lan englan tam

ඔබ කවුරු වුවත් වෙහෙස නොවී මූලික ආදායමක් ලැබෙන ක්‍රමවේදයක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඔබේ මූල්‍ය හෝ සමාජ තත්ත්වයන් කුමක් වුවත්, සෑම මසක ම ඔබට යම් මුදලක් ලබා දුන්නොත්?

මේ, ලොව පුරා රජයන් වසර ගණනාවක් තිස්සේ විවාද කරමින් සිටින විශ්වීය මූලික ආදායම් ප්‍රදානයක (UBIG) මූලික අදහස යි. මෙම සංකල්පය සමාජ අත්හදාබැලීම් ගණනාවකට ද භාජනය වී ඇත.

ජර්මනියේ, බර්ලින් පදනම් කරගත් ලාභ නොලබන සංවිධානයක් වන Mein Grundeinkommen (මගේ මූලික ආදායම) වසර තුනක් පුරා මසකට එක් අයෙකුට ඩොලර් 1,365ක කොන්දේසි විරහිත මුදලක් ලද පුද්ගලයින් 122 දෙනෙකු පිළිබඳව අධ්‍යයනය කළේ ය.

එම අධ්‍යයනයෙන් හෙළි වූයේ, මිනිසුන් වැඩ කිරීමට අඩු නැඹුරුවක් නොදක්වන බවත්, ඇත්ත වශයෙන් ම සෑම කෙනෙකු ම පූර්ණ කාලීන රැකියාවල නිරතව සිටින බව ත් ය.

කෙසේ වෙතත්, සහභාගිවන්නන්ගෙන් සැලකිය යුතු ඉහළ ප්‍රතිශතයකට රැකියාව වෙනස් කිරීම ආරක්ෂිත යැයි හැඟිණි. ඔවුන් අතරින් වැඩි රැකියා තෘප්තියක් ද වාර්තා වුණු අතර ඔවුහු වැඩිදුර අධ්‍යාපනය සඳහා වැඩි කාලයක් ගත කළහ.

            කෙන්යාවේ, එවැනි ගෙවීම් ලබන්නෙකු වන 'කාඩි' පවසන්නේ මෙම ව්‍යාපෘතිය ඇයට "පිළිගැනීමක්" ලබා දී ඇති බව "හැඟුණු" බව ය

තවත් ලාභ නොලබන සංවිධානයක් වන GiveDirectly විසින් අරමුදල් සපයන ලද කෙන්යාවේ සිදු කළ තවත් විශාල හා අඛණ්ඩ අධ්‍යයනයකින් ද ඒ හා සමාන - නමුත් අන්තර් කාලීන - ප්‍රතිඵල පෙන්නුම් කර ඇත. එහිදී, ප්‍රාන්ත දෙකක ගම්මාන 295ක පුද්ගලයින්ට අවුරුදු දෙකත් 12ත් අතර කාලයක් ජංගම දුරකතනය ඔස්සේ යම් මුදලක් ලබා දුන්නේ ය.

පුළුල් ලෙස ගත් කල, ශ්‍රම සැපයුමේ සමස්ත පහත වැටීමක් සිදුවී නැත. නමුත් බොහෝ සහභාගිවන්නන් තමන්ගේ ම ව්‍යාපාර ආරම්භ කිරීමට හෝ ස්වයං රැකියාලාභීන් වීමට වැටුප් ලද රැකියා අතහැර දමා ඇත.

"මට කෑම වේලක් නැති වෙන්නේ නෑ කියලා දැනගත්ත ම හිතට දැනෙන සහනය මම ගොඩක් අගය කරනවා," කෙන්යාවේ ජීවත් වන ස්ථාවර ආදායම් මාර්ගයක් නොමැති වැන්දඹුවක වන කාඩි පවසයි.

ඇය අනියම් කම්කරුවෙකු ලෙස සේවය කරන අතර වැඩසටහනේ ප්‍රතිලාභියෙකි. GiveDirectly වෙතින් ඇයට මාසිකව ඇමෙරිකානු ඩොලර් 34ක ලැබෙන අතර ඇය පවසන පරිදි ඇය සම්පූර්ණයෙන් ම රඳා පවතින්නේ ඒ මත ය. "මගේ එක ම ස්ථාවර බලාපොරොත්තුව බවට පත් වෙලා තියෙන්නේ ඒක," ඇය පවසයි.

"මෙම වැඩසටහන මට පිළිගැනීමක් පිළිබඳ හැඟීමක් සහ එකවර විශාල මුදලක් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දී තිබෙනවා. ඒක මම මීට පෙර කවදාවත් සිතුවේ නැති දෙයක්. මම හිතන් ඉන්නවා කාලය අවා ම සීසාන්න ගොනුන් මිල දී ගන්න."

හිඩැස් අතරින් වැටීම

A family returns home along a dirt track in the Eastern Cape in South Africa after receiving food parcels from a non-governmental organisationරාජ්‍ය මූල්‍ය ආධාර ලැබීමට සුදුසුකම් ලබන බොහෝ දෙනෙකුට විවිධ හේතු මත එය නොලැබේ

මෙම අධ්‍යයනයන්ගෙන් ලැබුණු ප්‍රතිඵල කෙතරම් පුදුමසහගත ද? කොහෙත් ම නොමැත, යැයි දකුණු අප්‍රිකාවේ ආර්ථික යුක්තිය පිළිබඳ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු වන ආචාර්ය කෙල් හව්සන් පවසයි.

"ආදායම් අසමානතාව මත පදනම්ව පුද්ගලයින් ඉලක්ක කර ගැනීමට ගන්නා ඕනෑම උත්සහයක් හැම වෙලාවක ම අසාර්ථක වේවි," ආචාර්ය හව්සන් බීබීසීයට පැවසීය. "UBI මගින් වෙළෙඳපොළෙන් [රැකියාවලින්] මිනිසුන් ඉවත් වෙන්නේ නැහැ කියන එක පෙන්වන්න අපට තවත් නියමු ව්‍යාපෘති අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වෙනුවට, ඒක මිනිසුන්ට තමන්ගේ ම ව්‍යාපාර ආරම්භ කිරීමට සහ දේශීය ආර්ථිකයන් නංවාලීමට හැකියාව ලබා දෙනවා."

ඇය පවසන පරිදි, ඊට වෙනස්ව, විශ්වීය ආවරණයක් වෙනුවට කොන්දේසි සපුරාලන පුද්ගලයින්ට පමණක් මූල්‍ය ආධාර ලබා දෙන විට සෑම විට ම යම් ප්‍රමාණයක බැහැර කිරීමක් සිදු වේ. මිනිසුන් සැමවිට ම "හිඩැස් අතරින් වැටීමට," සිදුවේ.

උදාහරණයක් ලෙස දකුණු අප්‍රිකාවේ, ආදායම් ආධාර ප්‍රදානයට ප්‍රවේශ වීමේ හැකියාව රඳා පවතින්නේ, ජනගහනයෙන් 20%ක් පමණ අන්තර්ජාල ප්‍රවේශය නොමැති, ඩිජිටල් සාක්ෂරතාවයේ මට්ටමක් මත ය.

ජෛවමිතික අනන්‍යතා අවශ්‍යතා සපුරාලීම සඳහා උසස් තත්ත්වයේ කැමරාවක් සහිත ස්මාර්ට් ජංගම දුරකතනයක් ද ප්‍රතිලාභීන් සතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සුදුසුකම් ලබන බොහෝ දෙනෙකුට කිසි දා මූල්‍යමය ආධාර නොලැබෙන බව ආචාර්ය හව්සන් පවසයි.

ඉන්දියාවේ, "දරිද්‍රතා රේඛාවට පහළින්" කාඩ්පත් ඇති පුරවැසියන් රජයේ සහන සඳහා සුදුසුකම් ලබන නමුත්, සමීක්ෂණවලින් හෙළි වී ඇත්තේ දුප්පතුන්ගෙන් අඩකට පමණ කාඩ්පත නොමැති බවයි.

"විධිමත් ගිණුම් තැබීමක් හෝ ආදායම් දත්ත නොමැතිව, ප්‍රධාන වශයෙන් ස්වයං රැකියා ක්ෂේත්‍රයේ, අවිධිමත් අංශයේ රැකියා සංකේන්ද්‍රණය වී ඇති පරිසරයක, වත්කම් පරීක්ෂාව ඉතා අපහසු වෙන්න පුළුවන්. ඒ තත්ත්වයන් යටතේ, දුප්පතුන් හඳුනා ගැනීම මිල අධික, දූෂිත, සංකීර්ණ සහ මතභේදාත්මක වෙන්න පුළුවන්," යනුවෙන් බර්ක්ලිහි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රනබ් බර්දන් 2016දී ලෝක ආර්ථික සංසදයේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද ලිපියක ලිවීය.

 

සැමට මුදල්?

A man sells food in his street booth in Shanghai, Chinaඅධ්‍යයනවලින් පෙනී යන්නේ ප්‍රදාන මගින් ප්‍රතිලාභ ලබන්නන්ට ඔවුන්ගේ අද්විතීය අවශ්‍යතා සපුරාලීම සඳහා යම් නම්‍යශීලී බවක් ලබා දෙන බවයි

ජර්මානු අත්හදා බැලීමේ ප්‍රතිඵල ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල සිදු කරන ලද ප්‍රතිඵලවලට සමාන ද? ඒ වගේ ම මේ අදහස්වලට ජාත්‍යන්තරව වටිනාකමක් ලැබී තිබෙනවා ද?

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තය, නැමීබියාවේ ගම්මාන සහ ආහාර හා ඉන්ධන සහනාධාර ඉවත් කර ගැනීම සඳහා 2011දී හඳුන්වා දුන් ඉරානයේ ජාතික මුදල් හුවමාරුව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල මෑත වසරවලදී තවත් UBI අත්හදා බැලීම් ගණනාවක් සිදු වී ඇති බව, 2019දී ජාතික ආර්ථික පර්යේෂණ කාර්යාංශය (NBER) සඳහා මෙම මාතෘකාව පිළිබඳව ශාස්ත්‍රීය පත්‍රිකාවක් ලියූ නොබෙල් ත්‍යාගලාභී අභිජීත් බැනර්ජි ඇතුළු ආර්ථික විද්‍යාඥයින් පිරිසක් පවසති.

මෙම පුළුල් උදාහරණවලින් නිගමනවලට එළඹීම දුෂ්කර බව ඔවුහූ පවසති.

කෙසේ වෙතත්, ප්‍රදාන මගින් ඒවා ලබන්නන්ට යම් නම්‍යශීලී බවක් ලබා දී ඇති බව පෙනේ. වෙනත් වචනවලින් කිවහොත්, ඔවුහු ආහාර සඳහා හෝ සරුභාවය සඳහා වන ප්‍රතිකාර වෙනුවෙන් හෝ උපත් පාලන ක්‍රම සඳහා හෝ වේවා, ඔවුන්ගේ ම ජීවිතවලට වඩාත් ම අදාළ වන අවශ්‍යතාවලට වියදම් කිරීමට ඉලක්ක කර ගත්හ.

UBIහි ධනාත්මක බලපෑම් විශේෂයෙන් කැපී පෙනෙන්නේ ඉහළ අසමානතාවයක් ඇති සන්දර්භයක් තුළ බව ආචාර්ය හව්සන් පවසයි. නමුත් UBI සඳහා සෑම දේශපාලන ප්‍රවහයකින් ම සහයෝගයක් ලැබී ඇති බව ඇය තවදුරටත් පවසයි.

ආදායමක් උපයා ගැනීම මූලික අයිතියක් යන විශ්වාසය මත වාමාංශික තර්කය පදනම් වී ඇත. නමුත් ලිබර්ටේරියන් දක්ෂිණාංශිකයින් පවා එය ක්‍රියාත්මක කිරීම සඳහා කරුණු ඉදිරිපත් කර තිබේ. නමුත් ඒ විවිධ හේතු නිසා බව ඇය පවසයි.

වර්ධනය වන ස්වයංක්‍රීයකරණය සහ කෘත්‍රිම බුද්ධියේ නැගීම හමුවේ භාණ්ඩ හා සේවා මිල දී ගැනීම දිගට ම කරගෙන යාමට ජනතාව දිරිමත් කිරීම පවත්වා ගැනීම සඳහා UBI උපකාර වන බව බිලියනපති ව්‍යාපාරිකයෙකු සහ දේශපාලන උපදේශකයෙකු වන ඊලොන් මස්ක් වැනි ඊට පක්ෂව අදහස් දක්වන්නන් අතීතයේ දී පවසා තිබේ.

ආචාර්ය හව්සන් තවදුරටත් මෙසේ පවසයි: "UBI යනු සංවර්ධනය සඳහා බලවත් මෙවලමක්. තාර්කිකත්වය [විවිධ සන්දර්භයන් සඳහා] වෙනස් විය හැකි නමුත්, තර්කය එලෙස ම පවතිනවා."

UBI ප්‍රදාන ලබා දීමෙන් ලැබෙන අනෙකුත් ප්‍රතිලාභ පිළිබඳව ආචාර්ය හව්සන් පෙන්වා දෙයි. මානසික හා ශාරීරික සෞඛ්‍යයට ධනාත්මක බලපෑමක් ඇති බව යෝජනා කරන දත්තවලට අමතරව, එම ප්‍රදාන ලබන පවුල්වල දරුවන් වැඩි කාලයක් පාසලේ රැඳී සිටීමේ ප්‍රවණතාවක් ඇති බැවින්, අධ්‍යාපන අනුපාත කෙරෙහි ද වාර්තාගත බලපෑමක් ඇත.

කෙන්යාවේ සහ ඉන්දියාවේ අත්හදා බැලීමේ කොටස්කරුවන් වූ කාන්තාවන් තවදුරටත් මුදල් සඳහා නිවසේදී පිරිමින් මත යැපෙන්නේ නැති නිසා ඔවුන්ට වැඩි ස්වාධීනත්වයක් ලැබුණු බව ඇය පවසන්නීය. සමහර අවස්ථාවලදී, එය කාන්තාවන්ට අනර්ථකාරී සබඳතා අත්හැරීමේ හැකියාව ලබා දුන්නේ ය.

A shopping aisle in a supermarket in Texas in the United Statesඅඩු ආදායම්ලාභී රටවල් UBI හේතුවෙන් වඩාත් ධනාත්මක බලපෑම් පෙන්වීමට නැඹුරු වන අතර, ඉහළ ආදායම් ලබන රටවල් වඩාත් නිහඬ ප්‍රතිඵල පෙන්වන බව එක් විශේෂඥයෙක් පවසයි

කෙසේ වෙතත්, ඇතමුන් පවසන්නේ, ජර්මානු අත්හදා බැලීමෙන් විශ්වීය නිගමනවලට එළඹීම දුෂ්කර බවයි.

කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඊවා විවෝල්ට් විසින් එක්සත් ජනපදයේ ටෙක්සාස් සහ ඉලිනෝයි යන ප්‍රාන්ත දෙකේ UBIG පිළිබඳ අධ්‍යයනයක් මෙහෙයවන ලදී.

එහිදී, වසර තුනක් පුරා සෑම වසරක ම ඇමෙරිකානු ඩොලර් 12,000ක මුදල් ලැබූ පුද්ගලයෝ සතියකට සාමාන්‍යයෙන් පැය 1.3ක් අඩුවෙන් වැඩ කළ අතර, ජර්මානු අත්හදා බැලීමට වෙනස්ව, ඔවුන් උපයන ආදායම සෑම වසරක ම ඩොලර් 1,500කින් අඩු කර ගත්හ.

"අඩු ආදායම් ලබන රටවල් වඩාත් ධනාත්මක බලපෑම් පෙන්වීමට නැඹුරු වන අතර, ඉහළ ආදායම් ලබන රටවල් වඩාත් නිහඬ ප්‍රතිඵල පෙන්වනවා," ඇය බීබීසී වෙත පැවසුවා ය.

"අපේ අධ්‍යයනයේදී, වැඩි වැඩියෙන් පුද්ගලයින් වැඩ කිරීම නවත්වන ආකාරය හෝ ඔවුන්ගේ වැඩ කරන කාලය අඩු කරන ආකාරය අපි දුටුවා.

"ඒවා අනුමාන කිරීම් විතරයි, නමුත් අඩු ආදායම්ලාභී රටවල මිනිසුන්ට තියෙන මුදල් සීමා සහිතයි, ඒ නිසා පොඩි මුදලක් වුණත් ඒක වටිනවා. ඉහළ ආදායම් ලබන රටවල, ජනතාවට මුදල් මගින් විසඳා ගැනීමට අපහසු ගැටලු ඇති වෙන්න පුළුවන්."

 

බදු ගෙවන්නන් ගැන කුමක් කිව හැකි ද?

UBI ප්‍රදාන "යැපුම් මානසිකත්වය" ප්‍රවර්ධනය කරන බවට ත්, මිනිසුන් රැකියාවලින් ඉවත් වීම හරහා බදු ගෙවීමේ පීඩනය රැකියාවල නිරත අයට පැටවෙන බව ත් පුළුල් විශ්වාසයක් විශ්වීය වශයෙන් පවතින බවටත් ආචාර්ය හව්සන් පවසයි.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෆ්ලෝරා ගිල් UBI ගැන සැක පහළ කරයි. 2023දී Transforming Society බ්ලොග් අඩවියට ලියමින් ඇය මෙසේ පැවසුවා ය: "මිනිසුන්ට වැඩ කිරීමට අවශ්‍ය නම්, ඔවුන්ට එය කළ හැකි විය යුතුයි. දැනට එහෙම නැහැ. අපි UBIG එකක් ස්ථාපනය කරන්න කලින්, මෙම මූලික මානව අයිතිය සහතික කළ යුතුයි."

"ජීවත් වීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා බෙහෙවින් පහළින්" පවතිනු ඇතැයි ඇය විශ්වාස කරන විශ්වීය UBIG සඳහා අරමුදල් සැපයීමට ඇති එක ම මාර්ගය බදුකරණය සැලකිය යුතු ලෙස වැඩි කිරීම බව මහාචාර්ය ගිල් කනස්සල්ලට පත්ව සිටී. "විශ්වීය මූලික ආදායම සඳහා අපේ ආර්ථිකයන්හි දැනට සංසරණය වෙන බදු ආදායමටත් වඩා දැවැන්ත ප්‍රමාණයක් අවශ්‍ය වේවි," ඇය ලියයි.

කෙසේ වෙතත්, UBI ප්‍රතිවිරුද්ධ දෙය සාක්ෂාත් කර ගන්නා බව ආචාර්ය හව්සන් විශ්වාස කරයි.

"දකුණු අප්‍රිකාව වැනි සන්දර්භයක් තුළ, බොහෝ මිනිසුන් ආර්ථිකයෙන් එළියෙන් ඉන්නේ. බදු පදනම පුළුල් කිරීමේ ක්‍රමය තමයි, පළමුව ආහාර දරිද්‍රතාවය සහ කුසගින්න තුරන් කරලා, ජනතාව මේ ඉනිමගේ පළමු පියවරට ගෙන ඒම. එතකොට ඔබට මානව නිර්මාණශීලිත්වය සහ ව්‍යවසායකත්වය මුදා හැරීමට පුළුවන් වෙනවා. මිනිසුන්ට ඕනේ වඩා ත් ඵලදායී වෙන්න."

UBI සඳහා අරමුදල් සැපයීමට බදු ගෙවන්නන් මත වැඩි පීඩනයක් යෙදීමට වඩා, "මුදල් වැය කිරීම, වියදම්, වැට් [එකතු කළ අගය මත බද්ද] හෝ ව්‍යාපාර පිහිටුවීම හරහා රජයේ භාණ්ඩාගාරයට මුදල් නැවත ගලාගෙන එනවා."

වෙනත් ගැටලු

විභවයක් තිබියදීත්, ඇතැම් පර්යේෂකයන් පවසන්නේ UBIG හඳුන්වා දීම පිළිබඳව තවමත් යම් ගැටලු පවතින බවයි. උදාහරණයක් ලෙස, මිනිසුන් වැඩ කිරීමට දිරිමත් නොකළහොත් ශ්‍රම බළකාය හැකිලීමට ඉඩ තිබේ.

උද්ධමනය තවත් ගැටලුවකි. 2011දී ඇරඹි ඉරානයේ විශ්වීය මුදල් පද්ධතිය හරහා ගෙවන ලද මුදල උද්ධමනය සමග ගලපා නොමැති බැවින් 2019 NBER පර්යේෂණ පත්‍රිකාවට අනුව, රටේ ජීවන වියදම අහස උසට නැගුණ ද මුදල් ලබන්නන්ගේ සැබෑ ආදායම විශාල වශයෙන් පහත වැටී ඇති බව නිරීක්ෂණය කර තිබේ.

විශේෂඥයින් පවසන්නේ, සමාජ ව්‍යුහයන් හෝ සහජීවනය ද තර්ජනයට ලක්විය හැකි අතර එය අස්ථාවරත්වයට හේතු විය හැකි බවයි.

සමස්තයක් වශයෙන්, මහාචාර්ය විවෝල්ට් පවසන පරිදි, එය රඳා පවතින්නේ රජයන් ජනතාවට තේරීමක් ලබා දීම කොතරම් අගය කරනවා ද සහ ඔවුන් කොපමණ මුදලක් වියදම් කිරීමට කැම තිද යන්න මත ය. "කෙටි කාලීනව, ඉහළ ආදායම් ලබන රටවලට පුළුල් පරිමාණයෙන් ඒක දේශපාලනිකව කරන්න බැරි වේවි, මොකද ඒකට ලොකු පිරිවැයක් යන නිසා," ඇය පවසයි.

"බොහෝ විට [අඩු ආදායම් ලබන රටවල] ප්‍රතිපත්ති සම්පාදකයින්ට සෞඛ්‍ය සේවා හෝ අධ්‍යාපනයේ ඇතැම් ප්‍රතිඵල වැඩිදියුණු කිරීමට කැමැත්තක් තියෙන්න පුළුවන්. ඔබේ ඉලක්ක වෙන්නේ ඒවා නම්, ඒ නිශ්චිත දේවල් ඉලක්ක කරගත් වැඩසටහන් තිබීම වඩාත් ඵලදායී වේවි. මුදල් සම්බන්ධයෙන් ඇති විශේෂත්වය තමයි, මිනිස්සුන්ට ඒක විවිධ ආකාරවලින් සහ විවිධ දේ සඳහා වියදම් කළ හැකි වීම."

 

කර්තෘ - නික් එරික්සන්

(මූලාශ්‍රය - BBC News සිංහල ඇසුරිනි)

 

Back to top
Go to bottom