අදනාස් ජේසුරාසා යාපනයේ කවියෙකි. ලේඛකයෙකි. භාෂා ප්‍රවීණත්වය සහ කලා භාවිතය සම්බන්ධයෙන් නිපුණත්වය ලද සමස්ත රටටම වටිනා සාහිත්‍යකරුවෙකි.
සෑම විටම සමාජයේ ඕනෑම යහපත් නිර්මාණයක් ගැන විචාරයේ යෙදෙන ඔහු පසුගියදා (20) ශ්‍රී ලාංකික සිනමාකරු ධර්මසිරි බණ්ඩාරනායකයන් ගැන සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබූ අතර එහි ඔහු සඳහන් කර තිබුණේ 'බොහෝ දෙනෙකුට වාගේ මටත් කොළඹ ගියහොත් මටත් ධර්මසිරි මුණගැසීමට උවමනයි' යනුවෙනි.
එම හමුවීම ගැන විස්තරාත්මකව ඔහුගේ ලිපියෙන් කියවාගත හැකිය.
"යාපනය රීගල් සිනමා ශාලාවේදී පැවැත්වුණු යාපනය අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ අවසන් දිනය වූ ඊයේ සවස කීර්තිමත් සිංහල චිත්‍රපට අධ්යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක මහතාට Lifetime Achievement Award සම්මානය පිරිනැමුණි. එය බෙහෙවින් සතුට දනවන්නකි. ඔහුට මගේ හෘදයංගම සුබපැතුම් පිරිනමමි! හංස විලක්, තුන්වැනි යාමය, සුද්දිලාගේ කතාව, භව දුක සහ භව කර්ම චිත්‍රපටවල අධ්යක්ෂවරයා ඔහුය. එමෙන්ම ඔහු පළඟැටියෝ සහ හංස විලක් චිත්‍රපටවලට ප්‍රධාන පෙළේ චරිත ද නිරූපණය කර ඇත.
එමෙන්ම ඔහු වේදිකා නාට්‍ය රැසක අධ්යක්ෂවරයෙකි. ඒ අතර වන ට්‍රෝජන් කාන්තාවෝ සහ ධවල භීෂණ දේශපාලනික නාට්‍ය විය. ඔහු විශිෂ්ඨ වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක්ද වෙයි.
2003 වසරේදී ඔහු යාපනය කෛලාසපති රඟහලේ “සිනෙ යාත්‍රා” නමින් චිත්‍රපට උළෙලක් සංවිධානය කළේය. එහිදී හොඳ චිත්‍රපට රැසක් නොමිලේ නරඹන්නට අවස්ථාව ලැබුණි. තවත් වරෙකද ඔහු එහිම චිත්‍රපට උළෙලක් සංවිධානය කළේය.
ඔහුගේ ට්‍රෝජන් කාන්තාවෝ සහ ධවල භීෂණ යන නාට්‍ය දෙකම යාපනයේදී නොමිලයේ රඟ දක්වා ඇත.
තමන් විසින් සංවිධානය කරන ලද චිත්‍රපට උළෙලවල ආරාධනා පත්‍ර යාපනයේ වෙසෙන බොහෝ කලා ලෝලීන්ගේ පනිවෙස් කරා ත්‍රීරෝද රථයකින් යමින් පෞද්ගලිකවම බෙදා දීමට තරම් හෙතෙම සරල කෙනෙකු විය. ඔහු ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට පත් වූ කලාකරුවන්ගෙන් අයෙකි. ඔහුගේ චිත්‍රපට විදේශ සිනමා උළෙලවලදී ද ප්‍රදර්ශනය වී ඇත. ප්‍රකට චිත්‍රපට, සාහිත්‍ය සහ දේශපාලන විචාරකයකු වූ රෙජී සිරිවර්ධන වරෙක “ලංකා ගාර්ඩියන්” නමැති ඉංග්‍රීසි සඟරාවට හංස විලක් චිත්‍රපටය අගයමින් විචාරයක් ලිවීය. කැනඩාවේ වෙසෙන ශ්‍රීලාංකිකයකු වන සෙල්වම් විසින් පළ කරන “කාලම්” සඟරාවේ ධර්මසිරි බණ්ඩාරනායක මහතා සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවක් වරෙක පළ වී තිබුණි.
ඔහු සඳුදා කොළඹ සිටි යාපනයට පැමිණ අද බදාදා ආපසු යන්නට නියමිතය. 1979 වසරේදී පමණ අපේ යාපන සිනමා කවයේ වැඩසටහනක් සඳහා මිලිමීටර් 16 චිත්‍රපටයක් ලබා ගැනීමට කොළඹ චෙකොස්ලෝවැකියානු තානාපති කාර්යාලයට ගිය වෙලාවක එහි චිත්‍රපට භාරව සිටි තරුණ සිංහල තරුණයකු විසින් මට ධර්මසිරි බණ්ඩාරනායකව හඳුන්වා දෙන ලදි. ඔහු තම නිවසේ ඇති මි. මී. 16 ප්‍රොජෙක්ටරයෙන් බැලීම සඳහා චිත්‍රපට රැගෙන යාමට නිතර එහි පැමිණෙන බව දැන ගන්නට ලැබුණි. එය කෙටි හඳුනා ගැනීමක් විය. ඉන් පසු බොහෝ වාරයක් මට ඔහු කොළඹදීත් යාපනයේදීත් මුණ ගැසුණි.
ඔහු අද උදේ 10.30 ට පිටත්වීමට නියමිතය. මම උදේ 8.15 ට ධර්මසිරි ලැගුම්ගෙන සිටි කථිකාචාර්ය සාමිනාදන් විමල්ගේ කොලුම්බුතුරෙයි නිවසට ගියෙමි. එහිදී 9.15 වන තෙක් ධර්මසිරි සමඟ කතා බහ කළෙමි. ඔහු මෑතක සිට දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙයි. කඳුකර දෙමළ සහෝදරයින් දෙදෙනකු වන රමේෂ් සහ මනි විසින් ඔහුව රැක බලා ගැනෙයි. ඔවුහුද ඔහු සමඟ පැමිණ සිටියහ. මම ඔහුගේ සෞඛ්‍යය ගැන විමසුවෙමි. ඔහු මගේ සුවදුක් ද විමසීය. මගේ වයස අවුරුදු 77කි. ඔහුගේ වයස අවුරුදු 75කි. මා දැනට කුමන ලේඛන කටයුත්තක නිරත වී සිටින්නේදැයි ඔහු ඇසීය. මගේ “සිනමාව සහ නාට්‍යකලාව – කලා කෙතේ ගමනක්” කෘතිය 2013 වසරේදී සම්පාදනය කරමින් සිටියදී එහි සිංහල චිත්‍රපට 10ක් ගැන ලියැවුණු ලිපි සඳහා අවශ්‍ය ඡායාරූප සොයා දෙමින් උදව් කළේය. කලා සාහිත්‍ය සංවාද සමඟින් ඔහු යාපනයේ තත්ත්වය නිතර විමසා බැලීය. දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශ්න ගැන ඔහු නිතරම සැලකිලිමත් වෙයි. මම ඔහු සමඟ බොහෝ දේ සාකච්ඡා කළෙමි. තවත් බොහෝ දෙනෙකුට මෙන්ම මටත් කොළඹ ගියහොත් ඔහු හමුවීමට අවශ්‍යයි!
සිංහලට නැගුවේ DMS ආරියරත්න