ජීවිතයේ විඳින අනේකවිධ අත්දැකීම් සියල්ල කෙළවර වන්නේ සතුටින්. එහෙමත් නැත්නම් දුකකින්. සතිපතා අපි රිද්ම තුළින් ඔබ වෙත රැගෙන එන සතුටයි, දුකයි විශේෂාංගය හරහා කතාබහ කරන්නේ කලා ලොවේ ජනප්‍රිය අය තමන්ගේ ජීවිතේ විඳපු අනේකවිධ සතුට, සැනසුම හා දුක් දොම්නස පිළිබඳවයි. මේ කතාබහට මේ සතියේ අපි එකතු කරගන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය දීපානි සිල්වා.
සතුට හා දුක නිර්වචනය කරන්න කීවොත් ඔබ කොහොමද එය කරන්නේ?
තමුන්ගේ මනසට නිසි පිළිතුරු ලැබුණු අවස්ථාවල දැනෙන හැඟීම තමයි සතුට කියන්නේ. දුක කියන්නේ ඊට ප්‍රතිවිරුද්ධ අවස්ථාවයි.
කලාකාරියක විදියට වඩාත්ම සතුටු වූ අවස්ථාවන් හා දුක්වූ අවස්ථාවන් ඔබටත් ඇති?
කලාකාරියක වීමට ලැබිමම සතුටක්. කලාකාරියක විදියට දුක්වූ අවස්ථා ගැන කතා කරද්දී නම් මගේ හිතට තදින් කා වැදුණු අවස්ථාවක් තියෙනවා.
ඒ මොකක්ද?
එක්තරා යෞවන සම්මාන උළෙලක මම හොඳම නිළිය වුණා. එදා එම උත්සවය ආවරණය කරන්න පැමිණි මාධ්‍යවේදීන් අතර මගේ අයියත් හිටියා. එදා සම්මාන දෙන්න ආවේ ජනප්‍රිය රූප රාජිනියක්. රූප රාජනියක අතින් සම්මාන ගන්න එක සාහිත්‍යවේදිනියන් ප්‍රතික්ෂේප කළා. ඇය වේදිකාවට නැගලා ජනතාවට ආචාර කරලා වේදිකාවෙන් බැස්සා. ඒ වෙලාවේ මාධ්‍යවේදීන් ඈ වටා එකතු වුණා. එම උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූ දේශපාලනඥයා එතැනට ඇවිත් මගේ අයියාගේ කමිස කොලරයෙන් අල්ලලා එයාගේ බොඩි ගාඩ්ලට බාර දුන්නා. ඒ අය මගේ අයියට පහර දිදී ඇදගෙන ගියා. එතැන මාධ්‍යවේදීන් අතර විකල්ප පුවත්පත් නියෝජනය කළේ මගේ අයියා වීම තමයි ඊට හේතුව වුණේ. මම කෑගහගෙන එතැනට ගියා. එතැන හිටපු කලාකරුවෝ හා මාධ්‍යවේදීන් එකතු වෙලා තමයි එදා අයියව බේරගත්තේ. ඒ සිද්ධි මාලාව අදටත් මට මැවිලා පේනවා.
ආදරය ජීවිතයට සතුටක්ද, දුකක්ද?
ආදරය කොහොමද දුකක් වෙන්නේ? මම මගේ සහෝදරයන්ගේ, හිතවතුන්ගේ ආදරය ලබනවා. මේ මාධ්‍ය සාකච්ඡාවට මාව එකතු කරගන්නෙත් ඔයගොල්ලෝ මට ආදරේ හින්දනේ. ආදරය නැතුව ජීවත් වෙන්න බැහැ. ආදරය තමයි ජීවිතය ජීවත් කරවන්නේ.
පෙම්වතුන් අතර, අඹු-සැමියන් අතර පවතින ආදරය ජීවිතයට ළංකර නොගන්නේ ඒක සතුටක් නොවන නිසාද?
මම විවාහ වෙලා නැති හින්දා සැමියකුගේ ආදරය ලැබිලා නැහැ. හැබැයි ඔය කියන ආදරය ජීවිතයේ යම් යම් කාලවලදී, යම් යම් අවස්ථාවලදී සතුටින් විඳලා තියෙනවා
.
ආදරය කෙළවර වන්නේ විවාහයකින් කියලා බොහෝ අය කියනවා. පෙම් කරන කාලවලදී විවාහය දක්වා දුර යන්න හිතුණේ නැද්ද?
විවාහය කියන්නේ සංස්ථාවක්. ගැහැනිය හා පිරිමියා එකතු වෙලා සමාජයක් ගොඩ නගන්න දෙන බලපත්‍රයක්. ආදරය එහි සාධකයක් විතරයි. ආදරය විවාහයකින් කෙළවර වන්නේ නැහැ. ආදරය ඉන් එහාට යන දෙයක්.
ගැහැනියකගේ ආරක්ෂාවට, රැකවරණයට විවාහයත් අවශ්‍ය බව පොදු සමාජ පිළිගැනීමයි. ඒ අවස්ථාව නොමැති වීම ගැන දුකක් නැද්ද?
එක ගැහැනියක් තමන්ගේ ආරක්ෂාවට මනුස්සයෙක් හොයාගන්න එකද විවාහයකින් ලබන රැකවරණය? ඒක කොයිතරම් වැරදි මතයක්ද? ආරක්ෂාව අවශ්‍ය සමාජයේ ඉන්න සියලුම ගැහැනුන්ට ඒ ආරක්ෂාව ලැබෙන්නේ පිරිමින්ගෙන් නමෛයි, සමාජ සංස්කෘතික හා දේශපාලන පද්ධතියෙන්. ගැහැනියකට ආරක්ෂාකාරීව ජීවත් වෙන්න සුදුසු වටපිටාවක් ගොඩනැගුණු සමාජයක ගැහැනියකට තව කෙනෙකුගේ ආරක්ෂාව අවශ්‍ය නැහැ.
දීපානි හිතන්නේ ගැහැනියකට හිමිවිය යුත්තේ මුල් තැනද, සම තැනද, නිසි තැනද?
ගැහැනියකට මුල් තැන හිමිවිය යුතුයි කියන එක විහිළුවක්. නිසි තැන කියන එකෙන් අදහස් කරන්නේ කුස්සිය හා දරුවෝ හදන එක. මම කියන්නේ ගැහැනියකට අවශ්‍ය සම තැන. ගැහැනිය හා පිරිමියා අතර තියෙන්නේ සුළු වෙනස්කම් කීපයක් විතරයි. මොළය, හදවත, රුධිර සංසරණය එකයි. බුද්ධියෙන් හා ශක්තියෙන් වැඩි හෝ අඩු වන්නේ ඒ ඒ කෙනාගේ ශාරීරික තත්ත්වය මත මිසක් ස්ත්‍රී පුරුෂ බව මත නමෛයි. රටක ජනාධිපති වෙන්න, අගමැති වෙන්න ගෑනුන්ට හැකිනම් ඇයි ඇයට සම තැන හිමිකරගන්න බැරි?
උතුම් මාතෘත්වය ලබන්න පුළුවන් ගැහැනියකට විතරයි. ඒ අවස්ථාව ලබන්න බැරිවීම ගැන දුකක් දීපානිගේ හිතේ නැද්ද?
දරුවකු කුස දරා සිටින, දරුවකු ප්‍රසූත කරන වේදනාව මම විඳලා නැහැ. ඒත් මට දරු දුක තියෙනවා. මගේ සහෝදරයන්ගේ දරුවෝ මගේ දරුවෝ. අවුරුදු 25 ක් තිස්සේ මම ඉන්නේ මිතුරියකගේ නිවසේ. ඇය විවාහ වුණේ, දරුවන් ලැබුවේ මම එහෙට ආවට පස්සේ. ඒ දරුවෝ නාවන, කවන, පොවන, නිදි කරවන හැමදේම මම කළා. ඒ දරුවෝ ජයග්‍රහණයක් ලබද්දී මට දැනෙන සතුට, ඒ දරුවන්ට යම් ලෙඩක් දුකක් හැදුණම මට දැනෙන දුක ඒ දරුවන්ගේ මවට දැනෙන හැඟීම් වගේමයි.
ආරියවංශ කුලතිලක