lan englan tam

පුවත්

ඇත්තටම සිනමාවෙන් කැපෙන හැටි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"සිංහල සිනමාවේ කැපිලි කෙටිලි නොවිණි නම් මට ද සිනමා නළුවෙක් වන්න තිබුණා" යැයි දිනක් මම දරුවන්ට කීවෙමි. ඔවුහු කොක්හඬලා සිනාසුණහ. මිතුරන් වට කර ගන්නා ඇතැම් සවස් කාලවල මම මේ කතාව ඔවුන්ට කියමි. ඔවුන් ද සිනාසෙන්නේ උපහාසයෙනි. බැරිම තැන සිංහල සිනමාවේ නිළි රැජන මාලනී ෆොන්සේකා සිනමාවට ප්‍රවේශ වුණේත් මා සමඟ සමකාලීනව බව කීවෙමි. ඔවුහු අතේ වූ වීදුරු, බිඳෙන තරමේ වේගයෙන් එකිනෙක හප්පා සිනාසෙති.

එහෙත් මා කීවේ ඇත්තකි.

ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි මාධ්‍යයට ගැළපෙන විකට වැඩසටහන් ආකෘතියක් හඳුන්වා දුන්නේ එච්.ඩී. විජයදාස මහතාය. ඔහු හාස්‍යොත්පාදක චිත්‍රපටයක් නිර්මාණය කළේය. ‘අබුද්දස්ස කාලේ’ නමැති ඒ චිත්‍රපටය රූගත කෙරුණේ හෙයියන්තුඩුවේ කළුගල් තලා අසබඩය. පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටියත්, මේ කළුගල් තලා අයිතිව තිබුණේ විජයදාස මහතාගේ පවුල්වල අයට බව තාත්තා කීවා මතකය. ඔය කියන කාලයේ මගේ වයස අවුරුදු හතරක් හෝ පහක් වෙන්නට ඇත.

‘අබුද්දස්ස කාලේ’ චිත්‍රපටයට මගේ පියා, සැමුවෙල් රොඩ්‍රිගෝ ඇතුළු එවක ගුවන්විදුලි විකට ශිල්පීන් සියලු දෙනා සහභාගි කරගෙන තිබිණි. එය එම ශිල්පීන්ගේද පළමු සිනමා ආගමනයයි.

විජයදාස මහතා ඇතුළු විහිළුතහළු කණ්ඩායම බිහි වුණේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙනි. එවකට විද්‍යාලංකාර පිරිවෙන ඇසුරේ පවත්වාගෙන ගිය කැලණිය ගුරුකුල විද්‍යාලයේ ශිෂ්‍යාවකට ද එහි ප්‍රධාන චරිතයක් ලැබී තිබිණි. සමහර විට එය, ඇයගේ මුල්ම චිත්‍රපටය වන්නට පුළුවන. ඇය නම් මාලනී ෆොන්සේකාය.

චිත්‍රපටය රූගත කරනු නරඹන්නට දිනපතාම වාගේ විශාල පිරිසක් රැස් වෙති. ඒ සියලු දෙනාටම කෑම පාර්සලය බැගින් ලැබේ. ඒවා ගෙනෙන්නේ ලොරි බාගයකය. එලෙස කෑම බෙදන්නේ පෑලියගොඩ නවලෝක මුදලාලි බව කවුරුදෝ කියනවා මට ඇසිණි. මමද ඉන් කෑම පාර්සලයක් ගෙන ගමේ මිනිසුන් සමඟ තාත්තාට හොරෙන් කළුගල් තලාව මතට වී රහසේම ගිල දමමි.

රූගත කිරීම් අවසන ආපසු ගෙදර යන්නේ ෆොක්ස්වැගන් වෑන් එකක හිර වෙලාය. එලෙස ආපසු එන වේලාවක තාත්තා මා දෙස හැරී අමුතු කතාවක් කීවේය:

“ඊළඟ දවසෙ එනකොට මතක් කරලා පොඩි හවඩිය අරගෙන එන්න.”

අපේ ගෙදර ලොකු රිදී හවඩියක් තිබේ. ඒ කාලේ ‘අමාරිස් අයියා’ චරිතයට තාත්තා භාවිත කළේ ඒ හවඩියයි. ‘අබුද්දස්ස කාලේ’ චිත්‍රපටයේ තාත්තාට ලැබී තිබුණේ වෙද මහතාගේ චරිතයයි. වෙද මහතා ද ‘අමාරිස් හවඩිය’ ඇන්දේය. ඒ හා සමාන කුඩා හවඩියක් අපේ සීයා විසින් මට තෑගි දී තිබිණි. රූගත කිරීම් සඳහා රැගෙන එන්නැයි තාත්තා කියන්නේ ඒ කුඩා හවඩිය ගැනය. මට පුදුම සිතිණි.

ඊළඟ රූගත කිරීම් දවසේ මම හවඩිය සාක්කුවේ දමාගෙන ගියෙමි. එය හරියට රබර් බෝලයක් සාක්කුවේ දාගන්නවා වගේ වැඩක් ය. තාත්තා වෙද චරිතයට අඳින සරමට සමාන කුඩා සරමක් මට ලැබිණි. ඊට සරිලන බැනියමක් සහ කරේ දමන ලේන්සුවක්ද ලැබුණේය. කවුදෝ කෙනෙක් මගේ මුහුණේ පුයර තැවරුවේය.

කාරණාව හෙළි වුණේ ඉන් පසුවය.

‘අබුද්දස්ස කාලේ’ ගම්වැසියන් අතර සිටි පුද්ගලයෙක් අතුරුදන් වෙයි. කලකට පසු ඔහු හදිසියේම ආපසු ගමට එන්නේ හොඳටම තිරිහන් වෙලාය. ඒ චරිතය රඟපෑවේ ඇනස්ලි ඩයස් මහතාය. ආපසු ගමට එන මේ මිනිසා, මහ කැලේ මැද ඇති ජල උල්පතක් ගැන කියයි. ඒ ජලය බීමෙන් තරුණ භාවය ලැබේ. මේ ආරංචිය ලද සැණින් ගම්වැසි සියල්ලෝ මේ විස්මිත තිරිහන් දිය උල්පත සොයා වන වදිති; අනතුරුව කෙළවරක් නැතිව එහි දිය පානය කරති. අවසානයේ ඔවුහු තරුණ භාවයද පසුකොට ළමා අවධියට පත් වෙති.

‘වෙද මහතා’ හෙවත් අපේ තාත්තා තිරිහන් ජලය බීමේ ප්‍රතිඵලය මාය. ඒ ආකාරයටම අනෙක් චරිත වෙනුවෙන්ද හෙයියන්තුඩුවේ ළමයින් පිරිසක් යොදාගෙන තිබිණි. තිරිහන් ජලය බීමෙන් පුද්ගලයාට අමතරව ඇඳ සිටි සරම, බැනියම සහ හවඩිය කුඩා වන්නේ කෙසේදැයි අසන්න තරම් දැනුමක් එකල මට තිබුණේ නැත. මගේ පළමු සහ අවසන් සිනමා රංගනය දුවගෙන ගොස් ඇනස්ලි අන්කල්ගේ අතේ එල්ලීමය. එය කිහිප සැරයක් රූගත කෙරිණි.

අපේ තාත්තා නළුකමද රජයේ ලිපිකාරකමද එක විට සිදු කළේය. එකල ඔහු සේවය කළේ අලෙවි කිරීමේ දෙපාර්තමේන්තුවේය. ඔහු ඒ දෙකටම අමතරව තාක්ෂණ සහ කලා නිර්මාණවලට ආසා කළේය. චිත්‍රපටයක් බලන්න ගිය විට චිත්‍රපටය පෙන්වන කුඩා කුටියට මා කැටුව යන්නේ ඒ නිසාය. එබඳු අවස්ථාවල, චිත්‍රපටයෙන් කැඩෙන කෑලි මට ලැබෙයි. මම ඒ සෙලියුලොයිඩ් පටි කැබලි රෝල් කර සාක්කුවේ දමාගනිමි.

කිසිවකුටත් නොකීවාට‘අබුද්දස්ස කාලේ’ පෙන්වන තුරු මට ඉවසිල්ලක් තිබුනේ නැත. ඒ කාලයේ මට තිබුණේ පුදුම චිත්‍රපට පිස්සුවක්ය. වොට් 100 බල්බ එකක් සහ වඩු බාසුන්නැහේ ලවා හදාගත් ලෑලි පෙට්ටියක් මෙන්ම උත්තල කාච කීපයක්ද සමඟ තාත්තා මට ප්‍රොජෙක්ටරයක් හදා දුන්නේය.

සෙලියුලොයිඩ් පටි කැබලිවල රූප රාමු කපා, හතරැස් කාඩ්බෝඩ් රාමුවල අලවා ප්‍රොජෙක්ටරයකට දමා අපි බිත්තියේ චිත්‍රපට බැලුවෙමු. විදුලි බලය

භාවිත වන නිසා තාත්තා නැති වෙලාවට ප්‍රොජෙක්ටරය අල්ලන්න තහනම්ය!

මගේ මංගල රංගනය සහිත චිත්‍රපටයේ මංගල දර්ශනයට අපට ආරාධනා ලැබී තිබිණි. හොඳින් පොල්තෙල් ගා කොණ්ඩය කීප වරක් තදට පීරාගත් මම ටිකක් වැඩියෙන් පවුඩර් ද දාගත්තෙමි.

මා රඟපෑ කොටස මංගල දර්ශනයේ නැත. මා තුළ මහා කම්පාවක් ලියලන්න පටන් ගත්තේය. මෙය නැරඹීම සඳහා බාප්පලාට පාස් පහසුකම් ලැබී තිබිණි. මම ගෙදරට බොරුවක් කියා ඔවුන් සමඟ ‘ග්‍රෑන්ඩ්පාස් අසෝකා’ ශාලාවට ද ගියෙමි. එහි චිත්‍රපටයේ ද මා සිටියේ නැත. මේ ගැන කාගෙන් හෝ අසන්නටද ලජ්ජා හිතෙයි. අනතුරුව සීයලා සමඟ කැලණිය පිලපිටියේ ‘සුමිත්‍රා හෝල්’ එකටද ගියෙමි. එතනද මා නැත.

බැරිම තැන මම මේ ගැන තාත්තාගෙන් ඇසුවෙමි.

“ආ.. ඒ ටික ඔක්කොම කපලා.”

මගේ රංගන ජීවිතය ලත් තැනම ලොප් වීම පිළිබඳ තාත්තාට ගානක්වත් නැත.

“කපල කියන්නේ?”

“ඔක්කොම ෆිල්ම් කරලා බැලින්නම්, මාස හයක් පෙන්නන්න තරං දිගයි. ඉතින් ඒ ටික ඔක්කොම කපල දාලා.”

“කොහොමද කපන්නේ?”

තාත්තා සෙලුයොලොයිඩ් පටියක් අතට ගෙන කතුරකින් කපා පෙන්නුවේය.

“මෙන්න මෙහෙම කපනවා. කෑල්ලක් අයින් කරලා, ආපහු එකට අලවනවා ඉතුරු කෑලි දෙක.”

එදා ඇත්තටම කැපී ඇත්තේ සෙලියුලොයිඩ් පටිය මිස මා නොවන බව මට තේරුණේ හුඟක් පහු වෙලාය. එදා එහෙම වෙච්ච එකත් හොඳය.

 

චන්දන තිලකරත්න - මතක පොතේ පිටු 29 - සිළුමිණ

Back to top
Go to bottom