2018 නිර්මාණ වර්ෂය වෙනුවෙන් ඇගයුම් පිරිනැමුණු 42 වැනි සිග්නීස් උත්තමාචාර සම්මාන උළෙල පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී උත්කර්ෂයට නැංවිණි. මෙවර එහි තේමාව වූයේ "මනුෂ්‍යත්වයේ රූ සමෝධානය" යන්නයි.
මෙම සම්මාන උළෙල ටෙලි සහ සිනමා දෙපාර්ශවය ම නියෝජනය කරමින් සම්මාන ප්රදානය කළත් සිනමා විෂය ප්රමුඛව මගේ විවර්ණය මෙසේ ඉදිරිපත් කරමි. ප්‍රථමයෙන් සිනමා ජූරීය ඉදිරිපත් කිරීම සුදුසු වන්නේ මෙතැන් පටන් එල්ල කරන සියලු දෝෂාරෝපණ ඔවුන් ඍජුව ම භාරගත යුතු බැවිනි. සිග්නීස් ශ්‍රී ලංකා අධ්‍යක්ෂක ගරු ලාල් පුෂ්පදේව පියතුමාණන් සභාපතීත්වය දැරූ ජූරිය නියෝජනය කළේ කලාකීර්ති එඩ්වින් ආරියදාසයන්, විශ්ව ප්‍රසාදිනී නීටා ප්‍රනාන්දු, විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය මෙන්ම ප්‍රකට කැමරාවේදී එම්. ඩී. මහින්දපාල, සම්මානනීය සිනමාකරු ඉන්දික ෆර්ඩිනෑන්ඩු, ප්‍රවීණ සිනමාවේදී සහ ලේඛක ජූඩ් රත්නම් සහ ප්‍රවීණ සිනමා හා සංස්කෘතික විචාරක විදර්ශන කන්නංගර විසිනි. 2018 වර්ෂය තුළ ප්‍රදර්ශනය කාලය නිමා වූ චිත්‍රපට 26 ක් උළෙල සඳහා තරඟ කළ අතර එහි වැඩිම සම්මාන දිනූ චිත්‍රපටය වූයේ හොඳම චිත්‍රපටය ලෙසින් ද කිරුළු දැරූ ජයන්ත චන්ද්‍රසිරිගේ "ඝරසරප" චිත්‍රපටයයි. මෙම උළලේ සම්මාන විසිරී යාම පිළිබඳ කිසිසේත් සතුටු විය නොහැක. ජූරියේ විශේෂ නිර්මාණශීලී කුසලතා ඇගයීම් සහතික ද්විත්වයක් සිනමාව වෙනුවෙන් පිරිනැමිණි. ඒ අනුව "සරුංගල්" චිත්‍රපටයේ කැමරාකරණය සිදුකළ මංජුල කුමාරතුංගට සහ "උදුම්බරා" චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන උදුම්බරා නම් ක්‍රීඩිකාවගේ යොවුන් විය නිරූපණය කළ නදීෂානි හෙන්ඩ්රසන් හට එම ඇගයීම් පිරිනැමිණි. තාක්ෂණික අංශයේ කුසලතා දිනිය යුතු තරමේ විශිෂ්ටයින් රැසක් අදාළ සිනමා වසර නියෝජනය කළත් "සරුංගල්" චිත්‍රපටයේ සිනමා කෝණය නිර්මාණශීලී බව ජූරිය විසින් පෙන්වාදෙන්නේ කුමකටදැයි නොතේරේ. "ඝරසරප" චිත්‍රපටයේ නර්තන වින්‍යාසය වෙනුවෙන් නව නිර්මණශීලී ප්රයත්නයක යෙදුණු ගයාන් ශ්‍රීමාල් හට එම කුසලතාව පිරිනැමුණේ නම් එය හේතු ද්විත්වයක් මත අතිසාර්ථක ඇගයීමකි. එනම් මෙම උළෙලේ හොඳම නර්තන වින්‍යාසය නොතේරීමත්, ගයාන් වැනි රංග රචකයෙකුගේ නව නිර්මාණශීලී ප්රයත්නයත් ඇගයීමත් ය. රංගනය වෙනුවෙන් කුසලතා හිමි කරගත් නදීෂානි හෙන්ඩ්රසන්ට වඩා එම චිත්‍රපටයේ ම ඇගේ කුඩා කළ නිරූපණය කළ හර්ෂි රසාංගාගේ රංගනය සිනමාරූපී ය. නදීෂානිගේ රංගනයේ ආධුනිකබව බොහෝ අවස්ථාවල කැපීපෙණුන අතර ඇය නිළියක් සේ ඉදිරියට යන්නේ නම් ඇය ප්‍රථමයෙන් සිනමා රංගනය යනු කුමක්දැයි හැදෑරීම වැදගත් ය. රංගනය වෙනුවෙන් කුසලතා සම්මාන ලැබිය යුතු පිරිස් ඕනෑ තරම් අදාළ වර්ෂය තුළ සිටියත් ඔවුන් කිසිවෙක් ජූරිය දැක තිබූ බවක් නම් පෙණුනේ නැත. ඉන්පසුව සම්මාන හිමි වූයේ විශිෂ්ටතම දෘෂ්‍ය ප්‍රයෝග වෙනුවෙනි. එය දිනාගත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ "බිම්භා දේවි හෙවත් යශෝධරා" චිත්‍රපටය වෙනුවෙන් චත්‍ර වීරමන් ය. එම සම්මානය පිළිබඳ කිසිත් දොසක් නැගිය නොහැක්කේ ඔහු අර්ථයෙන් ඊට සුදුසු බැවිනි. නිර්මාණශීලී ශබ්ද වින්‍යාසය වෙනුවෙන් සම්මානය පිරිනැමුණේ ද එම චිත්‍රපටය සඳහා ම සසික රුවන් මාරසිංහ හට ය. නිර්මාණශීලී අංග රචනය සඳහා සම්මානය දිනාගත්තේ "කෝමාලි කිංග්ස්" චිත්‍රපටය වෙනුවෙන් අංග රචනා කළ වසන්ත පූර්ණවංශ වුවත් එය "දැවෙන විහඟුන්" හි අංග රචනා කළ ප්‍රියන්ත දිසානායක හට හිමිවූයේ නම් සම්මාන වර්ණය අතිසාධාරණය.
චිත්‍රපටයකින් හරි අඩක රසිකාකර්ෂණය දිනාගැනීම සඳහා අත්‍යවශ්‍ය චිත්‍රපටය සංගීතාශ්රිත කටයුතු සඳහා සම්මාන පිරිනැමිණි. මේ සම්මාන ඛාණ්ඩයේ හොඳම සංගීත අධ්‍යක්ෂණය සහ හොඳම තනු නිර්මාණය යන ද්විත්ව සම්මාන හිමිවූයේ "ඝරසරප" චිත්‍රපටය වෙනුවෙන් චින්තක ලක්මාල් ජයකොඩි හට ය. ඔහුගේ සංගීත භාෂණය වටහාගැනීම පිළිබඳ ජූරිය වෙත කෘතවේදී විය යුතුය. හොඳම ගායනය වෙනුවෙන් වනිතා සහ පුරුෂ වශයෙන් ද්විත්ව සම්මාන පිරිනොනැමුණු අතර සම්මානය හිමිවූයේ "යශෝධරා" චිත්‍රපටයේ නරසීහ ගාථා කියවීම වෙනුවෙන් ඉනෝකා අහංගම ට ය. එම සම්මානය සඳහා ඇය තේරීම සහ ඇය සම්මානිත කිරීම නිර්දය ලෙසින් ප්‍රතික්ෂේප කරන අතරම ඉන් ගම්‍ය වූයේ ජූරියේ බුද්ධි බල මහිමය නොවේද ? නරසීහ ගාථා යනු කා විසින් කියැවූවත් එකම ශෛලියකට කියවන භාවාත්මක පද්‍ය ප්රකාශනයකි. පිරිසක් විසින් එය කියවූයේ නම් එය සජ්ජායනයක් වන අතර ඉනෝකා පමණක් ඒ සඳහා සහභාගී වීම මත මවිසින් එය රිද්මයානුගත කියවීමක් සේ සලකමි. එනමුත් ගායනාවක් ලෙසින් නම් කිරීමට තරම් උත්සුක වූ ජූරීය එහි පද රචනය වෙනුවෙන් නිර්දේශයක් හෝ සම්මානයක් පිරිනොනැමීම සතුටට කරුණකි. ඉනෝකාට වඩා "ඝරසරප" හි වෙනස්ම භාවයක හැසිරෙමින් ගීතයක් පර්යේෂණාත්මක උත්සහයකින් ගැයූ දුමාල් හට සම්මානය හිමිවීමට තිබුණි. එනමුත් සැමදා දුමාල් නිර්දේශ අතර ම පමණක් රඳවන්නට සියලු සම්මාන උළෙලන්හි ජූරි සභා දරන්නේ අප්‍රතිහත කැපවීමකි. එනිසා එම සම්මානය හෝ ඉනෝකා වෙනුවෙන් කියැවුණු හේතුපාඨය නිර්දය ලෙසින් ම බැහැර කරමි. එනමුත් ඉනෝකා අහංගම යනු කිසිවිටෙක ප්‍රතික්ෂේප කළ නොහැකි අද්විතීය හඬක උරුමකාරිණියකි. නිර්මාණශීලී හොඳම ගේය ප්රබන්ධනය වෙනුවෙන් "ඝරසරප" හි "හැම දෙයක් පෙනේ...." ගීතය ලියූ ජයන්ත චන්ද්‍රසිරි සම්මානයට පාත්‍ර වූවේය. අදාළ වර්ෂයේ සවන්ප්රිය ගී කිහිපයක් තිබුණත් නිර්මාණශීලී ගේය ප්‍රබන්ධන ඇතුළත් වූයේ මෙහි පමණක් වන හෙයින් ඔහු එම සම්මානය සඳහා සුදුසු ය. ඉන්පසුව පිරිනැමුණේ කලා අධ්‍යක්ෂණය සඳහා සම්මානයයි. එය ලැබුවේ "යශෝධරා" චිත්‍රපටය වෙනුවෙන් බිමල් දුෂ්මන්ත ය. නිර්මාණශීලී කැමරාකරණය උදෙසා සුපුරුදු පරිදී සම්ප්‍රදායානුකූලව චන්න දේශප්‍රිය "යශෝධරා" වෙනුවෙන් සම්මානිත වූ අතර නිර්මාණශීලී සංස්කරණය "ඝරසරප" වෙනුවෙන් දිලාන් ගුණවර්ධන හට හිමි විය. සංස්කරණය සඳහා ඩිලාන්ට වඩා "දැවෙන විහඟුන්" හි අජිත් රාමනායක සම්මාන ලැබිය යුතුව තිබුණි. නමුත් ඔහු නිර්දේශ අතර හෝ නොසිටියේය. ප්රශස්ත තිර රචනය සග අධ්‍යක්ෂණය යන සම්මාන යුගළම "ඝරසරප" වෙනුවෙන් ජයන්ත චන්ද්‍රසිරි දිනූ අතර "දැවෙන විහඟුන්" නිර්දේශ නාම අතර හෝ නොමැතිවීම ද සඵත කලේ ජූරියේ අධි බහුශ්රතභාවය විය හැක. නිර්මාණශීලී තිර රචනය වෙනුවෙන් ජයන්තයන් සම්මානිත වීම සාධාරණ වුවත් අධ්‍යක්ෂණය වෙනුවෙන් නිතැතින්ම සම්මානය හිමිවිය යුතුව තිබුණේ සංජීව පුෂ්පකුමාර හට ය. ඉන්පසුව සම්මාන බෙදී ගියේ රංග කාර්ය්යන් වෙනුවෙන් ය.
නිර්මාණශීලී සහය නළුවා සඳහා "ගෝල්" චිත්‍රපටයේ සමන්තගේ චරිතය රංගනය කළ සේවියර් කණිෂ්ක නිර්දේශ වීම අතිශය සතුටට කරුණකි. පසුගිය සම්මාන උළෙල ද්විත්වය තුළ ම ඔහුගේ රංගනය නොදැකීම පිළිබඳ මගේ සටහන් ව්‍යාර්ථ වී නැති බව ඉන් හැඟුණි. ඔහුත්, "දැවෙන විහඟුන්" වෙනුවෙන් මස්කඩ මුදලාලි වූ මහේන්ද්‍ර පෙරේරාත් නිර්දේශ අතර රඳවමින් "මධුර චාරිකා" චිත්‍රපටයේ මුණුපුරා වූ සුදම් කටුකිතුලේ හොඳම සහය නළුවා ලෙසින් සම්මානිත විය. සුදම්ගේ රංගනය ඇගයිය යුතු තරමේ වුවත් මහේන්ද්‍රගේ රංගනය තරම් ප්‍රධාන චරිතය පෝෂණය කරවනසුළු රංග උත්තේජනයක් ඔහුගෙන් නොවීය. එසේ නමුත් රංග සහාය ලබාදුන් තවත් කිහිපදෙනෙකුම ජූරිය දැක තිබ්බේ ද නැත. සේවියර් සහය නළුවා සඳහා නිර්දේශ කළ පරිද්දෙන්ම සහය නිළිය සඳහා ද "දැවෙන විහඟුන්" වෙනුවෙන් ලියෝනි කොතලාවල නිර්දේශ කිරීම අතිශය සාධාරණ ය. ඔවුන් දෙදෙනාම ජූරියේ ඇස් මානයේ හුවාදක්වන්නට සැමදා මම අකුරු කළෙමි. එහි ප්‍රතිඵල නිර්දේශ අතරින් දක්නට ලැබීම සතුටකි. එනමුත් එම සම්මානයට "ඝරසරප" වෙනුවෙන් සංගීතා වීරරත්න නිර්දේශ කිරීමේ ජූරියේ හරසුන් තීරණ හාස්‍යයට ලක්කළ අවස්ථාවකි. ඇය රංගනය කළ විද්‍යා දොරේඅප්පාගේ චරිතය චිත්‍රපටයේ අඩු ධාවන කාලයක දක්නට ලැබුණත් ඇය එහි ප්‍රධාන චරිතයයි. ඉඳින් ප්‍රධාන චරිතය හොඳම සහය නිළිය වෙනුවෙන් නිර්දේශ කළ කල එය හාත්පස විරෝධී වරණයක් වනු නොඅනුමානය. කෙසේ නමුදු සම්මානය හිමි වූයේ "දැවෙන විහඟුන්" චිත්‍රපටයේ වාසනාට පණ දුන් සමනලී ෆොන්සේකා හට ය. එය අතිශය සාධාරණ වන්නේ ඇයගේ චරිතය අර්ථයෙන්ම අනෙක් චරිත පෝෂණ කාර්යෙහිලා කැපීපෙණුන බැවිනි. හොඳම නළුවා සහ නිළිය සම්මාන ද්විත්වය අප කාගේත් බලාපොරොත්තු දල්වන අවස්ථාවකි. මෙවර හොඳම නළුවා සඳහා නිර්දේශ වූයේ "ඝරසරප" වෙනුවෙන් දෙව්නක පෝරගේ, "ගෝල්" වෙනුවෙන් ජයලත් මනෝරත්න, "මධුර චාරිකා" වෙනුවෙන් හේමසිරි ලියනගේ සහ "මැතිව්" වෙනුවෙන් ඇල්ස්ටන් කොච් ය. දෙව්නක විසින් රංගනය කළ යොවුන් සඳරැස් එදිරිසිංහගේ චරිතය වෙනුවෙන් ඔහු මීට පෙර නැගී එන නළුවා ලෙසින් සම්මාන ලැබ තිබුණත් එය හොඳම නළුවා වැනි සම්මානයක නිර්දේශ මත රැඳවීමම ඔහු ලද සම්මානයකි. එමෙන්ම එම සම්මානයෙහි නිර්දේශ සඳහා ද ඔහු අත්‍යන්තයෙන්ම සුදුසු වන්නේ එය සදාකාලික මතකයේ අවක්ෂේපිත රූපණ නිදර්ශනයක් බැවිනි. එමෙන්ම මනෝරත්නයන් හා ඇල්ස්ටන් කොච් කළ වැඩිහිටි චරිතයන් ද අතිශය ප්‍රබල වේ. එනමුත් හේමසිරි ලියනගේ මේ චරිතය සඳහා නිර්දේශ කළේ මක් නිසාදැයි නොදනිමි. ඔහු කලකට පෙර් මාලනී ෆොන්සේකා සමගින් රංගනය කළ "ස්ත්‍රී" නම් චිත්‍රපටයේ රැඟුම් පරාසයම "මධුර චාරිකා" චිත්‍රපටයේත් දක්නට ලැබෙන්නේ නම් එය කිසිසේත් යාවත්කාලීන වූ හෝ දියුණු වූ රංගනයක් නොවේ. එනිසා එම නිර්දේශය වෙනුවට වෙනත් නළුවෙකු ආදේශ වූයේ නම් එය කදිම ය. තවද මෙවර සිග්නීස් උත්තමාචාරයේ හොඳම නිළිය සඳහා නිර්දේශ නාම තේරූ පිරිස් වෙත වසරේ හාස්යෝත්පාදන කාර්ය්යට හිමි සම්මානය දීමට තරම් සිතුණේ ඔවුනගේ ඇතැම් නිර්දේශ උළෙලටම නිගරුවක් වූ බැවිනි. "එක දවසක අපි" චිත්‍රපටයේ පාරමි යනු හොඳම නිළිය සම්මානය කෙසේ වෙතත් කුසලතා ඇගයීමකට තරම් හෝ නොවන සම්මානයකි. ඇගේ රංගනයට වඩා හොඳ රංගනයක් ඇතැම් විටෙක ළමා ශිල්පිණියන්ගෙන් දක්නට ලැබිණි. ප්රශ්නය ඇගේ රංගනය හෝ සිනමා චරිතය හෝ නොව ඇය මෙම සම්මානය සඳහා නිර්දේශ වීම පමණි. මන්ද ඇගේ චරිත නිරූපණය තුළ භාව පාලනයක් හෝ ප්‍රමාණික භාව හැසිරීමක් සහ ඉසියුම් ඉංගිත ලක්ෂණයක් හෝ සිනමාරුපී රංග රංගනයක් නොතිබුණු බැවිනි. ඇය සමග ම නිර්දේශ වූ "නෙලා" හි ශලනි තාරකා ද එම සම්මානයට තරම් චරිතයක පෙනී නොසිටියාය. ඇගේ "ස්පන්ධන" වැනි චිත්‍රපටයක රංගනය හා සසඳන කළ නෙලාගේ චරිතය හොඳ වූවත් එය හොඳම නිළිය තරම් නොවේ. එනමුත් "ඝරසරප" හි විද්‍යාගේ යොවුන් අවදිය නිරූපණය කළ කාවින්ද්‍යා යනු හොඳම නිළිය සඳහා අත්‍යවශ්‍ය නිර්දේශයක් ම ය. ඇගේ කුළුඳුල් රංගනය එතරම් ම ආධුනිකත්වයෙන් තොර අද්විතීය පරාසයක් නියෝජනය කළාය. එනිසා ඈ නිර්දේශ වීම අතිසාධාරණය. කෙසේ නමුදු සම්මානය දිනුවේ "දැවෙන විහඟුන්" හි කුසුම්ගේ චරිතයට පණදුන් අනෝමා ජනාදරී ය. අනෝමා යනු මේ සියල්ල අවසන තවත් දශයක් හෝ යන තුරු අමතක නොවන තරම් චරිතයක් මෙරට සිනමා ධරණිය මත රෝපණය කළ නූතනයේ වනිතා රංගවේදිණියකි. රංගනය සඳහා වන සම්මාන පිදීම එලෙසින් අවසන් වුවත් දුකට හේතුව වන්නේ සුපුරුදු ලෙසින් "යශෝධරා" චිත්‍රපටයේ දිනෙත් ද සිල්වා හෝ "මැතිව්" චිත්‍රපටයේ බිම්සරා ප්‍රේමරත්න ජූරි සභාවට නොපෙනීමය. ඔවුන් සම්මාන නොලැබීම යන අසාධාරණ නොතකා ජනසම්මානය පමණක් අපේක්ෂාවෙන් නිර්මාණ කාර්යේම නියැලීම මත අප හට සතුටු වීම එය හෝ ප්‍රමාණවත් ය. අනෙක් සම්මාන උළෙලන්හි මෙන්ම මෙහිදී ද සටන් අධ්‍යක්ෂණය, නර්තන රචනය, වර්ණ සංයෝජනය යන ක්ෂේත්රයන්ට සම්මාන නොලැබිණි. එමෙන්ම ප්රශස්ත ගායනය වෙනුවෙන් එක් සම්මානයක් පමණක් ලබා දීම ද නොගැළපෙන සහ අසාධාරණ ක්‍රියාවකි. තවද අනෙක් වාතාවන්හිදී මෙන් මෙවර කුසලතා ඇගයුම් ද කිහිපදෙනෙකු අතර නොවිසිරී දෙදෙනෙකුට පමණක් සීමා වූයේ ද කුසලතාපූර්ණයන් තොග ගණන් වරණයට සමීප සිනමා වසරක දී ය. මීට අමතරව ජූරියේ විශේෂ සම්මානයකින් පිදුම් ලද "කෝමාලි කිංග්ස්" අධ්යක්ෂ කිංග් රත්නම් ද සමාන්තර දමිළ ජන සිනමාවක් වෙනුවෙන් උක්ත වසරේ දුන් බලාපොරොත්තු වටිනේමය. මෙලෙසින් සම්මාන ප්රදානය සිදු වූ අතර සිග්නීස් යාවජීව ප්රණාම සම්මානයෙන් මෙවර පිදුම් ලැබුවේ සම්මානනීය සිනමා නිළි සහ නිර්මාණවේදිනී ශ්‍රියානි අමරසේනයන් ය.
සිනමා ඇගයීම් පිළිබඳ පැවසිය හැකි දේ මෙලෙසින් වුවත් ටෙලි සම්මාන ගැන ද යමක් සටහන් කිරීමට සිතුණි. ටෙලිනාට්‍ය මගේ විෂය නොවුණත් මා මෙම උළෙලට නිර්දේශ වූ බොහෝ ටෙලිනාට්‍ය නරඹා තිබුණි. එහෙත් කිසිඳු සම්මානයකට පාත්‍ර නොවූ "ඉලන්දාරි හැන්දෑව", "පෝටාවැටිය" සහ "බැද්දට සඳ" වැනි නාට්‍ය සඳහා යම් අසාධාරණයක් වූවේ දැයි සිතුණි. කෙසේ නමුත් ඊට හේතු කාරණා විමසීමට තරම් ටෙලිනාට්‍ය පිළිබඳ මා හට ඇති දැනුම ප්‍රමාණවත් නොවන හෙයින් ඒ පිළිබඳ මීට වඩා සටහන් නොකරමි. ටෙලිනාට්‍ය හොඳම නළුවා වූයේ තුමිඳු දොඩන්තැන්න වන අතර ඔහුගේම බිරිඳ වන කලණි දොඩන්තැන්න හොඳම ටෙලිනාට්‍ය නිළිය වෙනුවෙන් සම්මානිත වූවාය. හොඳම නාට්‍ය වූයේ ද "කූඹියෝ" නාට්‍යයයි. ටෙලි කලාව වෙනුවෙන් කළ පුරෝගාමි මෙහෙවර අගයමින් හතළිස් වසරකට පෙර ඇරඹුණු ස්වාධීන රූපවාහිනි ජාලයද සුවිශේෂී ගරු බහුමානයට පාත්‍ර වීය.
මෙතැන් පටන් අවධාරණය කරනුයේ සම්මාන උළෙල පිළිබඳව ය. සාමාන්‍ය ක්‍රමවේදයකට අනුව මෙතෙක් සිග්නීස් උළෙල තරමක් රසවින්දන පරාසයෙන් දුරස්ථ වුවත් මෙවර උළෙල මනරම් විශේෂාංගයන් රැසකින් ම සමන්විත වී තිබුණි. විශේෂයෙන් ම තිරයේ අමරණීය ගඳඹන් පස් දෙනෙකු අභිනන්දනය කරමින් කළ ආවර්ජනාත්මක නිර්මාණය අද්විතීය වේ. නිවේදනය ද පසුගිය වසරට සාපෙක්ෂව කදිම ය. එනමුත් දුටු ප්‍රබල අඩුවකි. සම්මාන ප්රදානය කිරීම සඳහා වේදිකාවට ඇරයුම් ලබන බොහෝ ප්‍රවීණයන් මෙදින පැමිණ සිටියේ නැත. එනමුත් ඔවුන්ගේ නම් කිහිපවරක් කියමින් ඔවුන් සිටිදැයි පූරක යුවළ සොයා බැලීය. උළෙලාරම්භයේ දී ම උත්සව අවස්ථාවට ප්‍රථමයෙන් පැමිණෙන පිරිසෙන් ජේෂ්ඨ කලාකරුවන් පිරිසක් සම්මාන පිරිනැමීම සඳහා වේදිකාගත කිරීම හෝ සම්මාන ප්රදානය සඳහා යෝජිත ජේෂ්ඨයන්ගෙ පැමිණීම අනිවාර්යදැයි තහවුරු කරගැනීම අනිවාර්යයෙන්ම සිදුකළ යුත්තකි. නොඑසේනම් එය සම්මාන උළෙලේ වයනය කඩතොලු කරන බව නිසැකය. සමස්තයක් ලෙස ගත්කළ කලාකරුවන් හට බොහෝ දුරට හොඳින් සලකන සංවිධායක කමිටුවක් වෙතොත් මෙම සම්මාන උළෙලේ ඔවුහු දක්නට ලැබේ.
මෙවර සිග්නීස් දේශනය සිදුකරන ලද්දේ සෞම්‍ය ලියනගේ විසිනි. උළෙලේ තැනින් තැන අසුන් හෙබවූ ලොලිපොප් සහ සීනිබෝල නළු නිළියන්ට දිගට හරහට වාචික පහර දෙමින් ඔහු කළ කතාව කාලෝචිත මෙන්ම සිනමාව පිළිබඳ ඇල්මැති සෑම කෙනෙක්ම එය ඇසිය ; කියවිය යුතුම ය. සම්මාන තේරිමේදී සිදුවූ වැරදි නොවන්නට සිග්නීස් උළෙල මෙවර අර්ථයෙන්ම උළෙලක් වීමට ඉඩ තිබුණි. එළඹෙන වසරේ හෝ සියල්ලෙන් සපිරි පරිපූර්ණ උළෙලක් අපේක්ෂා කරමින් සටහන නවතමි.
සටහන Akash Tharuka Perera
සේයා Dananjaya Chathuranga