lan englan tam

පුවත්

වයලට්! එබී බලනවා ඔබ..

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
වයලට්, ඒ ගම්බද වෙහෙසකර දවස්!
ස්වර්ණමාලී, චම්පිකා, නයනා එක්ක
ගම්බද වෙහෙසකර
ඒකාකාරී දවස්
එක තත්පරයක් හරියටම දිගයි පැයක්
ඒවා ගෙවී ගියා
ඔහේ ඔහේ..
කොයි තරම් දිගද ඒ දවස්..
අඩු ම තරමේ තිබුණා පැය හැටක් නම්
ඒ එක දවසකට
හදිසියේ උදාවුණා දවසක්
වැඩියෙන් උදා නොවෙනා ජාතියේ දවසක්
එදා
වයලට්!
ඔබ ඇවිත් හිටියා
බිඳක්වත් පොඩි නූන රැළි ගවුමක් ඇඳන්
තිතක්වත් වැටී නැති සුදු මුහුණ පොබ කරන්
සුදු සපත්තු පවා දාගෙන
සුදට සුදු පාටින් ජාතික ඇඳුමැති
අප්පච්චිත් සමගින්
කිසි තරඟයක් තිබුණෙ නෑ ඔබට
කිසිම දෙයක් සමගින්
ඔබ ඇවිත් තිබුණේ වෙනම වෙන ලෝකෙකින්
විස්මයෙන් ඇළලී ගියා
ඒකාකාරී ඒ ගම්බද දවස්
ඊට පස්සේ,
මල් පවා පිපුණේ ඔබට ඕනෑ හැටියටයි
පොත් පිටු පවා තරඟ කෙරුවේ
ඔබ දිහාවට පෙරළෙන්නයි
හරි හදිසියෙම වාගේ
දවසකට පැය දොළහක් වගේ වුණා
ඒ දවස් පවා ඉක්මනින් එකිනෙක ගිලිහුණා
එකවරම
ආයෙමත්
පැය හැටේ දිගම දිග
වෙහෙසකර ම ගම්බද ඒකාකාරී දවස් ඇරඹුණා
වයලට්..!
ඔබ අතුරුදන් ව තිබුණා..
දැන්, ශත වර්ෂ ගාණකට විතර පස්සේ..
සිනමාපටයක වතුර නටන බොයිලේරු දුමක් මැද්දෙන්
සීතල මීදුමාරයක කැරකෙන සිහින් පාලුවක් අස්සෙන්
වයලට්!
එබී බලනවා ඔබ..
පැය හයේ කෙටිම කෙටි දවස් අස්සේ
මුහුදු රළේ පවා රැවුම් ගෙරවුම් මැද්දේ
පැය හැටේ වෙහෙසකර ම ගම්බද ඒකාකාරී දවස්, සවස්
සිහිවෙනවා
වයලට් ඔබ එහෙම හදිසියේ එබී බලද්දී...
 
සඳුන් ප්‍රියංකර විතානගේ
Back to top
Go to bottom

Popular News