අති දක්ෂ ගුවන් විදුලි සන්නිවේදකයෙක්, ගීත රචකයෙක්, පිටපත් රචකයෙක්, වැඩසටහන් නිෂ්පාදකයෙක් යනාදි වශයෙන් ක්ෂේත්‍ර ගණනාවක කුසලතා දැක්වූ ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ මාගේ තාත්තා පිළිබඳ ඔහුගේ සමකාලීනයන්ට, විද්වතුන්ට , සහෘදයින්ට බොහෝ දේ කීමට පුළුවන. තාත්තා පිළිබඳ ඔවුන්ට විවිධ මතකයන් ඇති බවට සැක නැත. නමුදු තාත්තා පිළිබඳ මට කියන්නට ඇති දේ සැමගේ කතාවලට වඩා වෙනස් ය. දියණියක ලෙස මට කීමට ඇති දේ තවත් කෙනෙකුට කවදාවත් කියන්නට ද නොහැකි වනු ඇත. එක් අතකින් එය මගේ වාසනාවකි. එක් අතකින් වාසනාව ද අනෙක් අතින් අවාසනාව ද මිට මොළවාගෙන පැමිණි මා ප්‍රේමයේත් දයාවේත් එකතුවේ කඳුළු බින්දුවයි. තාත්තා මට ‘හොඳම‘ තාත්තා වුණේ නැතිවට ඔහු මට ජීවිතය ඉගැන්නුවා. අහිමි බොහෝ දේට වඩා හිමි පිනි බින්දුවත් වටිනා බව කියා දුන්නේ තාත්තා. ඒත් අම්මා නම් කිව්වේ තාත්තාගේ හිත පෑරෙන්න පිනි බින්දුවත් ඇති කියාය. ඒ තරමටම තාත්තා සංවේදි කෙනෙක් විය. ආදරයට ඔහු පුදුමාකාර ලෙස ආදරය කළේය. ඉක්මනින් කේන්ති ගන්නා ඔහු ඊළඟ මොහොතේම ඒ කේන්තිය නිවා ගනී. පොඩි දරුවකු සේ සිනාසේ. ඒ මගේ දඩබ්බර තාත්තාගේ හැටි ය.
එහෙත් තාත්තා කිසි විටෙකත් සමාජයට දඩබ්බරකම් නොකළේය. ඔහු ඉන් ජීවිතය උගත්තේය. මානව සංහතියටම උරුම වූ ඇතැම් සංවේදනා තමාගේ වාග් කෝෂයෙන් උචිත වුත් අත්‍යවශ්‍ය වුත් ලෙස තෝරා පෙරාගෙන, තම නිර්මාණ හරහා මිනිස් සිත් මෘදු ලෙස ස්පර්ශ කළ මෙලොව සුවිශේෂි කෙනෙක් විය.
සරල බවත්, අල්පේච්ඡතාවත්, කරුණාවත්, දයාවත්, ප්‍රේමකිර්ති ලකුණේ විය. එය ප්‍රේමකිර්තිගේ කට හඬේ ද අඩුවක් නැතිවම විය.
දිනක් තාත්තා මගෙන් මෙහෙම අහනවා.
“දූ දන්නවද ජීවත් වීම හා ජීවත් වෙනවා කියන්නේ එකක් නොව දෙකක් කියලා. හුඟ දෙනෙක් දන්නේ ජීවත් වෙන්න. ජීවත් වීමට දන්නේ බොහොම ටික දෙනයි.,,
තාත්තා එහෙම කියන කොට මම අහනවා “එහෙනම් තාත්තේ ජීවත් වීම කරන්නේ කොහොම ද කියලා.,,
තාත්තා කියනවා, “ඒකට දූ අධ්‍යාපනයත් එක්ක අත්දැකීම්වලින් පිරුණු බවත්, කරුණාව දයාවත් ලද දෙයින් සතුටු වීමත් තමයි ඕන කරන්නේ කියලා.,,
“සුරංගිට දුක හිතුණා කියා,, එදා තාත්තා මා වෙනුවෙන් ලියූ ගීතය. එදා පමණක් නොවෙයි සුරංගීට අදත් දුක හිතෙනවා. තාත්තා ලියූ තවත් ගීතයක් තියෙනවා මා වෙනුවෙන්. නමුත් මේ ගීතය එතරම් ඇසෙන්නේ නැහැ. ගීතය ගයන්නේ චන්ද්‍රිකා සිරිවර්ධන නැන්දා. සංගීතවත් කර තිබෙන්නේ රෝහිත විජේසුරිය මාමා.
බොළඳ කිරි කැටි මොළොක් සුදු මුදු
මගේ දූ ඩිංගී
තාම පුංචියි තාම පුංචියි
මගේ දූ ඩිංගී...
නියංසායට මුදුන් මුල්
දිය සොයා නොම පැරදී
සමන් පැළයෙන් සමන් මල්
මතු උපදිනා පරිදී
මගේ ගති ගුණ නුඹෙන් නාවොත්
දුවේ නුඹ වැරදී...
කළත් විස්කම් වෙනස්කම්
සිත රිදවලා ගරහා
ගඟක් මෙන් නිහඬ වී
සිටියත් උන් කියත් හරහා
ගතට අබරණ චේතනාවයි
ඇතොත් සිත සරහා....
තාත්තා හැම විටම බලාපොරොත්තු වුණේ මා ඔහු වගේ වෙනවට. තාත්තා මට සබඳතාවල වටිනාකම කියා දී තිබෙනවා. මිනිස්සුන්ට වගේම සතා සීපාවාට, රටට, ජාතියට ආගමට ආදරය කරන හැටි බොහොම ලස්සනට කියා දී තිබෙනවා.
දවසක් තාත්තා මට මෙහෙම කියනවා.
“දූ සමරවීර මුදලිගේ දොන් පරම්පරාවේ අයට නල දත උරුමයි. ඒ උරුමය දූට නාවොත් ඒ දූ මගෙ නොවෙයි. “ තාත්තා මා බලන්න පැමිණි දිනෙක එහෙම කියලා හිනා වුණා. ( මටත් තාත්තාට වගේම නල දත් දෙකක් උරුම වී තියෙනවා)
නල දත පෙන්වා සිනාසුණ ඒ මුව පසාරු කරගෙන යන පරිදි මීට වසර තිහකට පෙර ඔහුට වෙඩි තබා ඝාතනය කොට ඔහුගේ අහිංසක සිනාව උදුරාගෙන තිබුණා. කිසිදු දිනෙක ඔවුන්ට සාප වේවායි මම නොපතමි. මම එසේ නොලියමි. මන්ද ලෝ දහමට අනුව ඔවුන්ට අත්වන ඉරණම කෙසේ දැයි අපි දන්නා නිසාය.
කුරා කුහුඹුවෙකුටවත් අත් නොවිය යුතු ඉරණමක් මගේ තාත්තාට අත් වූයේ තාත්තා කළ කුමන වරදකට දැයි වටහා ගැනීමට අපි පින් මදි වූවෝ වෙමු.
මේ,
සමරවීර මුදලිගේ දොන් සුරංගී ද අල්විස්
සිළුමිණ