මධුලෝලත්වය යනු යනු බේබදුකම පමණක් නොවන බව සැබෑවකි. එහෙත් එය ඉක්මවා ගිය පසු තම ශරීරය තමන්ට ම පාලනය කළ නොහැකි වෙයි. පෙර කළ එක් දිනක් මධු ලෝලත්වයේ අගතියට ගිය සයිමන් නවගත්තේගම කටුබැද්ද හන්දියේ බස් නැවතුම් පළක බිම ඉඳ ගත්තේ ය.
මාතර ප්‍රදේශයේ සංචාරයක නිරත ව සිටි එවකට ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතා කොළඹ දක්වා ගමන් කරමින් සිටියේ ද ඒ අවස්ථාවේ දී ම ය. ප්‍රේමදාස මහතාගේ නෙත පාරේ බිම වාඩිවී සිටින සයිමන් හා ගැටිණි. ප්‍රේමදාස මහතා ගමන්ගත් රිය පෙළ ම නතර විය. ජනාධිපති ප්‍රේමදාස රියෙන් බැස නවගත්තේගම ළඟට ගියේ ය. පිටට තට්ටු කළේ ය. නවගත්තේගමගේ වෙරි සිඳිණි. හෙට උදේට හමුවන ලෙස ප්‍රේමදාසයන් නවගත්තේගමට කිව්වේ ය. එදා සයිමන් ගෙදර ගියේ ජනාධිපති රිය පෙරහැරේ ගිය රියකිනි.
එලෙස ම පසුදින ඔහු ජනාධිපති ප්‍රේමදාස හමුවිය. වටිනා මිනිසෙක් විනාශවීම අරබයා එදා ඇති සැටියෙන් ජනාධිපතිවරයා නවගත්තේගමට බැන්නේ ය.
ජන උදාවේ නායකයකු වශයෙන් පත්වීම දෙමින් ප්‍රේමදාස ජනාධිපතිතුමා නිහඬ විය. මේ සිදුවීම නොවුණා නම් සයිමන් නවගත්තේගම මිය යන්නේ ඒ කාලයේ දී ම ය. එහෙත් නව පත්වීම ගත්තා කියා සයිමන් වෙනස් නො වී ය. ඔහු මධු ලෝලත්වයට තිත තැබුවේ නැත. එලෙස ම සමාජ සම්මත බහුබූතවලට විරුද්ධ ව කැරළි ගැසීම ද ඔහු නතර නොකළේ ය.
අසූව දශකයේ තරුණ පිරිසට සයිමන් සමඟ සමීප ව කථාබහ කිරීමට දොළ දුකක් උපන්නේ ය. ඔවුන් මධුවිතට අවශ්‍ය දේ පිළියෙල කර ගත්තේ සයිමන් සමඟ බොහෝ දේ කථාබහ කිරීමට ය. මධුපානෝත්සවයට අවැසි සියලු දේ ඔවුන් පිළියෙල කළත් මධු බීමට වීදුරු ගැන සැලකිලිමත් වී නොතිබිණ.
ගල්කිස්ස මුහුදු වෙරළට යාමට පෙර ඔවුන් ආදරණීය නවගත්තේගමයන්ට මේ ගැන පැවසී ය. ගෙදර කැබිනෙට්ටුව ඇර වීදුරු කීපයක් ඔහු මේ තරුණයන්ට දුන්නේ ය.
එදා ගල්කිස්ස මුහුදු වෙරළේ සාජ්ජය ජයට ම සිදු විය. සරමකින් හා කමිසයකින් අති සාමාන්‍ය විදිහට එහි ගිය සයිමන් නවගත්තේගම දර්ශනය, ජීවිතය ගැන බොහෝ දේ කථා කළේ ය. රාත්‍රිය උදාවිය. වෑන් රථයේ රියදුරු ඔවුන් දමා ගියේ ය. ඒත් සයිමන් තව ම ඔවුන් සමඟ ය. අවසාන මොහොත දක්වා ම සයිමන් තරුණයන් සමඟ ම සිටියේ ය. දර්ශනය,මාක්ස්වාදය, නූතනවාදය ගැන දොඩමළු වූ ඔහු සියල්ල අවසානයේ තම නිවසින් ගෙන ආ වීදුරු ගැන ප්‍රශ්න කළේ ය. ඒ ඔහුගේ හැටි ය.
සයිමන් නවගත්තේගම බෙහෙවින් දුම්පානය කරයි. ඔහු ගන්නේ සිගරට් පැකට්ටුක් නොව බණ්ඩලයකි. එහෙත් පපුවට උරන්නේ නැති බව ඔහු පවසයි. එය සැබෑවකි. නාට්‍ය පුහුණුවීම්වලදී ඔහු සිගරැට්ටුවක් දල්වයි. හිටිවන ම බලාගත් අතේ ඔහු නළු නිළියන්ගේ පුහුණුවීම් අධ්‍යයනය කරයි. සිගරැට්ටුව ඉබේ ම අළු බවට පත් වෙයි. ඉක්බිති ව ඔහු තවත් සිගරැට්ටුවක් දල්වා ගනී.
නාට්‍ය පුහුණුවීම්වලදී ඔහු නළුනිළියන්ට මෙසේ කළ යුතු යැයි කිසිදු අණක් දී නැත. පිටපත ඇසුරින් චරිතය තේරුම් ගැනීමට ඔහු නළු නිළියන්ට උදව් කළේ ය.
පුහුණුවීම් අවස්ථාවලදී පිටතින් කිසිවකු එනවාට ඔහු දැඩි සේ විරුද්ධ විය. කොටින් ම එවැනි අවස්ථාවල පැමිණි මාධ්‍යවේදීන් ව පවා ඔහු එළවා දැමූ අවස්ථා තිබේ.
නාට්‍ය පුහුණුවීම් ඔහු නියමිත වෙලාවට ම පටන්ගත් අතර පරක්කු වී එන සැවොම තරාතිරම නොබලා එළවා දැම්මේ ය. එලෙස ම ප්රේක්ෂකයන්ගෙන් සිය නාට්‍යයට එන සියලු ප්‍රසංසා ඔහු පාත්‍රයන්ට ම ලබා දුන්නේ ය. අවසාන කාලයේදී ඔහු ජීවත් වූවේ මහල් නිවාසයේ උඩ ම තට්ටුවක ය. රෑ බෝවී සොයිසා පුර නිවසට එන විට ඔහුට බොහෝ විට තම නිවස අමතක වෙයි. ඔහු තට්ටු කරන්නේ වෙන නිවසකට ය. මෙය ඒ නිවාසවාසීන්ට හොඳට පුරුදු ය. ඔවුන් මහ රාත්‍රියේ වුවත් අංකල් මෙහෙ නෙවි උඩ ගෙදර යැයි කියන්නේ ඒ නිසා ය.
එක් දිනක් මාලිගාවත්තේ ජන උදා කාර්යාලයට වී ඔහු නවකථාවක් ලියන්නට විය. ලියන්නට ගත් විට ඔහුට අන් සියල්ල අමතක ය. එදින ද එසේ ය. පාන්දර වෙන තුරු ම ඔහු ලිව්වේය. ඔහුට බඩගිනි විය. සරම පිටින් ම මාලිගාවත්ත හන්දියට ගියේ ය. එහෙත් මිනිසුන් නැත. කඩ සියල්ල වසා දමා තිබේ. මුස්ලිම් කොල්ලකු පමණක් ඔහුට හමු විය.
”මහත්තයා අද අවුරුදු දැන් නොනගතේ”
සයිමන් ඔළුවට අත ගසා ගත්තේ ය. ලියන්නට ගිය විට ඔහුට කිසිවක් මතක නැත. එහෙත් එදා උදෑසන ඔහු හමුවීමට අවුරුදු කෑම පිඟානක් අතැතිව පැමිණියේ හිත හොඳ තරුණියක් ය.
සිංහල ජාතියේ වංශ කථාව සංසාරණ්‍ය සහ සයිමන් නවගත්තේගම කෘතිය ලියන කේ.කේ.සමන් කුමාර පවසන්නේ ශාස්ත්රාලීය හාන්සි පුටු කාටිසියානු විචාරයකට හෝ අධ්‍යයනයකට සයිමන් ගේ නිර්මාණ හසුකොට ගත නොහැකි බවයි. ඔහුගේ සාමාන්‍ය ජීවිතය ගැනත් කිව යුත්තේ එය ම ය.
ජීව දත්ත
නම :- සයිමන් නවගත්තේගම
මුල් නම :- හීන් මහත්තයා
උපන් දිනය :- 1940 සැප්තැම්බර් 15
උපන්ගම :- අනුරාධපුරයේ කුමාරවන්නි හත්පත්තුවේ නවගත්තේගම
මවගේ නම :- පුංචි
පියාගේ නම :- ආර්. නවගත්තේගම
පියාගේ රැකියාව :- ගොවිතැන
පාසල් අධ්‍යාපනය :-
- නවගත්තේගම මිශ්‍ර පාසල
- මහව මහා විද්‍යාලය
- අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය
උසස් අධ්‍යාපනය :-
පේරාදෙණි විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර පසුව විද්‍යෝදය (ශ්‍රී ජයවර්ධන පුර) විශ්ව විද්‍යාලයෙන් බී.ඒ. (ගෞරව) උපාධිය ලැබුවේ ය.
වෘත්තීය ජීවිතය :-
* ඇත්ත කර්තෘ මණ්ඩලයේ සාමාජිකයෙකි.
* ආනමඩුව අතුරු මැතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස මල ලකුණ යටතේ තරගවැද තිබේ.
* ජන උදා කාර්යාලයේ නිලධරයකු ලෙස සේවය කළේ ය.
විවාහය :
බිරිඳගේ නම :- මල්ලිකා කුලරත්න නවගත්තේගම
දරුවන් :-
සනී නවගත්තේගම (පුතා)
කුමාර කාශ්‍යප නවගත්තේගම (පුතා)
සුරනිමල නවගත්තේගම (පුතා)
අයේෂා සුබෝධනී (දුව)
ලිපිනය :-
බී 3/12
ද සොයිසාපුර මහල් නිවාස
සොයිසාපුර
මොරටුව
රඟපෑ චිත්‍රපට :-
සෙවණැලි ඇද මිනිස්සු (1980)
තුන්වැනි යාමය (1983)
ඩොරින්ගේ සයනය (1985)
බව දුක (1997)
බවකර්ම (1997)
සළුපට අහසට (1999)
කිනිහිරියා මල් (2001)
බඹර සැණකෙළි (2004)
ප්‍රේමවන්තයෝ (2004)
තිර රචනයෙන් දායක වූ චිත්‍රපට :-
සුද්දිලාගේ කතාව (1985)
සිරි මැදුර (1985)
සෙයිලම (1995)
මුලින් ම රඟපෑ වේදිකා නාට්‍යය :-
සහන් එලිය (1964)
නාට්‍ය පුහුණුව :-
ඔග්සොම්බල්
රොස්ටොක්
ජනතා නාට්‍යාගාරය
බර්ලින්
ජර්මනිය
විශේෂ :-
එක දිගට මිය ගිය දරුවන් හය දෙනෙකුට පසුව උපන් හත්වන දරුවා සයිමන් නවගත්තේගමය.
විපත :-
2005 ඔක්තෝබර් 09
කෙටිකතා :-
මගේ මුල් පොත හෙවත් ඔහුගේ කතාව
සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා
බාවනාව -
1991 හොඳම කෙටි කතා රාජ්‍ය සම්මාන
ස්වාධීන සාහිත්‍ය සම්මාන
සාංකාව - ස්වාධීන සාහිත්‍ය සම්මාන
නවකතා
සුද්දිලාගේ කතාව
සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා
දඩයක්කාරයාගේ කතාව
සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා
සාපේක්ෂනී
ක්ෂීර සාගරය කැළඹිණ
සංසාරාරණ්‍යය අසබඩ –
1998 හොඳම නවකතාව -
රාජ්‍ය සම්මාන සහ ස්වාධීන සාහිත්‍ය සම්මාන
ස්වර්ණ වන්නියේ වල්ලි අම්මලා (නොනිමි නවකතාව - ලක්බිම පුවත්පත)
නාට්‍ය
ගගන සරන කුරුල්ලනේ
පුස්ලෝඩං
සුදු සහ කළු හෙවත් වර්ණ
ගංගාවක්, සපත්තු කබලක් සහ මරණයක්
ස්ත්‍රී
පණ්ඩුකාභය
සුබ සහ යස
ලෝකෝත්ර
සුර ලොවට යට
චිත්‍රපට තිරනාටක
සුද්දිලාගේ කතාව
සිරිමැදුර
සාගර ජලය මදි හැඩුවා ඔබ සන්දා
සෙයිලම – 1995 හොඳම තිර රචන
සරසවි සිනමා සම්මාන
ගුවන්විදුලි නාට්‍ය
වානරයා
විචාර
සාහිත්‍යය, සමාජවාදය සහ කලා විචාරය
පරිවර්තන
බුද්ධිය, ප්‍රඥාව හා ශූන්‍යත්වය
සංවාදය, සංවිධානය සහ විප්ලවය
ළමා කතා
හිමාල කන්ද තරණය කළ
අර්ජුන කුමාරයාගේ කතන්දරේ
වෙනත් ග්රන්ථ
ආචාර්ය බ්‍රයන් ද ක්‍රෙට්සර් ඔහු, සහ ඔහුගේ අදහස්
සටහන : ජගත් මාරසිංහ