lan englan tam

පුවත්

මම කැමතියි මේක 'රතු සහෘදයා' කියා පරිවර්තනය කරන්න: අජිත් ගලප්පත්ති

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඊයේ (06) සුදත්ගේ ‘මයි රෙඩ් කොම්රේඩ්’ චිත්‍රපටිය බැලුවා. බර සහ සාර සංකීර්ණ සිනමා අත්දැකීමක්. වෙන කිසි වැඩක් කරගන්න බැරි තරමට තාම ඒ ගැන හිතනවා. සුදත් මේ චිත්‍රපටිය ‘මගේ රතු සහෝදරයා’ කියා සිංහලෙන් නම් නොකර අපේ නොවන පිටස්තර ඉංග්‍රීසි බසින් තැබීම උචිතයි. මං කැමතියි මේක ‘රතු සහෘදයා” කියලා පරිවර්තනය කරගන්න. අපි වෙනුවෙන් සටන් කරන ‘අරගලකරුවාගේ කාර්යභාරය’ කියන මේ බරපතල කාලීන මාතෘකාව යම් රතු දේශපාලන පක්ෂයකට පටු නොකර පොදු විශ්වීය තැනක තබන්නට එහෙම කළා වෙන්න පුළුවන්. මේ නිසා කිසිම පක්ෂයකට පක්ෂ නොවන ස්වාධීන ජනතාවට මේ චිත්‍රපටිය දිහා නිදහසේ බලන්න පුළුවන්.

මං මේ චිත්‍රපටියට කැමති පළවෙනි කාරණය රූප භාෂාව තමන්ගේ අත්ම ප්‍රකාශනය වෙනුවෙන් මේ දැනුවත් සිනමාකරුවා භාවිතා කරන නිර්භීත සහ අපූරු විධිය නිසයි. එකම දරශන තලයක චරිත දෙකකින් විතරක් සිදු කරන මේ රූප හරඹය දිහා ඇස් දීගෙන බලාගෙන ඉන්න හිතෙන්නේ ඒ නිසයි. අනික් කාරණය තමයි සිනමාකරුවා තමන් ඉදිරියේ තමන් දිහා බලාගෙන ඉන්න රසිකයා වහා ඇහැරවීමයි. රසිකයාට සිනමාකරුවාගේ වහලෙක් නොවී තමන්ගෙම චිත්‍රපටියක් හදාගෙන රිසි සේ ඒ දිහා බලාගෙන ස්වයං රසවින්දනයක යෙදෙන්නට නිදහස දෙන තරමේ චිත්‍රපටියක් මේක. මං අකමැති හෝ එතරම් කැමති නැති කරණය තමයි මේ චිත්‍රපටියේ දෘෂ්‍යමාන රූපයට යටින් දිවෙන යටිපෙළ රූපාවලිය දිහාම බලාගෙන ඉන්න වීම. මේ චිත්‍රපටිය නරඹමින් විදින්න හෝ නරඹා විදින්න අපහසුයි. එනම් විදිමින් නැරඹිය යුතු රූප ස්වරූපයක්. ඒ සඳහා මතපිට රූපයේ පමණක් නවතින්න බෑ. මුල් රූපරාමුවේ සිටම යටිපෙල රූපයේම රැදෙන්න ඕනෑ.

ඇතැම් තැනක තරින්දිගේ මතුපිට රූපය දියා බලං ඉන්න කොට අමාරුවෙන් එතෙක් අල්ලාගෙන හිටපු යටිපෙල රූපය අතෑරෙනවා. එනම් මේ චිත්‍රපටිය සුදත් පෙන්වන රූපයේ ඇතුලාන්ත රූපාවලිය දිගේම රැදෙමින් ඉදිරියට යා යුතුම දුෂ්කර ව්‍යයාමයක් වීමයි. ඒක හරි අමාරු වැඩක්. ප්‍රේක්ෂාව කියන්නේ ප්‍රකර්ෂයෙන් බැලිම බව මේ සිනමාකරුවා ටොකු ඇනලා කියනවා. දිනපතා ප්‍රයිම් ටයිම් නිව්ස් සහ ටෙලිනාටක චිත්‍රපටිවල මතුපිට පොත්ත දිහා බලාගෙන ඉන්න ජනතාවට මේ වගේ සංකීර්ණ කර්කෂ චිත්‍රපටියක ව්‍යංග රූප අස්සට ගිහින් මතුපිටට නොපෙනෙන රූපය අල්ලා ගන්න එක ලේසි නෑ. සුනිල් ආරියරත්නලාගේ සමනළ වර්ණ චිත්‍රපටි අපේ රටේ ප්‍රේක්ෂණය භක්ෂනය කර අවසන්. අපි වෙනුවෙන් අරගල කරන සටන්කාමී විප්ලවකරුවන්ව මේ චිත්‍රපටියේ නිර්වස්ත්‍ර කරන හැටි නිර්භීතයි. රුසියානු පොත් කියවලා ඒ දේශපාලන න්‍යායන් මේ පොලොවේ පැල කරන්න බෑ. විප්ලවය මුලින්ම කළ යුත්තේ අපේ පපු කුහර ඇතුලෙයි. සුදත් පෙන්වන ඔහුගේ රූපාවලිය මගහැරලා ඒ රූප අස්සෙතියෙන රූපය හරියටම අල්ලගන්න නම් තව පාරක් මේ චිත්‍රපටිය බලන්න වෙනවා. චිත්‍රපටියක් දෙපාරක් බලන්න වීම නම් ඔබේ දුර්වලකමක් සුදත්…මගේ දුර්වලකමක් වෙන්නත් පුළුවන්.

අජිත් ගලප්පත්ති

Back to top
Go to bottom

Popular News