ඔහු සිටින බොහෝ තැන්වල සිනහවෙන් නම් අඩුවක් නැත.
මේ ළමා රංගන ශිල්පියා වෙස් නර්තන ශිල්පියෙක්, ළමා හඬ නළුවෙක්. රංගනය, නර්තනය වගේම සංගීත හැකියාවත් ඔහුට සරසවි මෑණියන්ගෙන් නොඅඩුව ලැබී තිබෙනවා. ප්‍රේක්ෂකයාගේ මුවගට සිනාවක් කැන්දාගෙන ආ කටකාර, දඟකාර බරණව ඔබට මතක ඇති. ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වුණු හපන්නු අපි ගමේ රාජ්ජෙ ටෙලි නාට්‍යයේ බරණගේ චරිතය රඟපෑ කුසල් දම්සිත් අද අප ඔබ හමුවට ගෙන එන්නෙමු.
කුසල් මේ දවස්වල මොනවද කරන්නේ?
මේ දවස්වල ඉස්කෝලේ වැඩවලට අමතරව මම කාටූන්වල ඩබින් කරනවා. ළඟදි වෙස් නැටුම් ශිල්පියෙක් විදිහට වෙස් තිබ්බා. ඒ නිසා ඒ පුහුණු කටයුතුත් කරනවා. ඒ වගේම දෙරණ නාළිකාවේ විකාශය වන සැලෙනා නුවන් ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලටත් සම්බන්ධ වෙනවා.
මහරගම ජනාධිපති විද්‍යාලයේ අට ශ්‍රේණියේ මම ඉගෙන ගන්නේ. විද්‍යාව, ගණිතය, නැටුම් තමයි මම වැඩිපුරම ආසම විෂයයන්.
කුසල් කලාව සමඟ එක්වුණේ කොහොමද?
මම සම්බන්ධ වුණු පළවෙනි හඬ වැඩසටහන තමයි දෙරණ ගුවන් විදුලියේ විකාශය වුණු පුංචි තරුත් එක්ක ආයුබෝවන් දෙරණ. ඉන් පස්සේ මම පළමුව රංගනයෙන් පිවිසෙන්නේ කෝපි කඩේ ටෙලි නාට්‍ය හරහා. කෝපි කඩේ, පංචායුධය, ටීචර් අම්මා, සැලෙනා නුවන්, 1990, හපන්නු අපි ගමේ රාජ්ජේ යන ටෙලි නාට්‍යවල මේ වන විට රඟපා තියෙනවා. ඊට අමතරව වෙළඳ දැන්වීම් 25ක පමණ හඬ කවා තියෙනවා.
ඔබේ පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
අම්මයි, තාත්තයි, අයියයි මමයි තමා අපේ පවුලේ ඉන්නේ. ගෙදර අයගෙන් කලා කටයුතුවලට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඉස්කෝලේ අතපසු වෙන පාඩම් වැඩ කරගන්න ටීචර්ලා, යාළුවෝ ගොඩක් උදව් කරනවා. ඒ වගේම යාළුවන්ගේ අම්මලා තාත්තලත් මට ලොකු සහයෝගයක් දෙනවා. එයාලා මගෙ රඟපෑම් අගය කරනවා.
වැඩිපුරම ඔයාට ලැබෙන චරිත මොනවද කුසල් ?
කටකාර, දඟකාර, ගමේ ළමයගෙ චරිත ලැබෙනවා වැඩියි. ඒ අතරේ අහිංසක ළමයගේ චරිතත් ලැබෙනවා.
ඔබ මෙතෙක් රඟපෑ චරිතවලින් වැඩිපුරම ආසා මොන චරිතයටද?.
හපන්නු අපි ගමේ රාජ්ජේ නාට්‍යයේ මං රඟපාපු බරණගේ චරිතෙට ගොඩක් ආසයි. ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාරත් ඒ චරිතෙට ලැබුණා.
රූගත කිරීම්වලදී ඔයාට අනෙක් නැන්දලා මාමලගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මාත් එක්ක රඟපාන අනික් නළු, නිළි නැන්දලා මාමලාගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. සැලෙනා නුවන් නාට්‍යයේ රූගත කිරීම්වලදි පිටපතේ තියෙන දෙබස්ම කියන්නේ නැතුව “පුතේ මෙහෙම කියන්න“ කියලා මගේ තාත්තට රඟපාන නන්දන මාමා කියලා දෙනවා. ඒ වගේම හපන්නු අපි ගමේ රාජ්ජෙ රූගත කිරීම්වලදී අධ්යක්ෂ බුද්ධික ලොකුකැටිය සර් මට අඬන සීන් ගන්නකොට ‘මෙහෙම අඬන්න‘ කියලා අඬලා පෙන්නුවා. ඔයාගේ චරිතයට ඇවිත් මෙහෙම කරන්න කියලා ගොඩක් උපදෙස් දුන්නා.
හපන්නු අපි ගමේ රාජ්ජෙ නාට්‍ය රූගත කිරීම් වලදි මගෙ චරිතය නිසා ගෙම්බා කියලා කියන්නේ. මොකද මම ගෙම්බො අල්ලන එක තමයි වැඩේ. කුඹුරට ගිහින් අමුඩෙකුත් ගහගෙන මං ගෙම්බෙක් අල්ලනවා. ඒකා ලොකු ගෙම්බෙක්. පළවෙනි වතාවට අල්ලනකොට හිරිකිතයි වගේ දැනුණා. බුද්ධික සර් එහෙමත් ඒ වෙලාවේ ගෙම්බෝ අල්ලලා දීලා මගෙ හිතේ තිබුණු ඒ ගතිය මඟ ඇරියා. තව දවසක් මහව පැත්තෙ ශූටින් කරනකොට අපි හිටපු ගෙදර ළඟට අලි ආවා. එදා නම් මම හොඳටම බය වුණා. තව හපන්නු අපි ගමේ රාජ්ජෙ නාට්‍ය ශූටින් කරනකොට කැලෑවල ඇවිදිද්දි කටු ඇනිලා, කකුල් සීරිලා පහුවදාට කකුල් කැක්කුමයි. තව සිද්ධියක් තමයි කළු හරකා මං ඇදගෙන යනකොට බිම වැටිලා මං තුවාල වුණා.
විශේෂයෙන් ස්තූති කරන්න ඕන පිරිසක් ඉන්නවා කීවනේ. ඒ අය ගැනත් කියමු.
ප්‍රගීත් විජේසූරිය සර්, දිල්රුක්ෂි සෙනෙවිරත්න මිස්, ශානි තරංගනී, මදුමාලි ජයසිංහ, ප්‍රභාත් දුෂ්‍යන්ත, ගයාන් මහගලගෙ, සුදත්ත තිලකසිරි සර්, ශ්‍රියන්ත ප්‍රසාද්, ප්‍රින්සිපල් සර් වසන්ත කුමාර, බුද්දික ලොකුකැටිය සර්, තනුජාවි විජේවික්‍රම, තරංගා නානායක්කාර, භාග්‍යා ෆනැන්ඩෝ,අසේල මදුසංක, අචිනි නිශාන්දිකා සියලුම දෙනාව ආදරයෙන් මතක් කරනවා.
කුසල් අනාගතේදි රැකියාව විදිහට කලාව තෝරගන්නවද ?
මම කැමැති නීතිඥයෙක් කෙනෙක් වෙන්න. ඒ ගමන් රඟපෑම, හඬ කැවීම දිගටම කරන්නත් බලාපොරොත්තු වෙනවා.
කුමුදිකා ඩී සපුතන්ත්‍රී(රසඳුන)