lan englan tam

විශේෂාංග

කුසල් කුරුවිටගේ කවි කවිද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කුසල් ධනංජය කුරුවිට කියන්නේ ලංකාවේ ඉන්න තරුණ,දක්ෂ කවියෙක්.

වෘතියෙන් නීතිඥවරයෙක් ලෙස ද කටයුතු කරන ඔහු මේ වන විට කාව්‍ය නිර්මාණ කෘතීන් කිහිපයක්ම පළ කොට තිබෙනවා. ඔහුගේ ‘පෙමක් මනිනා මානයක්’, ‘අස්පර්ශනීයන් වෙත’ ‘කිරුළු කෝලය’වගේ කාව්‍ය නිර්මාණ කෘතීන් පාථකයන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත් උනා. 

dcd91ba3 b799 417a a54e 5245b20cea51

පහුගිය කාලේ අපි දැක්කා කුසල්ගේ කවි ගැන ආයෙත් කතා බහක් සමාජයේ නිර්මාණය වෙලා තියනවා.
මේ දක්වලා තියෙන්නේ මහාචාර්ය සසංක පෙරේරා විසින් පසුගිය කාලේ කුසල්ගේ කවි ගැන නිර්මාණය වෙලා තිබ්බ කතාබහට පිළිතුරක් විදිහට ඔහුගේ මුහුණු පොතේ තබපු සටහනක්. 
 
“පහුගිය කාලේ කුසල් කුරුවිටගේ කවි කවිද කියලා නොයෙක් අය ප්‍රශ්න කරන්න ගත්තා මට මතකයි. ඒ කාලේ මම ඔහුගේ කවි කියවලා තිබුනේ නැති නිසා මේ කලබැගෑනිය මොකක්ද කියලා මට හරියට තේරුනේ නැහැ. ලඟදි මම ඔහුගේ ‘කිරුළුකෝලය’ කවි එකතුව බොහෝ දුරට කියවලා ඉවර කළා. ඒ රෝහල් වගේ නොයෙකුත් තැන්වල පෝලින්වල ඉන්න ගමන්. ඔහුගේ කවි බොහොමයක් ඉතාමත් කෙටි නිසා මේ වගේ තැන්වලදී කියවන්න මේවා වඩාත් පහසු වුනා කියල මට හිතුනා. 
 
මම නම් හිතන්නේ කවිවල දිග පළල ගැන වාද විවාද කිරීම මෝඩ වැඩක්. ඒක කවියෙකුගේ අයිතිය. නමුත් ඒ වගේම, යමෙකුගේ කවි කුමන හෝ හේතුවකට පාඨකයින් කියවන්නේ නැත්නම්, ඒවා අගය කරන්නේ නැත්නම්, ඒක ඒ අයගේ වැඩක්. ඒක රුචිකත්වය, අධ්‍යාපනය, බුද්ධිය, දේශපාලනය, භාෂා පාරිශුද්ධත්වය වගේ නොයෙක් දේ මත පදනම් වෙන දෙයක්.
 
කොහොම වුනත් කවිය අනෙක් හැම පඨිතයක් වගේම ඒකෙ කතුවරයාගේ ග්‍රහණයෙන් මිදුනම, ඔහුට හෝ ඇයයට ඒ ගැන තියෙන අයිතිය නැති වෙනවා. මේ දිග පළල කතාව ගැන කුසල් උනන්දු නොවිය යුතු බවයි මගේ අදහස.
ඔහුගේ හුගක් කෙටි කවිවලට මම කැමතියි ඒවායේ තියෙන සංක්ෂිප්ත බව නිසාම සහ ඒවායේ ඇති දේශපාලනය, හාස්‍යය, අනුරාගය මම අගය කරන නිසා. මේ ලක්ෂණ ඔහුගේ කවි බොහුමයක අඩු වැඩි වශයෙන් තියෙනවා. කොහොමටත් අරුතක් සහිත දිග කවි ලියනවාට වඩා හුගක් අමාරුයි අරුතක් තියෙන කෙටි කවි ලියන එක.
 
3d85ec3d 2eb5 44a8 aada a659553938df
 
නොයෙකුත් හේතු නිසා මගේ හිත ඇදගත්ත කවි කීපයක් විතරක් මෙතන ලියන්න හිතුනා:
50.
ඔබට කවක් ලියන්න සිතත් ම
වර්ෂාව ඇරඹුනා
අහස මට ඉස්සර වෙමින්
02.
මෙහෙකරු අතින් 
වීදුරු බඳුන බිම වැටේ
හාම්පුතුගේ කැඩිච්ච සිංහල
කැබලි විසිරේ
09.
ඇඟිලි තුඩගින්
පියයුරු තුඩු බ්‍රේල් කියවන්න
තැත් කරමි
කියා දෙයි ඒ වචන ඈ
කනට කර 
15.
බජට් කට්ස්
ස්පයිඩර් මෑන්සුත් මාරුවෙයි 
මකුළු දැල් කඩන 
රස්සාවකට 
 
කලින් කිව්ව කරුණු නිසා මම කුසල්ගේ කවි බොහොමයකට කැමතියි. ම්නමුත් භාෂාව සහ කවීත්වය පිළිබඳ කුසල්ගේ කුශලතා වඩාත් පැහැදිලි වෙන්නේ ඔහුගේ වඩාත් දිග කවිවලින්. එකිනෙකට බෙහෙවින් වෙනස් වූ ‘අවිද්‍යාමානයේ විද්‍යාමානය’ (21) සහ ‘අවකාශ’ (23) වගේ කවි මෙව්වට උදාහරණ. ‘අවිද්‍යාමානයේ විද්‍යාමානය’ කවි පන්තියේ පළමු කවිය මගේ හිත ගත්තා:
 
මම බා හිඳිමි 
කවියක් ගොඩ ගසන තුරු
හද වෙරළට 
ඇගේ නෙත් දැලට හසු වූ
රූප බලබල 
 
මගේ විශ්වාසය ඔහුගේ කෙටි කවවලට වඩාත් නාටකීය සහ සෞන්දර්යාත්මක බවක් ඒවායේ පෙළ එහා මෙහා කිරීමෙන් ලබාගන්න පුළුවන් බවයි. එයින් දැනට එමගින් ධ්වනිත කරන අරුත් හෝ අනෙක් ගුණාංග නැතිවෙන්නේ නැහැ. 
පෞද්ගලිකව මම නොදන්නා කුසල්ට මගේ සුබ පැතුම් ...” (උපුටා ගැනීම අවසන්)
 
 
අවසාන වශයෙන් කුසල් කුරුවිට ගැන නොදන්න කෙනෙක් ඉන්නවනම් දැන්ගන්නත් එක්කම, ඔහු මීට වසරකට විතර කළින් Three vision නාලිකාව සමග ඔහුගේ කාව්‍ය නිර්මාණ ගැන කතා කරන්න සහභාගී වුණ සම්මුඛ සාකච්චාවක් පහතින් දක්වනවා.
 
Back to top
Go to bottom