හත්දින්නත් තරු අතරින් ගිළිහුණු තරුව “අශෝක හේවාවිතාරණ”
ස්වර්ණම සිනමාවකාශයේ එක් වෙළුමක නිමාව දැනට වසරකට ගණනකට ඉහතදී ඇරඹීය. ප්‍රතිභාන්විත භාවිතයෙන් සිනමාව මත රන් දද නැංවූ ශිල්ප ශිල්පිණියන් රැසක්ම අපෙන් සමුගැනීම එකී නිමාවට හේතුසාධක වේ. මේ සටහන ද එලෙසින් අප අතරින් වියෝ වූ නමුත් අප මතකයේ සඳා රැඳිය යුතු රංගන ශිල්පියෙකු පිළිබඳවය.
ඔහු නමින් අශෝක හේවාවිතාරණ විය. වර්ෂයෙන් 1941 මැයි 06 වෙනිදා ජන්ම ලාභය ලද අශෝකයන් කොළඹ නාලන්දා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ප්රමුඛ ශිෂ්‍යයෙකි. ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම පිහිනුමට ද දක්ෂ වූ අශෝක පාසැලේදී ප්‍රසිද්ධ චරිතයක් වූවේය. වර්ෂ 1968 නොවැම්බර් 22 වැන්දා නාලනී රාජපක්ෂ සමගින් විවාහපත් වූ හෙතෙම සංජය සහ නිශානි යන අයගේ ආදරණීය පියාණෝය. අශෝකගේ සිනමා භාවිතාව තුළ ඔහු වැඩි වශයෙන් මුදුන්පත් නොවුණත් කිසිසේත් ඔහු අපේ අවධානයට පාත්‍ර නොවුණේයැයි බැහැර කළ නොහැකි චරිතයකි. කලක් නිව් ඉම්පීරියල් සිනමා ශාලාවේ කලමණාකරුව සේවය කළ අශෝක වෘත්තිමය වශයෙන් සිනමාව මත රැඳෙන්නට අතෘප්තිමත් විය.
අශෝක සිනමා රංගනයට අත්පොත් තැබුවේ 1968 දී තිරගත වීම ඇරඹූ විමලනාත් දිසානායකයන්ගේ "මාතෘ භූමි" චිත්‍රපටය සඳහා නිරූපණය කළ උතුරු හමුදාවේ වෙරළා රක්ෂණ කඳවුරක් භාරව කටයුතු කළ අශෝක් නම් හමුදා කපිතාන්වරයෙකුගේ චරිතයකිනි. එනමුත් "මාතෘ භූමිය" චිත්‍රපටය තිරගත වීමට ප්‍රමාද වීම නිසා මුල්වරට අශෝකයන් අපට රිදී තිරයේ දැකගන්නට ලැබුණේ 1967 තිරගත වීම ඇරඹි එච්. ඊ. ජයසිංහගේ "ඉවසන දනා" චිත්‍රපටය සඳහා කළ රංගනයෙනි. එම චිත්‍රපටය සඳහා ක්ලැරිස් ද සිල්වා රංගනනය කළ ප්‍රේමා නැමැති ස්ත්‍රිය හා සම්බන්ධතාවක් ඇතිකරගන්නා අශෝක රංගනය කළ චරිතය තුළින් ඔහු පෙම්වතෙකු සහ දුෂ්ටයෙකු ලෙස ද්විත්ව පරාසයක ස්වකීය රංග හැකියාව විහිදුවාලීය. අශෝක යනු තමාටම අනන්‍ය රංග ශෛලියක් ප්‍රසිද්ධ කළ අයෙකි. හැත්තෑවේ දශකාරම්භයේදී ම තිරගත වීම ඇරඹි ශාන්ති අබේසේකරයන්ගේ "සිදාදියෙන් හයක්" චිත්‍රපටයේ ප්‍රධාන චරිත හය රංගනය කළේ ශාන්ති අබේසේකර, සතිශ්චන්ද්‍ර එදිරිසිංහ, ජෝ ලිවේරා, ක්ලෙමන්ට් විජේසිංහ, රැල්ෆ් විජේසේකර සහ අශෝක හේවාවිතාරණය. එම චිත්‍රපටය තුළින් ප්‍රමාණික ප්‍රේක්ෂකාගාරයක් ස්වකීය වත්කම් අතර ස්ථානගත කරගත් ඔහු ඉන්මතු වඩාත් අවධානයට පාත්‍ර වූයේ පතිරාජ එල්. එස්. දයානන්ද විසින් සිනමාවට නැගූ "හත්දින්නත් තරු" චිත්‍රපටය හරහාය. එහි නිළි රැජිණ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා සමගින් ඇගේ පෙම්වතා ලෙස චරිත මැවූ අශෝක යනු ඉතාම ප්‍රතිපත්තිගරුක, විනයවත් මෙන්ම ධාර්මික පෞරුෂයක් ප්‍රදර්ශනය කළ අයෙකු බව ඔහු සේවිත ශිල්පීය ප්‍රජාවගේ අදහසයි. පතිරාජ එල්. එස්. ගේම "ගංගා", සතිශ්චන්ද්‍ර එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ "මාතර ආච්චි", විමලදාස පෙරේරාගේ "සමනළ කුමරියෝ", මෙරිල් ඇල්බට්ගේ "දාහකින් එකෙක්" සහ සිරි කුලරත්නගේ "වස්තුව" අශෝක හේවාවිතාරණ සිනමාක්යානයේ මංසටහන් ය. වර්ෂයෙන් 1975 තිරගත වීම ආරම්භ වූ "කෝකිලයෝ" චිත්‍රපටය අශෝක නැමැති සිනමා නළුවා ප්‍රේක්ෂකාගාරය මත මනාව නිරූපණය කළ සිනමාවස්ථාවකි. තවත් සුවිශේෂී කරුණක් වනුයේ අශෝකගේ සොහොයුරන් දෙදෙනෙකු ද මේ චිත්‍රපටය හරහා සිනමාවතීර්ණ වූහ. එක් සොහොයුරෙකු වූ තිස්ස හේවාවිතාරණ අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ සත්සර සංකලන අධීක්ෂණය අනෙක් සොහොයුරා වූ සුමේධ හේවාවිතාරණයන් අතින් සිදුවීම සිනමාව මත ද මිහිරි මතකයන් බැව් නොරහසකි. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රංගනය කළ අතර ඔහුගේ මිත්‍ර සමාගමේ ප්‍රබල නියෝජනයක් වූ ටෝනි රණසිංහයන් ඇතුළු පිරිසක් අවශේෂ චරිත රංගනය කළහ. "සිකුරු දසාව", "රිදී තැල්ල", "කිවුලෙගෙදර මොහොට්ටාල", "පෙතිගෝමර", "තුත්තිරි මල්", "සිංහබාහු", "ජෝඩු වළලු" වැනි චිත්‍රපට හතළිහකට අධික සංඛ්‍යාවක නේකවිධ රංගනයන් ස්ථාපිත කළ ඔහු අවසන් වරට සිනමාව මත පෙනීසිටියේ මෑතකදී තිරගත වූ උදයකාන්ත වර්ණසූරියගේ "මධුර චාරිකා" චිත්‍රපටයේ උත්සව අවස්ථාවක ආරාධිතව පැමිණෙන අමාත්‍යවරයෙකුගේ ගරු රංගනයකිනි. නිළි රැජින මාලනියගේ පටන් ක්ලැරිස් ද සිල්වා, චන්ද්‍රකලා, ශිරානි කුරුකුලසුරිය, කාන්ති ලංකා ඇතුළු රංගනශිල්පිණියන්ගේ තිර පෙම්වතා ලෙස ඔහු සිනමා විජිතයේ අමරණීය චරිතයකි. සංචාරක මාර්ග උපදේශකයෙකු ලෙස ස්වකීය වෘත්තිමය නිපුණත්වයෙන් මනාව වර්ධනය වූ අශෝකගේ මනා ඉංග්‍රීසි බස හැසිරවීම මත ඔහුට "මදර් තෙරේසා" නැමැති අන්තර්ජාතික චිත්‍රපටයේ ද රංගන වරම් හිමිවිය. ලෝක පූජිත නළු චාලි චැප්ලින්ගේ දුවණිය ජෙරල්ඩීන් චැප්ලීන් එම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව වූ දයා දූතිකා මදර් තෙරේසා ලෙස චරිත මවන කල්හි අශෝක එහි වින්ශ්චයකරුවෙකු ලෙස රංගනය කළේය. "යශෝරාවය" ටෙලිනාට්‍ය තුළින් පුංචිතිරය තුළද පෙනීසිටි අශෝකයන් හඬ නැති වැඩ ඇති නළුවෙකි. සිනමාව හා සිනමා ශිල්පීන් පිළිබඳ ඔහු සතු වූ හැඟීම අතිශ්‍ය අව්‍යාජ වූ අතර අද්‍යතන සලරූකාරිකායන්ට හෝ මාධ්‍යයන්ට පවා මෙවැනි නිහඬ ශිල්පීන් අමතක වීම ඛේදෝත්පත්තිකය. 2012 වර්ෂයේ දී කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන් සහ 2014 වසරේ සුවඳ පද්ම රජත සම්මානයෙන් ද මෙතුමන් ස්වකීය නිර්මාණ භාවිතාවට සම්මානිත වූවේය.
කෙසේ නමුදු පසුගිය දිනකදී දිවි රඟ මඬලින් නික්ම ගිය සිනමානළු අශෝක හේවාවිතාරණයන් පිළිබඳ මතකය අනාගතයට පවරාදීම අතිශය වැදගත් බැවින් මෙම සටහන කිරීමට සිත් දැරුවෙමි. මන්ද මෙවැනි අප්‍රකට කලාවේදීන්ගේ තතු නූතන චිත්‍රපට ක්ෂේත්රයේ පිරිස් පවා නොදැන සිටීම අභාග්‍යයක් බැවිනි. හත්දින්නත් තරු මතින් ගිළිහුණු මේ නිහඬ ප්රතිභාන්විතයාට නිර්වාණ ස්වර්ණ ද්වාරයම විවර වේවායි පතමි !
සටහන Akash Tharuka Perera
සේයාරූ සංරක්ෂණය Kapila Sirimanne