“ග්‍රොටොව්ස්කිගේ රංග කලාව ගැන පීටර් බෲක් කළ සඳහනක් මගේ මතකයට එයි. බොහෝ පර්යේෂණාත්මක නාට්‍යකරුවනට සිය අවශ්‍යතා ඉටුකර ගත නොහැක්කේ බාහිර තත්ත්වයන් ඉතා දැඩිව හරස්ව සිටින බැවිනි. ඔවුනට සිටින්නේ හදිසියේ ළංකර ගත් නළු නිළි පිරිසකි. පුහුණුවීම් සඳහා අවශ්‍ය කාලය ජීවනෝපාය විසින් උදුරාගෙනය. ප්‍රමාණවත් වේදිකා කට්ටල, වෙස් ආලෝක කට්ටල ආදිය නොමැත්තේය. ඔවුන්ගේ පැමිණිල්ලත්, නිදහස් වාක්‍යයත් දරිද්‍රතාවයයි.
ග්‍රොටොව්ස්කි දරිද්‍රතාව පරමාදර්ශයක් කර ගනී. ඔහුගේ නළුවන් සිය ශරීරය හැරුණු විට අන් සියල්ලක්ම කැප කොට ඇත. ඔවුනට මනුෂ්‍ය යන්ත්‍රය සහ අසීමිත කාලය තිබේ. ලෝකයේ පොහොසත්ම රංග කාර්යය තමන්ගේ යැයි ඔවුනට හැඟීම පුදුමයක් නොවේ. මෙවැනි කැපවීමක් ගැන අපට කතා කරන්නට ලැබෙන්නේ කවදාද?”
මා ඉහත දැක්වූයේ සුගතපාල ද සිල්වා “මරාසාද්” නාට්‍ය පරිවර්තනයේ මුද්‍රිත කෘතියට ලියූ දීර්ඝ පෙරවදනින් උධෘත කොට ගත් කොටසකි.
“මරාසාද්” රචනා කළේ පීටර් වයිස් ය. ඔහු එය අධ්‍යක්ෂණය කළේය. පසු කලෙක පීටර් බෲක් ද “මරාසාද්” නිෂ්පාදනයක් කළේය. මෙම පීටර්ලා දෙදෙනාම නූතන රංග කලාවේ පෙරළිකාරයෝ ය. එක් විචාරකයකු පීටර් බෲක්ව හඳුන්වා තිබුණේ නූතන රංග කලාවේ මිනිස් භූමිකම්පාව ලෙසිනි!
90 හැවිරිදි වුවද පීටර් බෲක් තවමත් වේදිකාව අතහැර නැත. වේදිකාවට අද පිවිසෙන කෙනකුට වුව පීටර් බෲක් අතහැරීමට ද නොහැක. ඔහු විසින් රචනාකොට ඇති “The Empty Space” හා “The Open Door” ග්රන්ථ ද්වය නාට්‍යකරණයෙහි යෙදෙන්නවුනට “බයිබලයන්” බඳු ය. (මින් මුල් කෘතිය සෝමපාල මල්ලවආරච්චි විසින් “රඟ මඬලේ හිඩැස සොයා” (2012/ සරසවි) නමින් සිංහලට පරිවර්තනය කරන ලදී.)
පීටර් බෲක් කිසියම් නාට්‍ය ශෛලියක නිර්මාතෘවරයකු නොවේ. එහෙත් ඔහු හැඳින්වෙන්නේ ජීවමාන නාට්‍යකරුවන් අතුරෙන් ශ්‍රේෂ්ඨතමයා ලෙසය. බෲක්ගේ කියුම් සහ සොයා ගැනීම් ලොව පුරා නාට්‍යකරුවන් හා රංගකලා ශිෂ්‍යයන් අතර ජනප්‍රියය.
ලැට්වියාවේ සිට එංගලන්තයට පැමිණි රුසියානු - යුදෙව් යුවළකගේ දෙවෙනි පුතු වූ පීටර්, 1943 දී “දොස්තර ෆවුස්වස්” නමැති තම මුල්ම වේදිකා නාට්‍ය වේදිකාගත කරයි. චිත්‍රපට අධ්‍යක්ෂණයෙහිද යෙදුණද ඔහු සිය ප්‍රථම ප්‍රේමය වූ වේදිකාව අත නොහැරියේය. සැබැවින් ම ඔහු විවාහ වූයේ ද වේදිකා නිළියක වූ නටාෂා පැරී සමඟය. ඇය 2015 වසරේදී මිය ගියාය.
පීටර් බෲක්ගේ වැදගත්ම නිර්මාණ ලෙස සැලකෙන්නේ හැම්ලට් (1955), කින්ග් ලියර් (1971), මිඩ් සමර් නයිට්ස් ඩ්‍රීම් (1970), මහා භාරත (1989), මැජික් ෆ්ලූට් (2011) හා මරාසාද් (1964) ය. ලෝකයේ විශිෂ්ටතම රංගන ශිල්පීන් සමඟ වැඩ කිරීමේ භාග්‍යය ද ඔහු ලැබුවේය. ලෝරන්ස් ඔලිවියර්, ජෝන් ගිල්ගුඩ්, පෝල් ස්කොෆීල්ඩ්, ඒඩ්‍රියන් ලෙස්ටර් හා බෙන් කිංස්ලි ආදීහු ඒ අතර වෙති.
අධ්යක්ෂවරයාගේ කාර්යය සරලව කියනවා නම් කුමක්ද සහ කෙසේද (Why and How) යනුවෙන් සංක්ෂිප්ත කළ හැකිය යනු බෲක්ගේ ප්‍රකට කියුමකි. “වේදිකාව මත ඕනෑම දෙයක් සිදුවිය හැකිය. එසේ ම, කිසියම් දෙයක් සිදුවිය යුතුමය” යනු ඔහුගේ තවත් කියමනකි.
බෲක්ගේ ප්‍රධාන නාට්‍ය ගුරුවරයා වූයේ කුරිරු රංග න්‍යාය නිර්මාණය කළ අන්තෝනියෝ ආටෝ වුවත් බර්ටෝල් බ්‍රෙෂ්ට්, මේයර්හෝල්ඩ්, ජර්සි ග්‍රොටොව්ස්කි ආදීන්ගේ ද ආභාෂය ලැබුවේය. “සැලෝවි” නාට්‍යයේදී වේදිකා පසුතල නිර්මාණය සඳහා බෲක් සමඟ වැඩ කළේ ලෝක පූජිත චිත්‍ර ශිල්පි සැල්වදෝර් ඩාලි ය.
“එම්ටි ස්පේස්” (ශුන්‍ය ස්ථානය) කෘතිය අරඹමින් බෲක් මෙසේ කියයි.
“කිසිවකු හෝ කිසිවක් නොමැති ශුන්‍ය ස්ථානයක් දෙසට අත දිගු කොට, ඒ තිබෙන්නේ හිස් වේදිකාවකැයි කීමට මට පුළුවන. එහි කිසිවකු පිය නඟන්නට පටන් ගනී. තවත් කිසිවකු එදෙස බලා සිටී. රංග භූමියක් නිර්මාණය වීමට අවශ්‍ය සියල්ල එතැන දැන් ඇත.”
බෲක්, වේදිකාව කොටස් සතරකට වෙන්කොට විස්තර කරයි. පූජනීය වේදිකාව (Holy Theatre), අජීවී වේදිකාව (Deadly Theatre), ගොරහැඩි වේදිකාව (The Rough Theatre) හා ක්ෂණික වේදිකාව (The Immediate Theatre) යනු ඒ සතරය. නූතන රංගය හදාරන්නකුට බෲක්ගේ මෙම ප්රභේදයන් වටහා ගැනීම වැදගත් වනු ඇත.
පීටර් බෲක්ගේ අදහස් තුළ න්‍යායන් ගැබ් වී නැත. ඒ වෙනුවට ඇත්තේ ඔහුගේ නිරීක්ෂණයන්ය. ඒවා ප්‍රායෝගික අගයකින් යුක්තය. බෲක්ගේ ඇතැම් මත වටහා ගත යුත්තේ නළු - නිළි කණ්ඩායම් විසින් සාමුහිකව සාකච්ඡා කිරීමෙනැයි මට සිතේ. රංගනය පිළිබඳව ඔහු මෙසේ කියයි.
“රංගනය යනු ජීවිතය පුරා ව්‍යාප්ත වූ කාර්යයකි. ග්‍රොටොව්ස්කි නිරතුරුව ප්‍රකාශ කරන අන්දමට නළුවා හැමවිටම චරිතාංගයට තමා විනිවිද යාමට ඉඩ හරී. ආරම්භයේදී ඔහු ඇත්ත වශයෙන්ම ඊට බාධාවක් වෙයි. එහෙත් නිරන්තරයෙන් සිදුකරන්නා වූ පුහුණුවීම්වලින් ඔහු ඒ සඳහා අවශ්‍ය වන කායික මානසික ක්‍රමවේද අනුසාරයෙන් තාක්ෂණමය නිපුණත්වය සපුරා ගනී.
රංගන ක්‍රියාවලිය යනු දැවැන්ත කැපවීමකි. බොහෝ දෙනා සඟවා ගැනීමට යත්න දරන්නා වූ දෑ හෙළිකිරීමේ කැපවීමකි, ඒ. නළුවා වෙතින් ප්‍රේක්ෂකයාට ප්රදානය කෙරෙන ත්‍යාගය වෙනුයේ මෙම කැපකිරීමයි. මෙහිදී නළුවාත්, ප්රේක්ෂකයාත් අතර ඇතිවන්නා වූ සම්බන්ධතාව පූජකයාත්, සැදැහැති ශ්රාවකයාත් අතර හටගන්නා වූ සම්බන්ධතාව හා සමානය.” (-රඟමඬලේ හිඩැස සොයා: පිටු 95/96)
පීටර් බෲක් පිළිබඳව කෙරෙන කෙටි සටහනකදී වුව ඔහුගේ “Orghast” හා “මහා භාරතය” ගැන නොකියා නොහැක්කේය. ටෙඩ් හියුස් සමඟ එක්ව බෲක් විසින් රචනා කරන ලද “ඕර්ගස්ට්” නාටකයට මූලාශ්‍රය වූයේ ප්‍රොමිතියස් මිථ්‍යා කථාවය. මෙම නාටකය 1971 දී ඉරානයේ පුරාණ නටබුන් අතරම රංගගත කිරීම විශේෂ සිද්ධියකි. එහි පළමු කොටස සැඳෑ සමයේදීත්, දෙවෙනි කොටස උදෑසනත්, ස්ථාන දෙකකදී රඟ දැක්විණි. ජපානය, ඉරානය, ස්පාඤ්ඤය, ප්‍රංශය, එංගලන්තය, කැමරූන්, පෘතුගාල, මාලි හා එක්සත් ජනපදය යන රටවල් නවයකින් තෝරාගත් නළු නිළි කණ්ඩායමක් එහි රඟපෑහ.
සුප්‍රකට භාරතීය වීර කාව්‍යයක් වූ “මහා භාරතය” වේදිකා ගතකිරීම සඳහා වසර දහයක් මුළුල්ලේ තමන් පර්යේෂණ කළ බව බෲක් සඳහන් කොට ඇත.
මුලින්ම ප්‍රංශ බසින් ද, ඉන්පසුව ඉංග්‍රීසියෙන් ද නිෂ්පාදනය වූ මහා භාරත නාට්‍යය, පැය නවයක් දිගු විය. විවේක කාලයන් ද සමඟ පැය එකොළසකි. වසර හතරක් පුරා ලෝකයේ විවිධ රටවල සංචාරය කෙරෙමින් රඟ දැක්වුණි. පසුව මෙය පැය හයක ටෙලිනාටක මාලාවක් ලෙසින් ද පැය තුනක චිත්‍රපටයක් ලෙසින් ද ඉදිරිපත් කෙරුණි. මහා භාරතයෙහි ද ජාත්‍යන්තර නළු නිළි කණ්ඩායමක් රඟපෑහ.
කොටස් තුනකින් යුත් මෙම මහා දෘෂ්‍ය කාව්‍යය රචනා කිරීමට (ෂෝන් ක්ලෝඩ් කැරියර් සමඟ) පීටර් බෲක්ට වසර අටක් ගතවිණි.
රාක්ක දෙක තුනක් පුරවාලිය හැකි තරම් සම්මානයන් ලබා ඇති නමුදු පීටර් බෲක්ට දිය හැකි හොඳම සම්මානය නාට්‍යකරුවකු වශයෙන් ඔහු ලබා ඇති ජාත්‍යන්තර පිළිගැනීම සහ කීර්තියයි. ඔහුගේ ජීවිතයම නාට්‍යයකි. ජංගම වේදිකාවකි. මහා භාරතයකි.
කපිල කුමාර කාලිංග