ප්‍රවීණ සිනමා කැමරා ශිල්පී චන්න දේශප්‍රිය සිය පළමුවැනි සිනමා මෙහෙයුම
‘යූ ටර්න්’ අදින් වසර පහකට පෙරාතුව සිනමාශාලා කරා රැගෙන එන්නේ නිර්මාණශීලී මතු බලාපොරොත්තු එපමණටම නොපෙන්වමින්. එක අතකට ‘යූ ටර්න්’ එනමින්ම යුතු ඉන්දියානු දමිළ භාෂීය සිනමාපටයේ සෘජු අනුකරණයක්. එසේම තමා සිනමා කැමරාවෙන් පෑ සමත්කම් නිර්ව්‍යාජව හා කැපී පෙනෙන අන්දමින් සනිටුහන් කරන්නටද මෙහිදී ඔහු උත්සුක වන්නේ නැහැ.
කෙසේ වුවද චන්න සිය දෙවන සිනමා මෙහෙයුම ඉකුත් වසරේදී සිනමාශාලා කරා රැගෙන එන්නේ ‘යූ ටර්න්’ පිළිබඳ මතකය මුළුමනින්ම වගේ යටපත් කරමින්. මේ ‘දුස්රා‘. ‘දුස්රා’ යන්න වැඩිපුරම කියැවෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව සමඟ. චන්න සිනමාපටය අරඹන්නේද වියළි කලාපයේ ගම්පියසක දරු පිරිසක් ගැබිනි යුවතියකගේ සහභාගිත්වය සහිතව ක්‍රිකට් ක්‍රීඩා කරන අවස්ථාවකින්. මේ ගැබිනි යුවතිය සිනමාපටයේ ප්‍රධාන චරිතය බවට පත්වන්නේ ඇසිල්ලකින්. ඇය රතී. වඩා සුවදායී දිවියක් සරි කර ගනු වස් පෙම්බරයා සමඟ අතිශය අවදානම් සහගත අවස්ථා කරා ස්ව කැමැත්තෙන්ම පැමිණෙන රතී, සිරිලක සිනමාවට එක්වූ නව්‍ය චරිතයක්. ඇතුළාන්තයෙන් සුලබ චරිතයක්.
මෙසේ ස්ව කැමැත්තෙන්ම ජීවිත අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමේ අවදානම් අරගලයක නිමග්න වන බලහීන ස්ත්‍රීන් එලෙසින්ම නිරූපණය හරවත් සිනමාපටයකට සුදුසු වන්නේ නැහැ. මෙනිසාම සිනමාකරු චන්න රතීගේ දිවිය විවරණයට අපූර්ව ලකුණු සමුදායක් කැඳවන්නේ සිනමාපටයේ ආකර්ෂණීය බව තීව්‍ර කරමින්. රතීගේ චරිතය කිසිදු අතිශයෝක්තියකින් තොරව නිරූපණය කරන තිලක්ෂිණී රත්නායක බාධාවකින් තොරවම සිනමාපටයේ මුඛ්‍යාර්ථ මතු කරන අවකාශය බවටයි පත්වන්නේ. මෙසේ රසාලිප්ත ලකුණු සීමාවූ, විවාදාත්මක ලකුණු ඉස්මතු වූ සිනමාපටයක ප්‍රමුඛ සන්නිවේදන පාර්ශ්වය වන්නට තිලක්ෂිණී සමත්වීම නිසි ඇගැයීමකට ලක් කළ යුතු වනවා.
තිලක්ෂිණී මේ හපන්කම ගෙන එන්නේ සිනමා රූපණයේ තරමක අත්දැකීම් ලබා සිටින පසුබිමක. ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ ‘උසාවිය නිහඬයි’ වාර්තා සිනමාපටයේ චරිතයකට තෝරා ගැනීමම තිලක්ෂිණී ලැබූ ජයග්‍රහණයක්. වාර්තා සිනමාපට අරභයා විචාරාත්මක කතිකා පමා වීමේ අවාසනාව භුක්ති විඳින්නටද තිලක්ෂිණීට සිදුවූ බවද මෙහිදී සඳහන් කළ යුතු වනවා. ලලිත් රත්නායකගේ ‘විෂම භාග’හිදී ඇය ගම්බද පාසලක අවිහිංසක තරුණ ගුරුවරියකගේ කෙටි චරිතයක් නිරූපණය කරන්නේ අනෙක් වැඩිහිටි චරිතය නිරූපණය කළ ජැක්සන් ඇන්තනි හමුවේ පසුපසට නොයමින්. ඇය සිනමා රූපණයට අත්‍යන්තයෙන්ම ගැළපෙන බව පෙන්වූ හොඳම අවස්ථා වන්නේ ‘උසාවිය නිහඬයි’ හා ‘විෂම භාග’ ය යන්න අමුතුවෙන් කිව යුතු නැහැ.
‘දුස්රා’ පැමිණෙන විටත් බොහෝ දෙනෙකු තිලක්ෂිණී හඳුනා ගෙන සිටියේ රූපවාහිනී නිළියක ලෙසින්. රූපවාහිනී රූපණයේදී කටයුතු කළ යුතු අන්දම පිළිබඳ ඇය තුළ යම් වැටහීමක් තිබූ බවද පෙනී යනවා. විශේෂයෙන්ම ජගත් මනුවර්ණගේ ‘කොඩි ගහ යට’ රූපවාහිනී වෘත්තාන්තය අගනාම උදාහරණයක්. මෙහි නිශ්චිත ප්‍රධාන චරිත තිබුණේ නැහැ. හැම චරිතයක්ම අඩු තරමින් එක මොහොතකදී හෝ ප්‍රධාන චරිතයක් වනවා. තිලක්ෂිණීද මේ වග වටහා ගනිමින් ‘කොඩි ගහ යට’හි නිමාව විවාදාත්මක කරනු පිණිස දායක වන්නේ සෙස්සන් සමඟ උරෙ’නුර ගැටෙමින්. ‘කොඩි ගහ යට’ එක්තරා ආකාරයකින් සිනමානුරූපී රූපවාහිනී වෘත්තාන්තයක් සේ හඳුනා ගන්නටද පුළුවන්.
සිනමාව වෙතින් රූපණ කුසලතා විදහා දැක්විය හැකි චරිත වරින් වර හෝ නොලැබෙන්නේ නම් තිලක්ෂිණී වැන්නියනට සිදුවන්නේ අකටයුත්තක්. පුංචි තිරයට වඩා පුළුල් තිරය වඩා බලසම්පන්න බව අමතක කරන්නට බැහැ. පුළුල් තිරයේදී රූපණ හැකියා තමනට ඇතැයි යන්න පැවසූ තිලක්ෂිණී වැන්නියන් රූපවාහිනිය පොහොසත් කිරීම අනුමත කරන විද්වත් සිනමා රසිකයන් සිටින්නේ මඳ වශයෙන් වීමද මෙතැනදී සලකා බැලිය යුතු වූවක්.
තුසිත ජයසුන්දර(රසඳුන)