නොමරා මැරූ පෙම්බරා......
කන්දක් සේ මා' චිත්‍රපටයට සංගීත අධ්‍යක්ෂණයෙන් මා දායක වූයේ මීට අට අවුරුද්දකට පෙර අසෝක අතාවුදහෙට්ටි ගේ ආදරණීය ඇරයුමින්. ඒ මා ඔහු සමඟ සංගීත අධ්යක්ෂනයෙන් සහභාගී වූ දෙවෙනි සිනමා කෘතියයි.
අට අවුරුද්දකට පෙර නිමවූ මෙම චිත්‍රපටය අපි එදා අවසානයේ නරඹද්දි , මුල සිට හෙමි හෙමින් හෙමින් ක්‍රමවත්ව ගලාගෙන ගොස් චිත්‍රපටයේ අවසානයේ කූටප්රාප්තියට (climax) එනවිට මගේ මුළු ආත්මයම දීලා හදපු සංගීතයේ උච්චතම ස්ථානය, භාවය, දුක, වේදනාවේ සංකලනය ගැන මෙයට සම්බන්ධ වුණු හැමෝම කතා කරා මට අද වගේ මතකයි. ඒ අගය කිරීමේ කණ්ඩායමේ අසෝක ආතාවුදහෙට්ටි (Director), අජිත් රාමනායක (Editor), රුවන් කොස්තා (DOP) රචිකාවිය සුමිත්‍රා රාහුබද්ධ ඇතුළු බොහෝ පිරිසක් සිටියා.
නමුත් අවුරුදු අටකට පසුව චිත්‍රපට නිර්මාණය එළිදක්වද්දි චිත්‍රපටයේ අධ්‍යක්ෂක අසෝක ආතාවුදහෙට්ටිගේ නිර්මාණාත්මක මතයට අදහසට ගරු නොකර, කිසිම ඇහිල්ලක් බැලිල්ලක් විමසිල්ලක් දැන්වීමක්වත් නොමැතිව සුමිත්‍රා රාහුබද්ධ මගේ සංගීත නිර්මාණයේ ඒ සංවේදී අවසානය නොමරා මැරුවේ කිනම් සදාචාරාත්මක හේතු සාධක මත දැයි විමසන්නට සිදුවී තිබෙනවා.
මගේ මේ ප්‍රකාශය 'කන්දක් සේ මා' චිත්‍රපටයට අලුතෙන් ඇතුළු කළ ගීතය සම්බන්ධ ව නම් නොවේ. චිත්‍රපටයේ අවසානයේ කූඨප්රාප්තියේදී (climax) එය ප්‍රේක්ෂකයාට ආසක්ත කිරීමේ අරමුණින් නිමවූ පසුබිම් සංගීත කණ්ඩයේ උච්චතම ස්ථානය අනවසරයෙන් උගුල්ලවා ඉවත් කර; එම ගීතය චිත්‍රපටයට බලහත්කාරයෙන් ඔබ්බවා තිබීමයි.
පොතක් ලිව්වත් ගීයක් ලිව්වත් තනුවක් හැදුවත් චිත්‍රයක් ඇන්දත් ගැයුවත් වැයුවත් ..
මේ හැම කොටසකම එහි නිර්මාපකයාගෙ ආත්මයෙන් කොටසක් දායක වී තිබෙන බව මතක් කරන්න ඕන.
'කන්දක් සේ මා'චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයටත්, එහි මුලින් තිබූ එකම ගීය වුණු පෙම්බරා ගීතයටත්, ඔබ විසින් මීට මාස දෙකකට කලින් අප කිසිවෙකුගේ අනුදැනුමක් නොමැතිව බලහත්කාරයෙන් එබ්බවූ සමුගැනීමේ ගීයටත් ඉහත කාරණාව පොදුයි; අදාළයි.
මීට මසකට පමණ පෙර සුමිත්‍රා රාහුබද්ධ මේ චිත්‍රපටයේ අවසානයට අලුතින් ගීතයක් එකතුකරන්න යන බව සහ එයට අසෝක ආතාවුදහෙට්ටි (Director) තදින් විරුද්ධ වුණු බවත් ඔබ එය නොතකා හැර ඔබගේ කෘතියේ අයිතිය සහ 1/4 නිෂ්පාදකත්වයේ අයිතිය අත්තනෝමතික ලෙස පාවිච්චි කරමින් සිටින බවත් මට ආරංචි වූ වහාම මා ඔබෙන් ඒ ගැන විමසුවා.
මෙම ගීතය නිර්මාණය කිරීම ගැන ඔබ හේතු වශයෙන් යම් යම් තැන් වල කියා තිබුනේ ඔබට ස්ත්‍රීවාදී වීමට අවශ්‍ය වූ බවයි. මා තුළ ඒ ගැන කිසිම විරුද්ධත්වයක් නැත. එය ඔබගේ පෞද්ගලික තීරණයක් සහ ලෝකය ඉදිරියට යාමට විවිධ වෙනස් ආකෘති පැමිණිය යුතුමයි. (කාන්තාවන් තිදෙනෙකුගේ නිර්මාණ බන්ධනය ඉතා විරල අවස්ථාවක්). මගේ ප්රශ්නය මෙතන නොවේ.
ඒ මොහොතේ මා ඔබෙන් විමසුවා 'ඇයි ඒ බව මට නොදැන්නුවේ' කියලා. ඔබ ඒකට මගෙන් සමාව ගත්තා ඔබට මතක ඇති. මම එදා ඔබතුමියට කිව්වා ගීයක් දැම්මට ප්‍රශ්නයක් නෑ නමුත් මේ climax එකට හදපු සංගීත කණ්ඩය අයින් කරලා මේක කරන්න එපා සහ එහෙම කරොත් මේ මුළු නිර්මාණයේම සංගීත හැඟීම් සාරය සහ රංගනයේ තිබෙන ගුණාත්මකබවට හානි වෙන නිසා ඒ ගීය චිත්‍රපටයේ climax එකෙන් පසු ප්‍රචාරය කරන ලෙස. ඔබ කිව්වේ 'පිස්සුද සුරේෂ් මල්ලි ඔයාගේ music කොටස්වලට අතවත් තියන්නේ නෑ'කියල. ඔබ මට එදා කිව්වා සහ පොරොන්දු වුණා චිත්‍රපටයේ climax එකට හදපු සංගීතයත් නිමවූ පසු තිරයේ නාමාවලිය යන අවස්ථාවේ පමණයි මෙම ගීතය ප්‍රචාරය වන්නේ කියා. ඒ වගේම ඔබ කිව්වා චිත්‍රපටයේ රූප රාමු සමඟ ගීතය නොයන බවත්.
ඔබ කලේ මොකක්ද?
අධ්‍යක්ෂක වන අසෝක ගේත් සංගීත අධ්‍යක්ෂක වන මගෙත් නිර්මාණ අයිතින් පැහැර අරන්, අවසානයේ නුඹගේ පදරචනා කළ ගීය චිත්‍රපටයේ climax එකට ඔබ්බවා, සංගීතයේ උත්සන්නම අවස්ථාවේ මම හෙමින් හෙමින් ආදරෙන් බලාගෙන හදාගෙන ආව දරුවාව එක කඩු පහරකින් හිස වෙන් කරලා දැමීම.
කෝ ඔබේ සදාචාරය?
කෝ ඔබේ කලාව?
ඔබ සම්මානලාභී ලේඛිකාවක් වූවාට සංගීත දැනුමෙන් සහ චිත්‍රපට අධ්යක්ෂන දැනුමෙන් අල්ප බව ඔබ මගේත් අසෝක ආතාවුදහෙට්ටිගෙත් මතවලට කිසිදු ගුණයක් නොකර කෙරූ මේ ක්‍රියාවෙන් මොනවට පැහැදිලියි.
යම් යම් චිත්‍රපටවලට නොයෙක් ගී එකතු කළාට කන්දක් සේ මා ආකෘතිය එයට බෙහෙවින් වෙනස් සහ එහි ප්‍රවේශය සහ සමාප්තිය වනතෙක්ම ප්‍රේක්ෂකයාගේ අවධානයත් චිත්‍රපටයේ රිදම් එකත් රඳවා ගැනීම මා සතු වගකීමක්... එහි ලාලිත්‍ය දන්නා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් කිසිදා අන්තිම විනාඩි තුනට, සංගීත අධ්‍යක්ෂකගෙන් නොවිමසා ගීතයක් ඔබ්බවන්නේ නෑ. අදටත් චිත්‍රපට අධ්‍යක්ෂක අසෝක ආතාවුදහෙට්ටි මෙම තීරණයට අකමැති බව ඔබ හොඳින්ම දන්නවා.
පසුගිය අවුරුදු කීපය තුලම මෙම චිත්‍රපටය තිරගත වීමේ ප්‍රමාදය හේතුවෙන් මා "පෙම්බරා" ගීය එලිදක්වමුදයි ඔබෙන් නොයෙක්වර අසද්දිත් (චිත්‍රපටය එලිදක්වන්නට කලින් ගී එලිදක්වන අවස්ථා සුලබ බැවින්) චිත්‍රපටය තිරගත වනතෙක් ආචාර්ය සුනිල් ආරියරත්නයන් රචනා කල, සඳනි විජේතුංග ගායනා කල, නිරෝෂා පෙරේරාගේ අති ප්‍රබල රංගනයෙන් හැඩගැන්වුනු "පෙම්බරා" ගීය කිසිම ඇහැකින් හෝ කනකින් ඉදුල් නොකිරීමට ඉමහත් ප්රයත්නයක් දැරූ ඔබ , මීට සතියකට කලින් අප කාටත් නොදන්වා ඔබ රචනා කල සමුගැනීමේ ගීයට චිත්‍රපටයේම කොටස් වලින් රූප රචනාවක්ද කර සමාජ මාධයයේ සැරිසරන්නට වැඩකටයුතු සලස්වා තිබුණු අපූරුව දැක විමතියට පත් වුනෙමි.
මා ජපානයේ සුන්දර නීගතාව ඇසුරු කර මගේ ආත්මයෙන් කොටසක් දියකොට වැයකොට නිර්මාණය වූ හැඟීම් උත්ප්රාසයෙ උච්චතම අවස්තාව පිලිඹිබු වෙන මොහොත ඔබ ගලවා උගුල්ලවා දමා තිබ්බේ කලාකාරිනියක් ලෙසින් නොවේ. එම කොටස අසන්න නොලැබෙන නිසාවෙන් මෙම ගීතයෙන් සතුටට සැහීමකට පත්වෙන එක ඇරෙන්න ප්‍රේක්ෂකයාට කරන්න දේකුත් දැන් නැත. ඔබ ලොකුම ආසාධාරණය කලේ "'කන්දක් සේ මා" නරඹන්නට පැමිණෙන ඒ ආදරණීය ප්රේක්ෂකයාටයි.....
ලංකාවේ චිත්‍රපටයක චිත්‍රපටයේ අධ්‍යක්ෂකටත්, චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකටත් premier එකටත්, මාධ්‍ය සාකච්ඡාවකටවත් නොපැමිණෙන තැනට වැඩ සැලැස්වූ එකම සම්මානලාභී ලේඛිකාව සුමිත්‍රා රාහුබද්ධ පමණමයි.
සුමිත්‍රා රාහුබද්ද මැතිණියනි....පොත් ලිව්වට වැඩක් නෑ පොතේ හැඟීමම මරල දාලා. අපි චිත්‍රපටයක සංගීතය කරන්නේ භාවනාවක් ලෙසයි...
ඔබත් ඇතුළු ඔබේ නිෂ්පාදකයන් සතර දෙනාගෙන් දෙදෙනෙක් වන ආශු මාරසිංහත් ජයන්ත හෙට්ටිආරච්චිත්,
ඔබගේ ක්‍රියාකලාපය නිසා අද වනවිට චිත්‍රපටයේ කිසිම දෙයකට සහභාගී නොවී දරුණුවටම නිහඬ වී සිටින ඔබ ලියූ මුල් කෘතිය සියුම්ව ප්‍රේක්ෂකයාගෙ ඇස් ඉදිරියට ගෙන ඒමට දරදිය ඇද්ද අධ්‍යක්ෂක අසෝක ආතාවුදහෙට්ටිත්,
නූපාගේ අති සියුම් ගැහැණු සංවේදනා කැමරාවෙන් ප්‍රේක්ෂකයා ට ගෙනා කැමරාකරු රුවන් කොස්තාත්,
දක්ෂ ලෙස සංස්කරණ කල අජිත් රාමනයකත් පටිගත කල කලුඅරච්චිත්,
නූපා සමඟින් හරි හරියට රඟපෑ Jun Eto, බිමල් ජයකොඩි, වසන්ත කොටුවැල්ල, සිරිල් වික්‍රමගේ සහ සෙසු හැම නළුවෙක්ම ඇතුළුව
අසෝක ආතාවුදහෙට්ටි මා අතට දෙබස් පමණක් කවා දුන් ඒ නිහඬ කෘතියට සංගීතයෙන් පණ පෙවු මාත් ......පිරිමින් ය...
අවුරුදු අට ක් ඔබගේ පොත මිනිසුන් ඉදිරියට චිත්‍රපටයක් ලෙස ගෙනයාමට ඔබට හයියක් වූ ඒ හැම පිරිමියාටම ගල්ගසා ඔබ ස්ත්‍රීවාදය සොයාගෙන තිබේ.
"කන්දක් සේ මා' නවකතාව තුල ඔබ ලියූ දේ අල්පයක්වත් ඔබගේ පැවැත්ම තුල නැති බව තේරුම් අරගෙන මගේ කතාව මෙයින් අවසාන කරමි.
සුරේශ් මාලියද්ද සංගීතඥයාගේ ෆේස්බුක් ගිණුමෙනි.