2015 ජනවාරි 08 පත්කරගත්ත ජනාධිපතිවරයා මේ වෙනකොට තමන්ගෙ ජනවරමට සම්පූර්නයෙන්ම පිටුපාලා තියෙනවා.
එතකොට ඒ මොහොතෙ ප්රජාතන්ත්රවාදී අභිලාෂයන් වෙනුවෙන් පෙනී හිටපු ලක්ෂ 62ක ජනතාව අතර ඉතා පුංචි වැඩකොටස් කරමින් හිටපු අපි මෙතන ඉඳගන්නේ ඒ අභිලාෂයන්ට ජනාධිපතිවරයා මේ වෙලාවෙ පිටුපාලා තියෙන නිසා. මොකද මහින්ද රාජපක්ෂට විරුද්දව ඡන්දෙ දීපු මිනිස්සු ආපහු බලාපොරොත්තු වෙන්නෙ නැහැ මෛත්‍රීපාල සිරිසේන ලව්වා මහින්ද රාජපක්ෂ පත්කරගන්න. අනිත් එක 2015 බලහුවමාරුවෙන් පස්සෙ ප්රජාතන්ත්රවාදී අවකාශයේ යමක් සිද්ද වුනේ නෑ කියල කවුරුවත් කියනවා නම් ඒක වෙන ප්‍රශ්නයක්. විදර්ශන සහෝදරයා කියනවා සුදු වෑන් ආපු නැති එක විතරයි කියල. නැහැ ප්රජාතන්ත්රවාදයේ වෙනසක් සිද්ද වුනා. ඒක තමයි ඇත්ත කතාව.
මං වැඩකළේ රාජ්‍ය මාධ්‍යවල. රාජ්‍ය මාධ්‍යවල විකල්ප මතධාරීන්ට ගිහිල්ලා ජාතිවාදයට විරුද්දව, සංක්‍රාන්ති ලිංගිකත්වය වගේ තහනම් කරලා තිබිච්ච මාතෘකා ගැන කතා කරන්න පුළුවන් වුනා. රාජ්‍ය මාධ්‍යවලට වද්දගත්ත නැති සමාජ ක්‍රියාකාරිකයින් විකල්ප මතධාරීන් ඒවා තුල සාකච්ඡුාවලට කැඳෙව්වා. මං කියන්නෙ ඒක සීයට සීයක් මහලොකු කේතුමතී තත්වයක් කියල නෙමෙයි. හැබැයි ප්රජාතන්ත්රවාදයේ වෙනසක් වුනා. ඒක තමයි ඇත්ත කතාව. ඒකට පිටුපාන්න අපිට බෑ. හැබැයි දැන් ඒ රාජ්‍ය මාධ්‍යවල තක්කඩි හොරු මැරයො පැල්බැඳගෙන ඉන්නවා. ඒවා තිප්පොලවල් බවට පත්කරගෙන ඉන්නවා සුදර්මන් රදලියගොඩලා වගේ මිනිස්සු. එතකොට මේ අශිෂ්ටත්වය කියන එක හරි පැහැදිලියි.
සමාජයක බොටුව හිරවෙන කොට වාමාංශිකයෙක්ද දක්ෂිනාංශිකයෙක්ද කියල තෝර තෝර බොටුව හිර කරන්නෙ නෑ. මේවා සංයුක්තයි. ඒ හින්ද මේවා දක්ෂිනාංශික මන්දිරවල රන්ඩු කියල අපිට බජව් දාන්න බෑ. වාමාංශිකයින්ට බජව් දාන්න බෑ. මේ සමාජයක සමස්ත බොටුව හිරවෙන කොට ඒකෙ පීඩිතයො වෙන් කරන්න අපිට බෑ. පාරෙදි අපිට හොයන්න බෑනෙ පීඩිතයො කවුද පීඩකයො කවුද කියල. අපි ඔක්කොම අඩුවැඩි වශයෙන් පීඩිතයින් සහ පීඩකයින්. පොදු අර්බුදයක අපි ඉන්නෙ. මේ පොදු අර්බුදයෙන් පියමං කරන්න නම් පොදු ක්‍රියාමාර්ගවලට අපිට යන්න වෙනවා. එතකොට අපි ගාව තියෙන දහසකුත් එකක් න්‍යායික කතන්දර ඒවට බාධාවක් කර නොගෙන ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙලගැහෙන්න කියල සමාජ ක්රියාකාරිකයින්ගෙන් ජනමාධ්‍යවල වැඩ කරන කෙනෙක් විදිහට මං ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි බලකර සිටිනවා ජනාධිපතවරයාට වහාම පාර්ලිමේන්තුව කැඳවන්න. මේ මොහොතේ පාර්ලිමේන්තුවේ බහුතර බලය ඔප්පු කරලා තමන්ගේ දේශපාලන අභිලාෂයන්වලට ඔ්න කෙනෙකුට යන්න පුළුවන්. එතනින් එහාට පිට්ටනිය විවෘතයි. ඊට පස්සෙ අපි බලමු මොකද වෙන්නෙ කියල.