර්මාණය ඇතුළේ අමතක නොවන මතක ඕනෑ තරම් ඇති?
ඇත්තටම මේ චිත්‍රපටය ලේ කඳුළු වගුරවලා කරපු නිර්මාණයක්. මගේ ඇඟිලි තුවාල වුණා. ඔළුව තුවාල වුණා. සෙනාලි අශ්වයාගේ පිටින් වැටුණා. හේමාලුත් තුවාල වුණා. මේ වගේ තත්ත්වයන්ට මුහුණ දුන්නත් අපි මේ වැඩේට කැපවුණා. ඒ දේවල් අමතක වෙන්නේ නැහැ.
විජයබා කොල්ලයේ අසංගට හොඳ ප්‍රතිචාර ලැබෙනවාද?
පවුලේ අයගෙන් ප්‍රේක්ෂකයන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. නරකක් තියෙනවා නම් ඒවත් දැනගන්න කැමැතියි.
අශාන් නිර්මාණයක් වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන කෙනෙක්ද?
අනිවාර්යයෙන්ම, නැත්නම් වැඩක් නෑනේ. මේක රස්සාවක් නෙවෙයි. මේක හරියට ජීවිතය වගේ. මට ලැබෙන නිර්මාණය වෙනුවෙන් කරන කැපකිරීම් මාව තෘප්තිමත් කරගන්න කරන දෙයක්. අපි කරන දෙයට බොරුවක් කරන්න ඕනේ නෑනේ. ලොකු තිරයට බොරු කරන්න බෑ. අපි රඟපානවා කියලා පේන්න හොඳ නැහැ. ඉතින් නිර්මාණයක් වෙනුවෙන් කැපවෙන්නේ ජීවිතය වෙනුවෙන් කැප වෙනවා වගේ තමයි.
අශාන්ට සිනමාවේ ලැබෙන අවස්ථා ගැන අවංකවම සතුටු වෙන්න පුළුවන්ද?
ලංකාවේ කලා ක්ෂේත්රයේදී එක චරිතයක් කළාම ඒ රංගන ශිල්පියාව හෝ ශිල්පිනියව ඒ වගේම චරිතවලට කොටුකරන්න උත්සාහ කරනවා. මේ රංගන ශිල්පියා මේ වගේ චරිත කරලා තියෙනවා. ඒ නිසා මේ චරිතය එයාට දෙමු කියන තීරණය ගන්නවා. රංගන ශිල්පීන්ගේ දක්ෂතාව හඳුනාගෙන වෙනත් චරිතත් ඔහුට කරන්න පුළුවන් ඇති. ඒ චරිතය දීලා බලන්න ඕනේ කියන අභියෝගය අධ්යක්ෂවරු ගන්නේ අඩුවෙන්. ඒ නිසා අපිට කරන්න පුළුවන් දේවල් සීමාවෙනවා.
මේතාක් කරපු නිර්මාණවලින් අශාන්ට වැඩිපුරම දැනුණු චරිතයක් තියෙනවාද?
මම මුලින්ම රඟපෑව ‘අලිමංකඩ’ චිත්‍රපටයේ චරිතය තමයි මට වැඩිපුර දැනුණේ. රංගනය ගැන මට මුලින්ම විශ්වාසයක් ඇති කළ චරිතය තමයි ඒක. රංගනය ජීවිතය වුණාට ඒකෙන් ජීවත් වෙන්න පුළුවන්ද කියන විශ්වාසය ගොඩනඟාගත්තේ ඒ චරිතයෙන්. චන්ද්‍රන්රත්නම් මහත්මයාට ස්තුතිවන්ත වෙනවා ඒ වගේ චරිතයකට මාව සම්බන්ධ කර ගැනීම ගැන. ඒ චරිතය මට ගැළපෙන චරිතයක් කියලා හිතෙනවා.
අශාන් රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙක්. මේ භූමිකා දෙකෙන් වැඩි බර තියෙන්නේ?
නිවේදනය කියන්නෙත් එක්තරා විධියක රංගනයක්. වැඩි බර දෙන්නේ වැඩි කැමැත්ත තියෙන්නේ රංගනයට. ජීවිතයේ හැමවෙලේම අපි රඟපානවා. නිවේදනය කියන්නෙත් වෙනම චරිතයක්.
කලාව තෝරාගැනීම ගැන පසුතැවීමක් නැද්ද?
වෙලාවකට හිතෙනවා එක රාමුවක කොටුවෙලාද කියලා. අපිට තව කරන්න පුළුවන් දේවල් තියෙනවා. නමුත් ඒවා ලැබෙන්නේ නෑ කියලා පසුතැවෙනවාට වඩා අපිට ඕන තැන්වලට යන්න ක්‍රම හොයාගන්න ඕන. අපිට අපිම නිර්මාණයක් කරලා හරි අපේ පාර හදාගන්න ඕනේ. මම ලංකාවට ආවේ මේ ක්ෂේත්රය තියෙන තැනින් ඉස්සරහට ගෙනියන්න පුළුවන් කියලා විශ්වාසයකින්. ලොකු ලෝක දැනුමක් තියෙන දක්ෂයෝ ඉන්නවා. රැල්ල වෙනස් කරලා හරි පාර අපි හදාගන්න මහන්සි වෙන්න වෙනවා.
නිර්මාණයක් කරන අදහසට පණ දෙන්න තව කල් වැඩිද?
නිර්මාණයක් කරන්න අදහස තියෙනවා. ඒක කරන කාලයක් තාම කියන්න අමාරුයි.
සිනමාවේ අලුත් වැඩ භාරගත්තාද?
ලක්මාල් ධර්මරත්නගේ අලුත් චිත්‍රපටයකට සම්බන්ධ වෙනවා.
පුංචි තිරයේ තාම දකින්න ලැබුණේ නැහැ. ඇයි ඒ?
තාම පුංචි තිරයේ මාව උද්දීපනය කරන වැඩක් ලැබුණේ නැහැ. එහෙම වැඩක් ලැබුණොත් සම්බන්ධ වෙනවා.
තිළිණි කෞශල්‍යා විජේසිංහ
මව්බිම