මේ දවස්වල බොහෝ නරඹන්නන් අතර කතාබහට ලක් වන එක් ටෙලි නාට්‍යයක්. ‘කොඩි ගහ යට’. ඒ ටෙලි නාට්‍යය වගේ ම මේ දවස්වල තවත් කෙනෙකු ගැනත් ඔවුන් අතර කතාබහට ලක් වෙනවා. ඒ කළු. ඒ කළුගේ චරිතයට පණ පොවන්නේ අපට ඉදිරි කාලයේදි වඩාත් බලාපොරොත්තු තබා ගත හැකි රංගන ශිල්පියෙක්. ඔහු නලින් ලුසේනා. නලින්ගේ නම පුංචි තිරයට අලුත් වුණත්, වේදිකාවට නම් අරුමයක් නොවෙයි. පුංචි තිරය, රිදී තිරය, වේදිකාව කියන මාධ්‍ය කිහිපයේ ම සැරිසරන ඔහු ව පසුගිය දිනෙක අප හමු වුණා.
“කොහොමද නලින් ‘කොඩි ගහ යට’ ගෙවන ජීවිතේ?”
“‘කොඩි ගහ යට’ නිර්මාණයක් විදියට දීර්ඝ කාලයක් තිස්සේ වැඩ කළ නිර්මාණයක්. ප්‍රේක්ෂකයන් සහ බලන අයගේ වගේ ම ඒකට ම එකතු වුණු ප්‍රේක්ෂක පිරිසක් මේ නාට්‍යය සමඟ ඉන්නවා. ඒ නිසා මේ දවස්වල ‘කොඩි ගහ යට’ ගැන මිනිස්සු අතර කතාබහට ලක් වෙනවා. ඒක කණ්ඩායමක් විදියට සියලු දෙනාට ම බොහොම සතුටට කාරණයක්. මොකද නිර්මාණයක් කරන්නේ මිනිසුන්ට නරඹන්න. මිනිසුන්ට නරඹන්න පුළුවන් විදියේ නිර්මාණයක් කිරීම සහ එවන් නිර්මාණයකට සහභාගි වීමට ලැබීම ගැන සතුටක් තියෙනවා.”
“මේ මාධ්‍යවල සැරිසැරීම ඔබට මොන විදියට ද දැනෙන්නේ?”
“මාධ්‍යයන් විදියට ටෙලි නාට්‍ය හා වේදිකාව කියන්නේ දෙකක්. එහෙම වුණාට රංගනය කියන කාරණයේදි මා හිතන්නේ නළුවකුට රංගනය පිළිබඳ තිබෙන පදනම් අදහස මොන මාධ්‍යයෙත් එකයි. වෙනස් වෙන්නේ මාධ්‍යයේ තිබෙන ස්වභාවයයි. වේදිකාවේ වැඩ කරන ගමන් ටෙලි නාට්‍යවල හා සිනමාවේ වැඩ කරද්දි මට වෙනසක් විදියට දැනෙන්නේ ඒ මාධ්‍යයේ වෙනස විතරයි. කාලයක් තිස්සේ මා වේදිකාවේ වැඩ කළා. ඒ වගේ මගේ ජීවිතයේ දිගටම එහි වැඩ කිරීම සිද්ධ වෙයි. ඒකයි මගේ බලාපොරොත්තුව. ඊට අමතරව ටෙලි නාට්‍යයක හෝ සිනමාවේ හරි රඟපාන්න ලැබෙන එකේ දි මාධ්‍යයක් විදියට ගත්තට පස්සේ ටෙලි නාට්‍යයකදි එහෙමත් නැත්නම් කැමරාවක් ඉදිරිපිට රඟපාන එක ටිකක් අමාරු කටයුත්තක්. අපි දන්නවා වේදිකාවේ රඟපාද්දි දීර්ඝ පුහුණු වීම් එක්කයි කාලය ගත වෙන්නේ. ඒත් ටෙලි නාට්‍යවලදි හරි සිනමාවේදි හරි එහෙම දීර්ඝ පුහුණු වීමක් හරි නිර්මාණයක් එක්ක ගොඩක් ගැටෙනවට වඩා පාවිච්චි කරන්න වෙන්නේ අපේ හැකියාවයි. ඒ නිසා මම විශ්වාස කරන දෙයක් වෙන්නේ ඕනම කෙනෙකුගේ හැකියාව මත වේදිකාව ඇතුළේ වැඩ කරන්න පුළුවන් කියන කාරණයයි. ඒත් හැකියාවෙන් ම ඉදිරියට යන්න බැහැ.”
එවැනි අවස්ථාවකදි රංගන ශිල්පියකුට අවශ්‍ය වන අනෙකුත් කාරණා මොනවා ද යන ගැටලුව මගේ සිතේ පැන නැඟුණා. ඒ ගැන නලින් ලුසේනාගේ අදහස් පෙළ ගැසුණේ මේ ආකාරයට.
“රංගනය සමඟ කටයුතු කරද්දි හැකියාවට එහා ගිහින් පුහුණුවක් තිබිය යුතුයි. සිතීමක් තිබිය යුතුයි. සිතීම පුහුණුව නැතිව හැකියාවෙන්ම විතරක් අපට මේ වැඩේ කරන්න බැහැ. ඒ නිසා අපේ කර්මාන්තය ඇතුළේ තියෙන හැම අංගයකටම මේක බලපානවා. ඕනම කෙනෙක් මේකට එන්නේ යම් හැකියාවක් තිබෙන නිසා. පළමු එකේ දි, දෙවැනි එකේදි අපට හැකියාවෙන් වැඩ කරන්න පුළුවන්. ඒත් දීර්ඝකාලීන වැඩ කරද්දි දිගටම ඒ තිබුණු හැකියාව වැඩි දියුණු කර ගන්නට නම් සිතීමක් අවශ්‍යයයි. නිරන්තර පුහුණුවක් අවශ්‍යයයි. එතනදි ඒ ඒ නළුවන්ට අනන්‍ය වුණු පුහුණු වීම් තිබෙනවා. ඒ ඒ ක්‍රමවේදවලට අනුව පුහුණු වීම, සිතීම දිගටම කළේ නැත්නම් මා සිතන්නේ ඒ දීර්ඝකාලීන පැවැත්ම හැදෙන්නේ නැති බවයි. වේදිකාවේ වැඩ කරලා මා ඉගෙන ගත්ත එක ම දේ තමයි අපි නිරන්තර පුහුණුවක් පවත්වා ගත්තේ නැත්නම් ඒක ලෙහෙසි කටයුත්තක් නොවන වග. යම් දෙයක ප්‍රවීණත්වයට පත්වෙන්නේ ඒ වෙනුවෙන් වැඩ කරන එක ඇතුළෙයි. ඒ සඳහා අපට වැඩක් ලැබෙන්න අවශ්‍ය වන්නේ ම නැහැ. එහිදි වේදිකාවේ තිබෙන විශේෂත්වය එයයි. අපට හැම තිස්සේ ම දීර්ඝකාලීනව ඒක ඇතුළේ යෙදෙන්න ලැබුණාට පස්සේ අපි පිටපත් කියවනවා; ගෙදර ඇවිල්ලා සාකච්ඡා කරනවා. ඒ නිසා ඒක නිරන්තරයෙන්ම විලාසිතාවක් බවට පත් වෙනවා. ජීවන විලාසිතාවක් බවට පත් වෙනවා. එවිට අපි ඒකේමයි ජීවත් වෙන්නේ. ඒ නිසා ඒ ජීවත් වීමයි නළුවකුට වේදිකාවේදි ලැබෙන විශේෂ දෙය වන්නේ. සිනමාපටයක, ටෙලි නාට්‍යයක රඟපාද්දි ඒ චරිත වෙනුවෙන් අපට ඒ තරම් කාලයක් ලැබෙන්නේ නැහැ. ඒත් අර කලින් ලැබුණු දෙයත් එක්ක අපට පුළුවන් වෙනවා චරිතයක් කොහොමද දිගටම පවත්වාගෙන යන්නේ කියලා හිතන්න. රඟපාන්න ගියාට පස්සේ ටෙලි නාට්‍යයක් වේදිකාවට වඩා වෙනස්. කොතනින් ෂූට් කරයි ද දන්නේ නැහැ. පිළිවෙළකට නොවෙයි අපි රූගත කිරීම් කරන්නේ. එහෙම එකක් එක්ක මාධ්‍යයන් දෙකේ වෙනසක් පවතිනවා. ඒත් රංගනයේදි පදනම එක බවයි මගේ අදහස වන්නේ.”
‘කොඩි ගහ යට’ කළු සමරිසි කෙනෙකු වුණත්, සම් මස් ඇට නහරවලින් සැදුණු මනුෂ්‍යයෙක්. ඒත් සමාජයේදි බොහෝ දෙනා අතර ඔවුන්ට හිමි වන තැන ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. කොහොම වුණත් වර්තමානය වනවිට සිටින තරුණ පරපුර අතර ඒ තැන පිළිබඳ තිබෙන්නේ වෙනස් ම මතයක්.
“සියලු දෙනාම මනුෂ්‍යයන්. එහෙම නේද?”
“ඒ චරිතය වෙනස් කියලා මා හිතන්නේ නැහැ. කළු කියන චරිතය කරන්න ගත්තට පස්සේ මා රංගන ශිල්පියකු ලෙස, මනුෂ්‍යයකු විදියට ඒ චරිතයේ වෙනස්කමක් දැක්කේ නැහැ. මේ කතාවේ ගැහැනු හා පිරිමි ඉන්නවා. ඒ වගේ ම ට්‍රාන්ස් ජෙන්ඩර් කියන චරිතයක් තියෙනවා. එයත් සාමාන්‍යයෙන් ගැහැනු පිරිමි වගේ එයාගේ අනන්‍යතාවක් තියෙන සමරිසි කෙනෙක්. එච්චරයි. ඒ වගේ ම මනුෂ්‍යයකු විදියට මා මේ සමාජයේ වෙසෙන කිසිම කෙනෙක්ව ලිංගිකත්වය පදනම් කරගෙන වර්ගීකරණය කරන්නේ නැහැ; දකින්න උත්සාහ කරන්නේ නැහැ. ඒ වගේ ම මට කාගෙවත් ලිංග භේදය වැදගත් නැහැ. සමාජයක් විදියට අපි ඒ ගැන හිතන එක වගේ ම අහන එකත් නවත්වන්න ඕන.”
‘කොඩි ගහ යට’ නිර්මාණයේදි කළු කියන චරිතය ගැන නරඹන්නන්ගේ සිතේ ඇති කරන්නේ වෙනස් ම චිත්‍රයක්.
“ඒ චරිතය ඔබට ලැබුණට පස්සේ කළු ව ඔබ තේරුම් ගත්තේ කුමන ආකාරයකට ද?”
“කළු ව අපට මුලින් ම හමුවෙන්නේ හිරගෙදරදි. පහළ මධ්‍යම පාන්තික සමාජ පන්තියකින් පැවැත එන කෙනෙක් වුණු කළු, හිර ගෙයක් ඇතුළේ දි එයාගේ ආරක්ෂාවටත් එයා එයාගේ ස්වභාවය පාවිච්චි කරනවා. ඒ වගේ ම එයා ඒ මඟින් පීඩනයටත් පත් වෙනවා. ඒ විතරක් නොවෙයි කතාව ඇතුළේදිමයි කළු එයාගේ චරිතය තේරුම් ගන්නේ. ඒ එයාගේ ස්වභාවය ජීවත් වීමට ප්‍රශ්නයක් නොවෙයි කියන කාරණය. කළුට ගෞරවයක් හිමි විය යුතුයි කියන කාරණය ඇතුළේ සටන් කරන්න එයාට හයියක් හම්බ වෙන්නේ මහේෂ්, අසේල වගේ අයගෙන් ඔහුට ලැබෙන ගෞරවය ඇතුළේ. ඊට කලින් තාඩන පීඬනවලට ලක් වෙවී, ගුටි කකා එහෙමයි එයාගේ ජීවිතය ඇරැඹෙන්නේ. ඒත් මහේෂ්, අසේල ඇතුළු අනෙක් පිරිස දෙන ගෞරවය ඇතුළේ ඊට පසු ජීවිතය ඔහු ගොඩනඟා ගන්නවා. ඒ වගේ ම මට රූපණ ශිල්පියකු විදියට යම් චරිතයක් ලැබුණට පස්සේ මම කල්පනා කරන්නේ කවුද මෙයා? මෙයාගේ අධ්‍යාපන මට්ටම මොකක් ද? මෙයා හිතන පතන විදිය මොකක්ද? ඊට පස්සෙයි එයා ගැහැනු ද? පිරිමි ද? එයාගේ අනෙක් කාරණා ටික පිළිබඳ නළුවකු ලෙස සිතුවේ. ඒ විදියටයි මා කළුගේ චරිතයට ප්‍රවේශයක් ලබා ගත්තේ.”
ඕනෑම චරිතයක් ප්‍රතිනිර්මාණය කිරීමේදී රංගන ශිල්පියකුට කැපකිරීම් රැසක් කිරීමට සිදු වන බව රහසක් නොවෙයි. ඒ මතයි ඒ චරිතයේ සාර්ථක බව රදා පවතින්නේ.
“කළුගේ චරිතයට ඔබට කරන්නට සිදු වුණු කැපකිරීම් මොනවා ද?”
“මම වැඩ කළේ අධ්යක්ෂවරයා හා පිටපතේ තියෙන කාරණාත් එක්කයි. මූලිකවම රූගත කරන්න කලින් අසේලගේ චරිතය රඟපාන සේවියර් එක්ක අපි පෞද්ගලිකව චරිතයේ ස්වභාවය ගැන, එය පෙනෙන විදිය ගැන කතා කළා. ඒ වගේ ම ඔහු ඇවිදින විදිය, කතා කරන විදිය, එයා මොන වගේ තත්ත්වයකින් ස්වභාවය පෙන්වන්නේ ද කියන කාරණාත් එක්ක පෙර පුහුණුවීම් කළා. ඊට පස්සේ ඇදුම් නිර්මාණයෙන් ලක්මාල් හා හර්ෂ, කිතූ අක්කා වගේ ම ලොකු සහයෝගයක් දුන්නේ වේශ නිරූපණයෙන් නාරද තොටගමුව. ඒත් එක්කම රජිත දික්හින්නවත් මතක් කරන්න ඕන. මගේ චරිතය ගොඩනඟන්න අඳීන ඇඳුම, වේශ නිරූපණය පවා ඉතා කල්පනාවෙන් හා වෙහෙසක් දරලා කළ දේවල්. එහිදි කළුගේ වේශ නිරූපණයට ටික වෙලාවක් යනවා. ඒ සඳහා රජිත හොඳ සහයෝගයක් දුන්නා. ඒ ආකාරයෙන් නළුවකුට බාහිරෙන් ලැබෙන්න ඕන ඉතා හොඳ සහයෝගයක් නිර්මාණය ඇතුළේදි ඒ චරිතයට මට ඔවුන්ගෙන් ලැබුණා. ඒ පැත්තෙන් එහෙම වෙද්දි ඒ චරිතය ටෙලි නිර්මාණයක් ඇතුළේදි දිනෙන් දිනම පවත්වාගෙන යන්න හොඳ කන්ටිනිවිටි එකක් තිබිය යුතුයි. විශේෂයෙන්ම අනෙක් රංගන ශිල්පීන් හරහා වුණත් එය සිදු විය යුතුයි. එය එසේ සිදු වුණා. ඒ වගේ ම රඟපාන්න ගියාට පස්සේ මුල් කාලයේ මට මතකයි මා පළමුවැනි, දෙවැනි දර්ශන රූගත කරද්දි මේ චරිතයේ හරි ම ස්වභාවය සොයාගන්න සැලකිලිමත් වූ බව. මේ නිසා සම්පූර්ණ කණ්ඩායමක සහයෝගයයි කළු කියන්නේ.”
සියලු දෙනාගේ වෑයමෙන් බිහි වුණු කළු ‘කොඩි ගහ යට’ දි ගෞරවයට පාත්‍ර වුණු චරිතයක්.
“මම හිතන්නේ කළුගේ චරිතය ලියැවිලා තියෙන්නේ උදාහරණයක් විදියට මෙහෙම හිතමු. කළුගේ චරිතය බොහොම වෙනස් විදියට ගොඩනඟලා තියෙනවා කියන කාරණය ගැන හැමෝම වගේ කතා කරනවා මා දැක්කා. එතනදි මා හිතන වෙනස් විදිය වන්නේ කළුගේ චරිතයේදි ජගත් අනෙක් නළුවන් මෙහෙය වන විදියේ තියෙන විශේෂත්වයයි. කළුත් එක්ක දර්ශනයක් රූගත කරද්දි අනෙක් කිසිම චරිතයක් කළු ට ඇද කරන්නේ නැහැ. කළුව විහිළුවට ලක් කරන්නේ නැහැ. මහේෂ් සහ අසේල කියන්නේ මේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත දෙක. ඔවුන්ගෙන් චරිත විදියට කළුට ලැබෙන ගෞරවයක් තිබෙනවා. එහෙම වෙන්නට අධ්යක්ෂවරයා හා රචකයා කළුගේ චරිතය බොහොම සූක්ෂ්මව ගොඩනඟලා තියෙනවා. එවිටයි කළුට බලයක් ඇති වෙන්නේ. ගෞරවයක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් කළුගේ හැසිරීමෙන්ම විතරක් නොවෙයි.”
සමාජය ඇතුළේ බොහෝ දෙනා එවැනි චරිත හාස්යයටයි ලක් කරනු ලබන්නේ. එහෙත් මේ නිර්මාණය මඟින් ඒ අදහස වෙනත් පැත්තකට අරගෙන යනවා. ඔබගේ රඟපෑමත් ඒ සඳහා යම් රුකුලක් ගෙනෙනවා.
“මේ සමාජය ඇතුළේදිත් කළුගේ ස්වභාවය ඒක එයාගේ විදිය කියන කාරණය වගේ ම එයාව විහිළුවට ලක් නොවිය යුතුයි කියන කාරණය අනෙක් අය භාර ගත්තොත්, පිළි ගත්තොත් එතකොටයි ඒ චරිතය පිළිගත්තා වෙන්නේ. එතකොටයි කළුගේ චරිතය මාර වෙන්නේ. එහෙම නැතිව කළුගේ චරිතය මම මාරෙටම කරනවා කියන කාරණයත් සමඟ නොවෙයි. ඒ චරිතය ගොඩනැඟීමේදී කළුට අනෙක් රංගන ශිල්පීන්ගේ ලැබෙන සහයෝගයත් මෙහිදි බොහොම වැදගත්. මොක ද ඔවුන් අධ්යක්ෂවරයාගේ අදහස පන්නලා ගිහින් කළුට පොඩි හිනාවක්වත් දාන්නේ නැහැ. එහෙත් ටෙලි නාට්‍යයේදි ඒ වගේ අවස්ථා දෙකක් තියෙනවා. ඒ වෙලාවේ කළු ඔවුන්ට ගහනවා. ඒවා අධ්යක්ෂවරයා බොහොම කල්පනාවෙන් කළ දේවල්. ඒ නිසා කළුගේ චරිතයට බරක් එකතු කරන්නේ අධ්යක්ෂවරයාගේ සියුම් එකතු කිරීම්. ඒ නිසා මේ විදියට දක්ෂ නළු නිළි පිරිසක් හා අනුශාංගික අංග ඉතා හොඳීන් හා වගකීමෙන් කරන නිර්මාණයක් ඇතුළේදි චරිත නිරූපණ සාර්ථක වන එක බොහොම සරලයි. ඒ නිසා කළුගේ චරිතය නිරූපණය කිරීමේදී මට රංගන ශිල්පියකු විදියට අභියෝගයක්වත්, වෙනස්කමක්වත් දැනුණේ නැහැ. ඒ වගේ ම එවැනි පරිසරයක රංගන ශිල්පියකුට ඕනෑම චරිතයක් නිර්මාණය කරනවා කියන එක ලොකු අපහසු වැඩක් කියලත් මා හිතන්නේ නැහැ. ඒ කොහොම වුණත් අපේ රටේ කලාව කරන එක පහසු වැඩක් නොවෙයි. එහෙත් නිර්මාණශීලී මිනිසුන් ගොන්නක් එකට එකතු වන තැනදි ඒ තියෙන අභියෝග කඩාගෙන ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේ ම ඒ අපහසු වැඩේ දිනන්න තියෙන එක් මාර්ගයක් වෙන්නේ නිර්මාණශීලී මිනිසුන්ගේ එකතුව හා හරියට ඒ දේවල් ගොනුකර ගැනීමයි. ‘කොඩි ගහ යට’ එහෙම වැඩක්. ඒ නිසා කළු මා විසින් නිර්මාණය කරගත්තක් නොවෙයි. අනෙක් අයගේ සහයෝගයත් එක්ක නිර්මාණය වූවක්. ඒ නිසා කළුට ලැබෙන ගෞරවය කණ්ඩායමේ අනෙක් අයටත් හිමි විය යුතුයි.”
කළු වැනි චරිත තවත් බොහෝ නිර්මාණවල තිබුණ බව අපි දුටුවා. ඒත් ඒ චරිත අතුරින් කළුගේ චරිතය වෙනස් වෙනවා.
“කලින් සමරිසි පුද්ගලයන් ව සීරියස් ගත්තේ නැති එකක් මේ සමාජයේ තිබුණා. ඒ නිසා මේ චරිතය මඟින් වෙනස් විදියට හිතන්න පුළුවන් කතිකාවක් සමාජය ඇතුළේ ඇති වෙනවා නම් හොඳයි. කලින් නිර්මාණවලදි එහෙම නොවුණේ සමාජයේ එහෙම කතිකාවක් ඇති වුණේ නැති නිසයි. ඒ නිසා ඔවුන්ව සමාජයේ වෙසෙන්නන් දැක්කේ විහිළුවක් විදියටයි. පසුගිය කාලයේ භූමි හරේන්ද්‍රන් වගේ චරිත පෙරමුණට ඇවිත් ඔවුන්ගේ අනන්‍යතාව පිළිබඳ කතා කළා. ඒ වගේ ම ඉදිරි පෙළේ පෙරමුණ අරගෙන ජාතික තත්ත්වලදි පවා වැඩ කරන තත්ත්වයක් ආවා. ඒ කතිකාවතත් එක්කම වගෙයි ‘කොඩි ගහ යට’ බිහි වන්නේ. ‘කොඩි ගහ යට’ ජගත් ඒ සංවාදය ගේනවා. ඒ බොහොම සාමාන්‍ය විදියට. ඒ වගේ ම කලින් නිර්මාණවල චරිත රඟපෑව නළුවන් රඟපෑවේ අධ්යක්ෂවරයා හෝ රචකයකු ලිව්ව දෙයක්. එහෙම නම් විශේෂයෙන්ම එවැනි චරිත සමාජයේ හස්‍යයට ලක් වීම පිළිබඳ වගකිව යුත්තේ රචකයන් විසින්. එහෙම නැතිව නළුවා නොවෙයි. මේ නිර්මාණයේදි ජගත් කියන දෙයයි මා කරන්නේ. සෑම නිර්මාණයකදිම අධ්යක්ෂවරයාට යටත්වයි නළුවා වැඩ කරන්නේ. එහෙම නැතිව නළුවා ගෙදර ඉඳන් ලියාගෙන එන ඒවා නොවෙයි නළුවා පවසන්නේ. කරන්නේ.”
මෙවැනි ප්‍රතිචාරත් එක්ක නලින් ලුසේනා මේ දවස්වල කාලය ගත කරනවිට ඔහුගේ ඉදිරි කටයුතු පෙළ ගැසී තිබෙන්නේ කෙලෙසක ද යන්නත් විමසුව විටෙක දුන්නේ මෙවැනි පිළිතුරක්.
“මේ දවස්වල මම නළුවකුට අමතරව පිටපත් රචකයකු විදියටත් වැඩ කරගෙන යනවා. මම ලිව්ව ගොඩක් පිටපත් නැහැ. එහෙත් මා වගේ ම ශ්‍යාම් ප්‍රනාන්දුගේ එකතුවෙන් චිත්‍රපටයක තිරපිටපතක් ලියලා තියෙනවා. මේ වෙද්දි ඒ නිර්මාණය සිනමාවට ගෙනෙන්න අපට වැඩ කරන්න පහසු නිෂ්පාදකවරයකු සොයමිනුයි ඉන්නේ. ඒ සමඟ ම මා එහි රඟපෑමෙනුත් දායක වෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නේ. එහි අධ්යක්ෂවරයා වන්නේ ශ්‍යාම් අයියා. මේ පිටපත අවුරුදු හතරක් වගේ දීර්ඝ කාලයක් තිස්සේ ලිව්ව පිටපතක්. ඒ වගේ ම මේ දවස්වල රාජිත දිසානායකත් එක්ක වේදිකා නාට්‍යවල වැඩ කරගෙන යනවා. ‘නැතිව බැරි මිනිහෙක්’ වේදිකා නාට්‍යය අගෝස්තු මාසයේ කිහිප විටක්ම වේදිකාගත වීමට නියමිතයි. ඊට අමතරව මගේ ලියන කටයුතුත් එක්කයි මේ දවස්වල කාලය ගත කරන්නේ.”
නලින් ලුසේනාගේ වේදිකාවේ ආගමනයත් එක්ක ඔහු විවිධ පරාස කරා පියමැන්න කෙනෙක්. මුලින් ම ඔහු නළුවකු විදියටත්, පසුව පිටපත් රචකයකු විදියටත්, ඊළඟට අධ්යක්ෂවරයකු විදියටත් වැඩ කළා. නිම්න දෙව්පුර තිරපිටපත ලිව්ව ‘මිස් යූ’ කෙටි චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කළේ ඔහු විසින්. ඒක යූටියුබ් එකේ නරඹන්න ඔබට පුළුවන්.
“වේදිකා මාධ්‍යයේ තව ගොඩක් දේවල් වැඩ කරන්න, ඉගෙන ගන්න තියෙන ගමන්ම මා කැමැත්තෙන් ඉන්නේ සිනමාවට හා ටෙලි නාට්‍යවලට එකතු වීමයි. සිනමාවේ පළමු අත්දැකීම විදියටයි මා කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේ. ඊළඟට දිගු චිත්‍රපටයක් ලියලා තියෙනවා. දීර්ඝ කාලීනව මගේ තියෙන බලාපොරොත්තු වෙන්නේ සිනමාවේ සහ වේදිකාවේ දිගටම වැඩ කිරීමයි. වේදිකාවේ අවුරුදු දාහතක විතර පුහුණුවක් ලැබුව මට එහි බොහෝ අත්දැකීම් තිබුණත්, සිනමාවත් එක්ක තියෙන්නේ බොහොම පුංචි අත්දැකීමක්. ඒ නිසා ඒකත් එක්ක තව බොහෝ දේ ඉගෙන ගන්න ඕන. නියැළෙන්න ඕන. ඒ වෙනුවෙන් ඉදිරි කාලය වැඩ කරනවා. ඊට අමතරව විවිධ කණ්ඩායම්, පාසල්, ආයතන එක්ක නාට්‍ය වැඩමුළු කරනවා. මගේ ජීවිතයේ තවත් දෙයක් වෙන්නේ ඉගැන්වීම. ඒ කලාව, නාට්‍ය, රංගනය ගැන. ඒ නිසා මා රංගනය ම විතරක් කරන කෙනෙකු නොවෙයි. ඒ වගේ ම මේ සියලු කටයුතුත් සමඟ රඟපාන්න ලැබෙන හොඳ නිර්මාණත් එක්ක වගේ ම මට හැකි සෑම වෙලාවක ම මා රඟපාන්නත් බලාගෙන ඉන්නවා.”
ඔහු පැවසුවේ බලාපොරොත්තු රැසක් ම හදවතේ රදවාගෙන. කළොත් කුමන හෝ කාර්යයක් පුළුවන් තරම් හොඳීන් කරන්න වගා බලා ගත් නලින් වැනි තරුණයන් අවශ්‍ය වන්නේ අපේ කලා ක්ෂේත්රයටයි. රංගනය ඇතුළු අනාගතයේ බලාපොරොත්තු තබා ගත හැකි අංශ කිහිපයක ම සුවිශේෂ දක්ෂතා රැසක් රැගත් ඔහුගේ කලා ජීවිතයට සරසවිය අපි සුබ පැතුම් මෙසේ එකතු කරන්නෙමු.
‘නලින් නුඹට සුබ අනාගතයක්....!’