lan englan tam

පුවත්

ජාතියේ සෝ සුසුම් මැද නිළි රැජිනිය මාලිනී ෆොන්සේකා දැයෙන් සමුගනියි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

හෙළ සිනමාවේ නිළි රැජිනිය මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද (26) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ  සිදු කරනු ලැබුණි.

පසුගිය සෙනසුරාදා(24) අලුයම කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මාලිනී ෆොන්සේකා මහත්මිය අභාවප්‍රාප්ත වූ අතර මිය යන විට ඇය 78 වන වියේ පසුවූවාය.

පසුගිය(24) වෙනිදා මාලනි ෆොන්සේකා මහත්මියගේ දේහය මල් ශාලාවේ සිට ඇය ජීවත්ව සිටි මාදිවෙල ප්‍රදේශයේ පිහිටි නිවස වෙත රැගෙන ආ අතර පසු දින (25) පෙරවරු 10.00 සිට මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රය වෙත දේහය රැගෙන එනු ලැබිණි.

පසුව අද (26) පෙරවරුවේ දේහය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන ආ අතර අද පස්වරු 3.30 දක්වා මහජන ගෞරව සඳහා දේහය නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ තැන්පත් කරනු ලැබිණි.

පස්වරු 03.30ට ඇය අධ්‍යාපනය ලැබු කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ කලාකරුවන් විසින් දේහය බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීම සඳහා ඉදිකළ විශේෂ වේදිකාව වෙත රැගෙන ආ අතර එහිදි මහා සංඝරත්නය විසින් දේහය පිළිබඳව ආගමික වතාවත් සිදුකරනු ලැබීය. 

අද පස්වරු 5.45ට පමණ දේහය චිතකය වෙත රැගෙන යාම සිදු කෙරුණු අතර එහිදී ඉන්ද්‍රචාපා ලියනගේ සහ ආනන්ද ගමගේ විසින් චිතකය වෙත ගිනි දැල්වීය.

ඒ අනුව හෙළ සිනමාවේ නිළි රැජිනිය මාලිනී ෆොන්සේකා දැයෙන් සමුගත්තාය.

1947 අප්‍රේල් මස 30 වනදා කැළණිය ප්‍රදේශයේදී වන්නිආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා  නමින් උපත ලැබූ ඇය නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් සහ කැළණිය ගුරුකුළ මහා විද්‍යාලයෙන් අධ්‍යාපන ය ලැබුවාය. 

1964 වසරේ දී ‘නොරත රත’ වේදිකා නාට්‍ය හරහා රංගනයට පිවිසි මාලනී ෆොන්සේකා,1968 වසරේදී 'පුංචි බාබා' චිත්‍රපටයෙන් සිනමාවට ප්‍රවිශ්ට විය.

1973 වසරේදී ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ ඇය,හොඳම නිළිය ඇතුළුව ජනාධිපති, සරසවි, සිග්නීස්(ඕ.සී.අයි.සී), සුමති වැනි සම්මාන රැසකින් පිදුම් ලැබිණි

ඇගේ ජාත්‍යන්තර පිළිගැනීමට 1975 මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ විශේෂ ජූරි සම්මානයක් සහ 1977 නවදිල්ලි චිත්‍රපට උළෙලේ තවත් ජූරි සම්මානයක් ඇතුළත් වනවා.

2008 වසරේ (ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උළෙලේදී - IFFI) හොඳම නිළියට හිමි සම්මානය ඇයට හිමිවූයේ 'අකාස කුසුම්' චිත්‍රපටයේ දැක්වූ විශිෂ්ට රංගනය වෙනුවෙනි.  

ශ්‍රී ලාංකික සිනමාවේ දශක පහකට අධික කාලයක් චිත්‍රපට 140 කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය ලබා දී ඇති මාලනී ෆොන්සේකාගේ නිධානය, බඹරු ඇවිත්, වෑකන්දේ වලව්ව, ආරාධනා, අම්මාවරුනේ, ආකාස කුසුම් වැනි විත්‍රපට ඇගේ රංගන කුසලතාව ප්‍රකට කළ විශිෂ්ඨ නිර්මාණ ලෙස‍ සනිටුහන් වනවා.

ශ්‍රී ලාංකික සිනමාව වෙනුවෙන් දශක පහකට වැඩි කාලයක් සිය ජීවිතය කැපකළ, අද දිනයේ දැයෙන් සමුගත් හෙළ සිනමාවේ නිළි රැජිනියනි ඔබට සුභ ගමන්.

Back to top
Go to bottom