lan englan tam

පුවත්

ජීවිතය ජයගන්න! මේ පොත කියවන්න! නැවත නැවත කියවන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

බරසාර රොකට්ටුවකින් ඔළුව ඇතුළෙහි පවතින අසීමාන්තික අජටාකාශයට ප්‍ර‍ෙව්ශ විය නොහැකිය. ඒ සඳහා අතිශය විස්මිත හා ඉසියුම් යන්ත්‍රයක් ද? ලුහුඬු හා සැහැල්ලු ගමන් මාර්ගයක් ද තනාගත යුතුය. චන්දන සූරියබණ්ඩාර නම් ප්‍රවීණ මාධ්‍යකරුවා එම කාර්යයන් දෙකම ඉටු කරගෙන ඇත්තේ අප විස්මයට පත් කරමින්ය. ඔහු භාවිත කරන සෑම වචනයක්ම, සෑම වාක්‍යයක්ම අපගේ හදගැස්ම වේගවත් කරයි.

සරල හරස්කඩක් ගතහොත් ප්‍රබන්ධ කතා කෙරෙහි වැඩි පාඨක ආකර්ෂණයක් පවතියි. එය සත්‍යයකි. දත්ත මගින් ද ඒ බව සනාථ වේ. එහෙත් ප්‍රබන්ධ නොවන ශාස්ත්‍රීය හා විෂයානුබද්ධ කෘතීන් ප්‍රබන්ධ කතාකෘති ඉක්මවා අලෙවි වන අවස්ථා ද තිබේ. “බෙස්ට් සෙලින්” යන්න බටහිර සල්පිලවල සන්නාමයක් ලෙස පවතින්නේ යැයි කීම නිවැරදිය. යුරෝපීය රටවල සේම අමෙරිකාව බ්‍රිතාන්‍යය, ඉන්දියාව වැනි රටවල ද පොත් අලෙවිය සම්බන්ධයෙන් ඇති බදු ප්‍රමාණයෙන් අඩුය. ඇතැම්විට කිසිදු බද්දක් අය නොකෙරේ. ඒ අනුව පාඨකයාට යම් නිදහසක් ඇතිව කොන්දේසි විරහිතව පොත් සල්පිල් වෙත යෑමේ අවස්ථාව ඇත.

ඉහත විස්තරය දක්වන්නට සිත් වූයේ චන්දන සූරියබණ්ඩාරගේ ‘කම්මැළි මොළේ’ නම් පොත කියවීමෙන් හිතට නැඟුණු අවංක හැඟීමක් ප්‍රකාශ කරනු සඳහාය. මේ පොත මූලික වශයෙන් නව දැනුම පාදක කොටගත් ප්‍රබන්ධ නොවන ගණයට වැටෙන සංග්‍රහයකි. එය නව දැනුම සොයා යන කෙනකුට අතිශයින්ම වැදගත් වන සිංහල කෘතියකි. එය මා අතිං පත්වැ තිබේ. එය කියවා අවධාරණය කරගත් පසු මගේ අත්දැකීම් හුවමාරු කරගත යුතු යැයි කල්පනා කළෙමි. එය එක් පාඨක සමාජයකට සීමා නොවන හා ඕනෑම වයස් කාණ්ඩයකට ඔරොත්තු දෙන ප්‍රබන්ධ නොවන ගණයට අයත් අපූරු පොතකි. චන්දන සූරියබණ්ඩාර විසින් රචනා කරන ලද එම කෘතිය ‘කම්මැළි මොළේ’ යනුවෙන් නම් කර ඇත. සිරසට අනුව එය ළමා පොතක් යැයි හැඟෙන්නට පුළුවන. එහෙත් එම පොත ළමා, තරුණ, වැඩිහිටි කාටත් ඔරොත්තු දෙන, කවුරුත් කියැවිය යුතු කෘතියක් සේ හඳුන්වන්නට කැමැත්තෙමි.

යුරෝපයේ ජනප්‍රිය පොත් සල්පිලකට ගියහොත් අලෙවි සහායකයෝ ඔබ කරා පැමිණ නිසැක ලෙසම ප්‍රශ්න දෙකක් විචාරති. පළමු ප්‍රශ්නය නම්; ඔබ සොයන්නේ ප්‍රබන්ධ කතාවක් ද? ප්‍රබන්ධ කතා ගණයට අයත් නොවන පොතක් ද? යන්නය. දෙවන ප්‍රශ්නය නම්; ඔබ සොයන කෘතිය බෙස්ට් සෙලින් ලිස්ට් එකට අයත් ද? නැති ද? යන්නය. පොත් අලෙවියේ සාමාන්‍ය හරස්කඩක් ගතහොත් ප්‍රබන්ධ කතාවලට කොහෙත් වැඩි ඉල්ලුමක් පවතියි. තර්කයට අනුව ප්‍රබන්ධ කතාවලින් වින්දනයත් ප්‍රබන්ධ නොවන කෘතිවලින් නව දැනුම සොයා යෑමත් සිදුවන්නේ යැයි විශ්වාසයක් පවතියි.

ශ්‍රි ලංකාවේ අපගේ අත්දැකීමට අනුව වැඩිම පාඨක ආකර්ෂණයක් ඇත්තේ නවකතාවලටය. එහෙත් වැඩිම ආකර්ෂණයක් සහිත ප්‍රබන්ධ නොවන පොත් ද පවතියි. එබඳු අවස්ථාවලදී ඒවා පළමු කී සම්මතයන් පුපුරුවා හරිනු ඇත. ඒ කුමක් වුව ශ්‍රී ලංකාවේ අපට ඇත්තේ කුඩා පාඨක සමාජයකි. සිරිතක් වශයෙන් පොතක් මිලට ගෙන කියවන හා ඒවා ඒකරාශී කරන පාඨක පිරිස ඉතා සීමිත වෙති.

පොත් වෙළෙඳපොළෙහි හැසිරීම් රටාව හා පාඨකයාගේ ආකර්ෂණය දිනාගැනීම, අලෙවි වාර්තා තැබීම ආදිය හැමවිටම අවිනිශ්චිත අහඹු සිද්ධීන් ලෙස පවතියි. ඉන්දියාවේ කීර්තිමත් රාජ්‍යතාන්ත්‍රිකයකු වූ රජීව් ගාන්ධි වරක් ප්‍රංශයට ගොස් එයට සම්මුඛ සාකච්ඡාවකදී (1985) කියා සිටියේ තමන්ගේ ප්‍රියතම ලේඛකයා ඇල්බෙයා කැමූ බවය. එහෙත් පසුව හෙළිවූයේ ගාන්ධි මහතා ළඟ කැමැති එක පොතක්වත් නැති බවය. මෙයින් සනාථ වන එක් කාරණයක් වන්නේ පාඨකය ආකර්ෂණය, සම්මාන, අලෙවි වාර්තා ආදිය පිළිබඳ නිශ්චිත සාධක නොපවතින බවය.

අප මෙහිලා සිහිපත් කරන ප්‍රධාන තර්කයක් වන්නේ චන්දන සූරියබණ්ඩාරගේ ‘කම්මැළි මොළේ’ පොතෙහි ප්‍රබන්ධ කතා ලක්ෂණ සෙවීම කොයි අතින් බැලුවද නිෂ්ඵල ක්‍රියාවක් බවය.

චන්දනගේ කෘතියෙහි ඉලක්කය කෙටි වාක්‍ය තුනකින් දැක්විය හැකිය.

(i) මිනිස් මොළය පිළිබඳ හඳුන්වාදීම

(ii) මොළය හා මානව චර්යා නිරීක්ෂණය කිරීම‍

(iii) මොළය උත්තේජනයකොට අලස මිනිසා කාර්යක්ෂම ජීවියකු බවට පත් කිරීම.

මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විග්‍රහ හා වගවිස්තර ඇතුළත් වෛද්‍ය විද්‍යාත්මක පොත-පත ඕනෑතරම් තිබේ. හෙටත් ඒවා පිළිබඳ අලුත් පොත් තව – තව ලියැවෙනු ඇත. ඒවා විෂයානුබද්ධ ශාස්ත්‍රීය කෘති ලෙස හැඳින්විය හැකිය. එබඳු කෘති කෙරෙහි ආකර්ෂණය වන්නේ අදාළ විෂයයන් හදාරන විද්‍යාර්ථීන් යැයි කිවහැකිය. සාමාන්‍ය ජනතාවට කියවා දිරවාගත හැකි අයුරින් එවැනි කෘති සකස් කිරීම දුෂ්කරය. එබඳු ක්‍රියාවලියකට අතගසන කෙනකු සොයා ගැනීම ද අමාරුය. චන්දන සරල භාෂාවකින් හා පාඨකයාට දැනෙන ශෛලියකින් සිය කෘතිය ඉදිරිපත් කර තිබේ.

‘කම්මැළි මොළය’ සැබැවින්ම අසාමාන්‍ය යන්ත්‍රයකි.මතකය, නිර්මාණශීලීත්වය, ඉගෙනීම හා විස්මිත ජයග්‍රහණ සාධනය කිරීමට හැකියාව ඇත්තකි. එහෙත් එය පහසුව සඳහා ද සකස් වී ඇති අතර නිතර කෙටිමාර්ග සොයමින් අභියෝගාත්මක කාර්යයන් මගහරියි. මේ පරිසරය “කම්මැළි මොළය” යන සංකල්පය ගොඩනැඟීමට මා පෙලැඹවීය.”

(පෙරවදන)

කතුවරයා වටිනාකමකින් යුතු අපූරු අදහස් කිහිපයක් අප හමුවේ තබයි.

(I) මානවයාගේ විස්මිත ජයග්‍රහණ පසුපස ඇති ප්‍රධාන බලවේගය මොළයයි.

(II) මොළයෙන් වැඩ ගැනීමට එය ක්‍රියාත්මක කළ යුතුය. ඒ සඳහා සාධනීය වැඩසටහනක් සකස් කරගත යුතුය.

(III) අභියෝගාත්මක කාර්යයන් ඉදිරියේ මොළය පසුබා සිටින්නට පුළුවන. එය වළක්වා ගතයුතු කාරණයකි.්‍

(IV) අවශ්‍ය උත්තේජක සැපයී‍ෙමන් මොළයෙහි ක්‍රියාකාරීත්වය වර්ධනය කර ගත හැකිය.

චන්දන සූරියබණ්ඩාර මහතාගේ ඉහත විග්‍රහය දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් මහඟු බලපෑමක් කරන උපදේශනයක් ලෙස හුවා දැක්විය හැකිය. පසුව ඔහු මේ සාධක තවදුරටත් විස්තාරණය කර දැක්වේ.

(I) මතකය වර්ධනය කරගැනීම

(II) ඉගෙනීමට අභිප්‍රේරණය ඇතිකිරීම

(III) නිර්මාණාත්මක හෙවත් ප්‍රතිභාව මතු කිරීම

ප්‍රතිභාව, නිර්වචනයේ කිරීම සඳහා පෙරදිග ශාස්ත්‍රඥයෝ බලවත් පරිශ්‍රමයක් දැරූහ. පෙරදිග මතයට අනුව එය වාසනා ගුණයකි. ආත්මයෙන් – ආත්මයට ගමන් කරනු ලබන බලයකි. ප්‍රතිභාව ඉබේ පහළ වන්නේ නැති බවත් ඒ සඳහා නිරන්තර අභ්‍යාසයක යෙදිය යුතු බවත් අපරදිග ශාස්ත්‍රඥයෝ පෙන්වා දුන්හ. මේ පිළිබඳ කරුණු සොයා යෑම අපූරු චාරිකාවක් වනු ඇත. චන්දනගේ පොත එම චාරිකාවට අවශ්‍ය මාර්ග සිතියම සපයන බව කිවයුතුය.

මේ පොත පරිච්ඡේද දොළහකින් සමන්විතය. ඒ සෑම පරිච්ඡේදයක්ම හඳුන්වා දී ඇත්තේ අපූරු යෙදුම්වලින්ය. “මතක මායා පෙට්ටිය, පාඩම් කිරීමේ මායා තොප්පිය, පාඩම් කරන මැජික් මන්තර, හිසේ ගිනිකෙළියට පිදුරු දැමීම, කල් නොදමා පියාඹන්න. ඊට නිදසුන් ලෙස දැක්විය හැකි සිරස්තල කිහිපයකි. ජීවිතය ජයගන්න! මේ පොත කියවන්න! නැවත නැවත කියවන්න. අපගේ නිර්දේශය එය වෙයි.

රන්ජන් අමරරත්න - දිනමිණ

Back to top
Go to bottom

Popular News