මාලිනී රණසිංහගේ ජිවිත කතාව රැගත් "සුප්පාදේවී කතාවස්තුව" එළඹෙන මස එළිදකියි
100
මාලිනී රණසිංහ
මනුසඳ සැරිය෴
කන්ද උඩරට මහනුවර "සිරිපුර"සමූහ ව්‍යාපාරයේ හිමිකරු වූ මිත්‍රසේන ද සිල්වා මහතාට හා මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික අංශභාර විදුහල්පතිනිය වූ කහඳවල ආරච්චිලගේ දෝන කැරොලයින් කහඳවල මහත්මිය ට 1943 වසර ඉතා විශේෂ වසරක් විය.නමසිය හතලිස් තුනේ ඔක්තෝබර් දහනමවෙනි දින මිත්‍රසේන ද සිල්වා යුවල දහසක් බලාපොරොත්තු දල්වා බලා සිටි දිනයක් විය.ඔවුන්ට එදින වාසනාවන්ත දිනයක් වූයේ තම පවුලේ දෙවැනි දරුවා ගේ ජන්ම දිනය එදින සිදුවූ නිසාවෙනි.
දෙවැනි දරුවා දියණියක වීම සිල්වා යුවළට තවත් සුව්ශේෂි කාරණාවක් විය.
මාලිනී ද සිල්වා නමින් ඒ දියණියට නම් තැබිණි. වැඩිමහල් සහෝදරයාගේ හා ඊට බාල සොයුරියගේත් සොයුරාගේත් ආදරය කරුණාව මැද පුංචි මාලිනිය දූ දරුවන් සිව්දෙනෙකුගෙන්යුත් පවුලේ දෙවැනියා විය.
කුඩාකල සිටම කවි ගායනයට දස්කම් දැක්වූ කුඩා මාලිනි පාසැලේ තුන්වන ශ්‍රේණියේ සිට දොළොස්වෙනි ශ්‍රේණිය දක්වා වූ සෑම වසරකදීම කවි ගායනා තරඟවලින් ජය හිමිකරගත්තාය.
මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ මාලිනි උසස් පෙළ විද්‍යා විෂය ධාරාවෙන් උසස් ලෙස සමත් වූවාය.ඇය ජීව විද්‍යා විෂයයන් කෙරෙහි තම සිත යොමු කළද ගායනය ඇතුළු කලා කටයුතු කෙරෙහිද වැඩි උනන්දුවකින් පසුවූ ශිෂ්‍යාවක විය.
1960 වසරේ මාලිනී ද සිල්වා තරුණ මානවිකාවිය පේරාදෙනිය විශ්ව විද්‍යාලයට ඇතුළු වූයේ ජීව විද්‍යා අංශයෙන් උපාධිධාරිනියක වීමේ අපේක්ෂාවෙනි.
නිතර රුක්මණී දේවියගේ ගීත අනුකරණය කරමින් ගායනා කිරිම ඇගේ එක් විනෝදාංශයක් විය.
ඒ 1961 වසරයි. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සරච්චන්ද්‍ර එදිරිවීරයන් තම දෙවැනි වේදිකා නිර්මාණය සඳහා සැලසුම් සකස්කරමින් වුන් කාලයයි.
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කලා මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ ශිෂ්‍යයින් මහාචාර්යවරයා සමඟ එතුමාගේ නවතම නාට්‍ය නිර්මාණය සඳහා ගායනා හැකිහාවෙන් පිරිපුන් යුවතියක ගැන අවධානයෙන් සිටි කාලයයි.
තරුණ මාලිනිය විශ්ව විද්‍යාලයේ නවක වදය සඳහා ඉදිරිපත් කළ ගායනය පසු කලෙක සරච්චන්ද්‍රයන්ගේ මහා නාට්‍යය භූමිකාවේ ප්‍රභලම කාන්තා නියෝජනයට හේතු වේයැයි කිසිවෙකුදු නොසිතන්නට ඇත.
එහෙත් එදා හිල්ඩා ඔබේසේකර ශාලාවේදි රුක්මණී දේවියගේ ගීතය ගැයූ හඬ ශ්‍රි ලාංකේය නාට්‍ය කලාව නව ගමනකට යොමු කරලීමට හේතුවක් විය.
"ඇසට නැතේ දකිනේ පුතු මාගේ
නැත පෙරළා එන්නේ"
මහදුරු සරච්චන්ද්‍රයන්ගේ සිංහභාහු නාට්‍යයේ සුප්පාදේවිය වූයේ මාලිනී ද සිල්වා නම් වූ වෛද්‍ය ශිෂ්‍යාවයි.
ඒ අනුව ශ්‍රි ලාංකේය නාට්‍ය ඉතිහාසයේ පළමු සුප්පාදේවිය වූයේ ඇයයි.
ඉන්පසු සරච්චන්ද්‍රයන්ගේ මනමේ දෙවන නිෂ්පාදනයේ මනමේ කුමරිය ලෙසත්,ඇය වේදිකාවේ අභිෂේක ලැබුවාය.
සිංහභාහු නාට්‍යයේ පොතේ ගුරු චරිතයට පණ පෙවූ ටෙරන්ස් රණසිංහ නම් වූ පේරාදෙනිය සරසවියේ කලා මණ්ඩලයේ ලේකම් පසු කලෙක මාලිනියගේ ජීවන සහකරු වීමද නාට්‍යයක් සේම රසවත්ය.
1961 වසරේ සිට නොකඩවා වසර තිස් එකක් සිංහභාහු නාට්‍යයේ සුප්පාදේවිය හා පොතේ ගුරු ලෙස රඟපා මාලිනී රණසිංහ හා ටෙරන්ස් රණසිංහ ශ්‍රි ලංකාවේ නාට්‍ය ඉතිහාසය වෙනස් කළේ ජාත්‍යන්තර ගිනස් වාර්ථාවකටද හිමිකම් කියමිනි.ඒ අනුව එකම වේදිකා නාට්‍යයක සුප්පාදේවිය හා පොතේ ගුරු ලෙස වාර පන්දහසකට වඩා රඟපෑම හේතුවෙන් ටෙරන්ස් මාලිනී යුවල 2002 වසරේ ගිනස් ලෝක වාර්ථාවට හිමිකම් කීම මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට මෙන්ම ලාංකේය නාට්‍ය ක්ෂේත්රවටද ස්වර්ණමය අවස්ථාවක් විය.
කේ .බී. හේරත් නාට්‍යවේදියා නිර්මාණය කළ මායා දේවි නාට්‍යයේ මාලිනී රණසිංහ රඟපෑ අද්විතීය රංඟනය නාට්‍ය ලෝලීන් අදත් සිහිපත් කරන්නේ තුටු සිතිනි.
1986 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ ඇය හොඳම සහාය නිලි සම්මානයෙන් පිදුම් ලැබීය.
එම වසරේම සාම නාට්‍ය උළෙලේදී ද ඇය එකී සම්මානයෙන් පිදුම් ලැබීය .
1992 වසරේ කොළඹ විශ්ව විද්‍යාලයේ වින්දන ප්‍රසාද උළෙලේදී ද, කොළඹ නාට්‍ය රසික හවුලේ ප්‍රනාම සම්මානයෙන්ද මාලිනිය පිදුම් ලැබුවාය.
වේදිකාවේ මෙන්ම මාලිනිය සිය රංඟ ප්‍රතිභාව සිනමාව හා රූපවාහානිය තුළින්ද ප්‍රේක්ෂක සිත් දිනාගත්තාය. ඇය සිය රංඟ ප්‍රභාව දැක්වූ ටෙලි නාට්‍ය අතර.
** හිරු දරුවෝ... .........ධර්මසේන පතිරාජ
** ඉරට හඬන මල් ..චන්ද්‍රරත්න මාපිටිගම
** දිරිය දුව .......................බන්දුල විතානගේ
** අඹ යාළුවෝ.....................සුදත් දේවප්‍රිය
** සෙක්කු ගෙදර ........ජයලත් මනෝරත්න
** ටිකිරි නිළමේ........සතිස්චන්ද්‍ර එදිරිසිංහ
** මවකගේ ගීතය..........සුදත් සේනාරත්න
** වෙස් තට්ටුව................ටිකිරි රත්නායක
** හිම කුණාටුව.......... ....ටිකිරි රත්නායක
** තරු පබා.....................ටිකිරි රත්නායක
** සුදු අරලිය.... .................ටිකිරි රත්නායක
Village by the sea ඉංග්‍රීසි ටෙලි නාට්‍යයේද මාලිනී රණසිංහ සිය කුසලතාවයන් ප්‍රේකෂකයින් හමුවේ සනිටුහන් කළ අතර
"අයෝමා" ,"හිමගිර", හා "යක්ෂාවේෂය" සිනමාපට හරහා සිංහල සිනමාවද තරණය කළාය.
මාලිනිය සිය රංඟ ප්‍රතිභාව තුළින් ශ්‍රි ලාංකේය ප්‍රේක්ෂක හදවත් අතර ආරදණිය නමක් තැබුවද ඇය සිය ජීවන වෘතිය ආරම්භ කළේ ගුරු වෘත්තියෙනි.
පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් ජීව විද්‍යා උපාධිධාරිනියක ලෙසින් ඈ සිය ප්‍රථම පත්විම ලබාගත්තේ 1965 වසරේ විද්‍යා ගුරුවරියක ලෙස ගම්පල මධ්‍ය මහා විද්‍යාලයටය.
ඉන්පසු උසස් පෙළ උත්භිත විද්‍යාව හා සත්ව විද්‍යාව ගුරුවරියක ලෙස මහනුවර උසස් බාලිකා විද්‍යාලයේත් ,මහනුවර සිද්ධාර්ථ විද්‍යාලයේත් සිය රාජකාරිය ඉටකළාය.
විද්‍ය පිළිබඳ අංශභාර ගුරුවරිය ලෙස හිල්වුඩ්ස් පාසලේ හා Kandy international , ජාත්‍යන්තර පාසලේ ද උත්භිත විද්‍යා හා සත්ව විද්‍යාව ගුරුවරියක ලෙස රාජකාරි සිදුකළ අතර, Kandy Grammar School හි ගුරුවරියක ලෙසින් සම්බන්ධ වී ඉන් පසු එහිම උප විදුහල්පතිනිය හා විදුහල්පතිනිය දක්වා උසස්වීම් ලැබීය. දහසකුත් දැයේ දූ දරුවන්ලේ නැණස පැදීමේ මාහැඟි කාර්යයක නිරතවූ ඇය සැබෑම ගරු මාතාවක් ඉටු කළ වටිනා සේවය නිසාම අද දවසේ ලංකාවේ මෙන්ම ලොව වටාද විවිධ තරාතිරම්වල රැකිවේ නිරත උගතුන් බොහෝය .
මහාචාර්ය සරච්චන්ද්‍ර එදිරිවීරයන්ගේ නාට්‍ය ගීත ඇසුරින් සරච්චන්ද්‍ර අභිනන්දන නාට්‍ය ගී "නැත ලොවේ අන් රසඳුණා" නමින් ගීත එකතුවක් දැයට තිළිණ කළේ 2014 වසරේය.
සිංහභාහු නාටකයේ පොතේ ගුරු හා මාලානියගේ ජීවන ගමනේ සොඳුරු සෙවනැල්ල වූ ටෙරන්ස් රණසිංහයන් වෘත්තියෙන් පිළිමතලාව මහ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති වශයෙන් සේවය කළ අතර එම පාසලේම කෙඩෙට් බාර නිළධාරියා වශයෙන් ද කටයුතු කළ අතර ඉන් පසු එතුමා යුධ හමුදා සේවයට කැඳවීය.1981 සිට 2001 විශ්‍රාම ගන්නාතුරු කොළඹ හමුදා මූලස්ථානයේ , චීන වරාය,හා අවසන් යුධ සමයේ වව්නියාවේ joint operation comand හි සක්‍රිය සේවයේ යෙදී සිටි හමුදා නිළධාරියෙකි.ටෙරන්ස් රණසිංහ මහතා 2008 වසරේ දැයෙන් සමුගත්තේය.
මාලිනී ටෙරන්ස් කැදැල්ලේ පුතු , රොෂාන්ක ජාලිය බණ්ඩාර රණසිංහ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධරයෙකු හා ඕස්ට්‍රේලියාවේ පර්ත් විශ්ව විද්‍යාලයේ phd උපාධිධරයෙකි.දැනට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශගුණික විපර්යාශයන් හා මුහුදුබඩ ව්‍යසනයන් පිළිබඳ මහාචාර්යවරයෙකි.
දියණිය , කාංචනමාලා රණසිංහ ඕස්ට්‍රේලියාවේ Fellow Royal Australian collage of Genaral Practitioners හි වෛද්‍යවරික ලෙසත්,ග්‍රිෆින් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යේෂ්ඨ කතිකාචාර්යවරියක ලෙසත් රාජකාරි කරනු ලබයි.
මවගේ අඩිපාරේ යමින් මාලිනියගේ සදාදර දියණිය කාංචනමාලා රණසිංහ නූතන සුප්පාදේවිය ලෙසින් ඔබ අප හමුවන සොඳුරු දිනය ඉතා නුදුරු දිනෙක එළෙබෙනු ඇත.
මාලිනී රණසිංහයන් විසින් ලියූ
"සුප්පාදේවී කතාවස්තුව" කෘතිය එළඹෙන ජූලි මස 11 වන දින සවස 3.30 ට කොළඹ පදනම් ආයතනයේදී දොරට වඩිනු ඇත.
දයාබර දියණියක, ආදරණීය බිරිඳක , සෙනෙහෙබර මවක , ලෙංගතු ගුරුමාතාවක මෙන්ම දක්ෂ රංඟන ශිල්පිනියක ලෙසින් තම ජීවිතයේ විවිධ කඩඉම් පසුකළ මාලිනී රණසිංහයන් අද ආදරණීය මිත්තනියකි.
ශ්‍රි ලාංකේය නාට්‍ය ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන පිටුවක සදාදරණීය නාට්‍ය ශිල්පිනිය, දහක් දූ දරුවන්ගේ නැණ නුවණ පෑදූ ගුරුමාතාව ඔබ තුමියට මනුසඳ සැරියේ ශතක ලිපිය තුළින් මෙලෙස සෙනෙහසින් දිගු කරන මේ මල් මිට බාරගන්න.
අපේ දයාබර සුප්පාදේවියේ ඔබට චිරං ජයතු..
සටහන: මංජු නැදගමුව