මම නිළියක් කිව්වම කට්ටිය පුදුම වෙනවා
විසාකේස චන්ද්‍රසේකරම්ගේ ‘ෆ්‍රැන්ජිපානී‘ සිනමාපටය මෙන්ම එහි ප්‍රධාන චරිත ත්‍රිත්වය ද වර්තමාන ලාංකේය සිනමාවේ කතා බහට ලක්වූ වුණා. එම නිර්මාණය මේ ප්‍රධාන චරිතවලට පණ පෙවූ ශිල්පීන් සහ ශිල්පිනියගේ කලා ජීවිතයේ ද සුවිශේෂී සන්ධිස්ථානයක් වුණා. අද අපේ කතා බහ ‘ෆ්‍රැන්ජිපානී‘ සිනමාපටයේ ප්‍රධාන රංගන ශිල්පිනිය සිය කුලුඳුල් සිනමා රංගනයෙන්ම සම්මානනීය වූ යශෝධා රසඳුනි සමඟයි.
යශෝධා, කලාවේ කාපු කට්ටට දැන් ඔබට ඇගැයිම් ලැබෙන්න පටන් අරන් නේද?
ඔව්. මෙතෙක් මට දායක වෙන්න ලැබුණේ සමාජයට යම් පණිවිඩයක් දිය හැකි නිර්මාණවලට. හොඳ නිර්මාණ බිහිවීම අඩු සමයක එවැනි ගුණාත්මක නිර්මාණවලට දායක වෙන්න ලැබීමත් සතුටක්.
ලැබුණු ඇගැයිම් ගැන තෘප්තිමත්ද?
මම නිර්මාණවලට දායක වෙන්නෙ සම්මාන බලාපොරොත්තුවෙන් නෙවෙයි. මගේ ඔළුවේ තියෙන්නෙ රංගනයට සහ ඒ වැඩේට තියෙන කැමැත්තම විතරයි. අදාළ නිර්මාණය සම්පූර්ණ කරගන්න, චරිතය සාර්ථක කරගන්න ඒ තුළ මම වෙහෙසෙනවා. මගේ කුලුඳුල් සිනමා රංගනය වන ‘ෆ්‍රැන්ජිපානි‘ හා ‘තාත්තා‘ ටෙලි නාට්‍යය මෙතරම් ඇගැයීමකට ලක් වේවි යැයි මම හිතුවෙත් නැහැ. නමුත් මට ඒ සම්මාන ලැබුණා. ඒ ගැන සතුටුයි. එහි ගෞරවය හිමිවිය යුත්තේ අධ්යක්ෂවරයාට. එවැනි නිර්මාණ සාර්ථක වෙන්න අධ්යක්ෂවරයා බලපානවමයි.
දක්ෂයන් අතර සිටින බොහෝ දෙනෙක් ජනප්‍රිය රැල්ලේ නැහැ ?
ජනප්‍රියත්වය ගැන කතා කළොත් මම ඉන්නෙ එහි පල්ලෙහාම තැනක. මම අදටත් බස් එකේ, පාරේ නිදහසේ යනවා එනවා මාව මිනිස්සු හඳුනන්නේ නැහැ. මම නිළියක් කිව්වහම කට්ටිය පුදුම වෙනවා. ආ ඔයා නිළියක්ද කියලත් අහනවා. මෙහෙම මූණක් තියාගෙන කොහොමද නිළියක් වුණේ කියලත් පුදුම වෙනවා. නමුත් මට මිනිස්සු අතරට ගිහින් වැජඹිලා තරුවක් වෙන්න අවශ්‍ය නැහැ. මම කැමැති සාමාන්‍ය ගැහැනියක් විදිහට ජීවත්වෙන්න. මම කැමැති රඟපාන්න මිසක් තරුවක් වෙන්න නෙවෙයි. එහෙම කැමැත්තක් තිබුණා නම් ලොකු තරගකාරීත්වයකින් හඹා යන්න ඕනේ. එහෙම හඹාගියා නම් මම මීට වැඩිය වැඩ කරලා තියෙන්නත් ඕනේ. නමුත් ලැබෙන දෙයක් කරගෙන පාඩුවෙ ඉන්නයි මම කැමැති.
දක්ෂතා ඇගැයිමකට වැඩ නොලැබෙන්නේ ඇයි?
ඇගැයීමකට පාත්‍ර වුණා කියල මට විශේෂයෙන් වැඩ ලැබිලා නැහැ. ඒ ඇයි කියන්න මම දන්නෙත් නැහැ. නමුත් මම මෙහෙම දෙයක් දකිනවා. අධ්යක්ෂවරයාට බොහෝ විට ඔහුගේම කණ්ඩායමක් ඉන්නවා. එහෙම වුණහම ඔහුගේ ඊළඟ නිර්මාණයට තෝරා ගැනෙන්නෙත් ඒ කණ්ඩායමමයි. මම ඒ කිසිම කණ්ඩායමක නැහැ. හොඳ නිර්මාණ කළත් මම දන්නෙ නැහැ ඇයි මට ඒ නිර්මාණවලට කතා නොකරන්නේ කියලා. වෙලාවකට මගේ පෙනුම නිසාද කියලත් මට හිතෙනවා. කැපිල්ලක්ද දන්නෙත් නැහැ. මොකද අපිට ඒවා ආරංචි වෙන්නේ නැහැ. ඒ මොන දේ වුණත් මම කාවවත් බොරුවට සතුටු කරන්න යන්නෙ නැහැ. මොකද රංගනය කියන්නෙ මනසත් එක්ක කෙරෙන වැඩක් වෙනවා.
කලාව තුළම රැඳෙන්න වෙර දරන ඔබට මේ බාධක ගැන මොකද හිතෙන්නේ?
මේ අසාධාරණයට විරුද්ධව අපට මොකුත් කරන්න බැහැ. එයට විරුද්ධ වෙන්න කවුරුත් එකතු වෙන්නෙත් නැහැ. මට ඒ වෙන දේවල් ගැන තරහක් නැහැ. නමුත් යම්කිසි කලකිරීමක් තියනවා. ඒ මොන බාධක තිබුණත් මම කැමැති වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්න. එයින් ජීවත් වෙන්න. නමුත් මෙගා ටෙලි නාට්‍යවල රඟපාමින් ජීවත් වීම නෙමෙයි මම එයින් අදහස් කරන්නේ.
ඔබට ලැබෙන චරිත ඔබව තෝරාගන්නවද, නැතිනම් ඔබ චරිත තෝරනවාද?
ඒ චරිතයට මාව උචිතයැයි හිතලයි තෝරගන්නෙ. ඉතින් සුදුසු චරිතය මට ලැබිල තියනවා මිසක් මෙතෙක් චරිත තෝරා බේරගෙන කරන්න මට අවශ්‍යතාවක් ඇති වෙලා නැහැ. නමුත් යම් අවස්ථාවලදී නිර්මාණ කිහිපයක් මට ප්‍රතික්ෂේප කරන්න වුණා ඒ සදාචාරාත්මක නොවන තර්කානුකූල නොවන චරිත නිසා.
වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්න හීන දකින ඔබට වෙනත් වෘත්තීයක නියැළෙමින් මෙහි රැඳෙන්න වීම දැනෙන්නේ කොහොමද?
මම ගුරුවරියක් ලෙස සේවය කරනවා. ඒ වෘත්තියටත් මම කැමැති. ගුරු වෘත්තිය මිනිස්සු හිතන තරම් පහසු නැහැ. එය එක්තරා විදිහකට ඔළුව යොදා ගනිමින් දරුවන් එක්ක වැඩ කරන්න අවශ්‍ය රැකියාවක්. ඒ අතර නිර්මාණයක් ලැබුණොත් ඒ වැඩේටත් ඔළුව හදා ගන්න ඕනේ. මේ දෙකම කරගෙන යනකොට මගේ මනසටත් ශරීරයටත් පුදුම වෙහෙසක් දැනෙනවා. ගොඩක්ම කැමැත්ත තියෙන්නේ රඟපාන්න නිසා වෙලාවකට හිතෙනවා ගුරු වෘත්තියෙන් ඉවත් වෙලා රඟපෑම විතරක් කරගෙන ඉමුද කියලත්. නමුත් මගේ ආර්ථිකය රැඳිලා තියෙන්නේ ගුරුවෘත්තිය මත. එයින් තමයි මම ජීවත් වෙන්නේ.
රංගනය ඔබේ ජීවිතේ කොටසක්. ඒත් මේ කල්ලිවාදය තුළ කොහොමද තනියම රැඳෙන්නේ?
කලාව මගේ ජිවිතේ කොටසක් නෙමෙයි. ඒ තමයි මගේ ජීවිතේ. මම කවදාවත් හිතුවේ නැහැ මට ප්‍රධාන චරිතයක් කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඒ හිතපු නැති දේ වුණා. මම ඒ විදිහට සතුටු වෙනවා. වේදිකාවෙත් මම සෝමලතා මිස්ගේ නාට්‍යවලට විතරයි සම්බන්ධ වෙලා ඉන්නේ වෙන කිසිම නාට්‍යයකට මට කතා කරලා නැහැ. එහෙම ලැබුණේ නැහැ කියලා දුකක් දැනුණෙත් නැහැ. අතිශය ජනප්‍රිය නළු නිළියන්ට වඩා අතිශය දක්ෂ නළු නිළියන් ඉන්නවා තවම හැංගිලා. ඒ අය දකිද්දි ඔවුන් මටත් වඩා දක්ෂයි එහෙනම් මං කවුද කියලා හිතුණු වාර අනන්තයි.ඉතින් මට මේ ලැබිලා තියෙන ටික ඇති.
ඔබ ඔබ සමඟම අරගලයක යෙදෙන ගැහැනියක් ?
ඔව්. මම මා එක්කම අරගල කරනවා. මට යම් තැනෙක වැරැදුණොත් ඒ ගැන දුක් වෙයි පසුතැවෙයි. නමුත් එය අත්දැකීමක් වගේම ඒ අත්දැකීම රංගන ජීවිතයටත් යොදා ගන්න පුළුවන් කියලා හිත හදා ගන්නවා. මමම මාව සුවපත් කරගන්නවා ඒ වෙලාවට මා එක්කම කතා කරලා. අභියෝගයකට මුහුණ දෙන්න වුණත්, එය අවධානම් වුණත් මට මුහුණ දෙන්න අවශ්‍ය නම් මම ඊටත් හිත හදගන්න කෙනෙක්.
ජීවිතේ වැරැදුණු තැන්වලට හෝ වරද්දපු තැන්වලට ඔබ උත්තර දෙන්නේ කොහොමද?
වැරැදුණු තැන්වලටවත් වරද්දපු තැන්වලටවත් මම කතා බහ කරලා කෑ ගහලා නැහැ. වරදින තැන් ජිවිතේ පළවෙනි වතාවට වෙන්නේ. එතැනදි කම්පනයකට පත් වුණත් ඒ මොහොතේ නිහඬ වෙනවා. ඒ හැම මොහොතකම මට යාළුවෝ කියලා කට්ටියක් මා ළඟම ඉන්නවා. ඔවුන් මගේ ජීවිතේට ශක්තියක්.
ටානියා මෝසස්
සිළුමිණ
ඡායාරූපය - පසන් නලින්ද