අහේතුකව මගේ සති අන්තය පටන්ගන්න මේ රාත්‍රියේ මොසාබ් අබු තෝහාගේ කවි පොත ආයෙමත් කියවන විට කවියක් දෙකක් ඔබ එක්ක බෙදාගන්න හිතුණා.
මේ ඉංග්‍රීසියෙන් මා අතින් සිංහලට එන කවි හොඳ පරිවර්තන නෙමෙයි කොහොමවත්. ඕනෙ නම් හදිසි අනුවාද කියලත් කියන්න පුළුවන්. පදානුපදික පරිවර්තනවලින් මේ කවිවල ආත්මය සිඳෙන බවකුත් මට දැනෙනව.
නුපුහුණු සහ ආධුනික කියවන්නෙක් විදිහට මේ කවිවල ඉංග්‍රීසි පඨිත රසවිඳින්න ඔබට ආරාධනා කරමින් මගෙ ලාංකික මිතුරන්ට මේ උදෑසන සුබ වෙන්නැයි මම පතනව. ඒත් ලාංකික අපිත් ගාසා තීරයේ දරුවෝ වගේ කම්පාවක් මගේ දෙසවන රැව් දෙනව.
Things You May Find Hidden In My Ear (Poems From Gaza)
-Mosab Abu Toha
ගාසා තීරයේ කවි කිහිපයක්
පලස්තීනු මං මාවත්
මගේ නගරයේ මං මාවත් නම් රහිත ය.
පලස්තීනුවෙකු ස්නයිපර් පහරකින් හෝ ඩ්‍රෝනයකින් මිය ගියහොත්,
අපි ඔවුනගෙ නමින්
නම් කරන්නෙමු එකී වීදිය.
සිසුවෝ උගනිති ගණිතය සොඳින්
ඔවුනගේ නිවාස හෝ පාසල් විනාශ වන විට
තොග ගණනින්
දෙමාපියෝ තුවාල කර හෝ
සිරගෙට ඇද දමන විට
පලස්තීනු වැඩිහිටි සාක්කුවල ඇත්තේ
තම තම හැඳුනුම්පත් පමණකි
ඔවුනට අමතක නොවන්නට
තමා කවුදැයි
.....................................................
දුෂ්කර ක්‍රියා
ගාසාවේ
හුස්ම ගන්නෙක බර වැඩක්
සිනහ වෙන එක
තමන්ගෙම මුහුණට
තමාම කරගන්න
ප්ලාස්ටික සැත්කමක්, සහ
උදෑසන අවදිය
නොමැරී සිටින්නට
වෑයමක්
ආයෙ දවසක
මළවුන්ගෙන් නැගිටීමක්
..........................................................................
අවතැන
(එඩ්වඩ් සයිද් සිහිවීමෙන්)
මා නොමැත එතුළ හෝ පිටත
මම හිඳිමි ඒ අතරමැද
මම නොවෙමි කිසිවක කොටසක්
පමණි සියල්ලෙහි සෙවණැල්ලක්.
හොඳම දේ
මම ඇත්තටම
නොපවතින යමක්.
මම කිසිම බරක් නැති
ගාසා තීරයේ මොහොතක්.
ඒ වුණත් මම
ඒ තැනම ඉන්නම්.
සුදර්ශන සමරවීර