lan englan tam

පුවත්

අනූපම් ඛේර්ගෙන් ඉගෙනගන්න වාසනාව ලද නයනතාරා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දෙව්මි – අවන්ත නැති දෙවෙනි ඉනිම බලලත් වැඩක් නෑ. දෙව්මි දෙවෙනි ඉනිමෙන් අයින් වෙලාද? මේ, මේ දිනවල බොහෝදෙනාගේ සිතට නැඟෙන ගැටලුවකි. වසර ගණනක් තිස්සේ ජනප්‍රියම නිළිය ලෙසින් ජනතා මනාපයේ ඉහළින්ම වැජඹෙන ඇය නයනතාරා වික්‍රමාරච්චිය. මේ වන විට ඉන්දියාවේ අනුපම් කේර් රංගනායතනයේ රංගනය පිළිබඳ ඩිප්ලෝමාව හදාරමින් සිටින ඇය ලෝකයේ විශිෂ්ටතම රංගන පාසලක් ලෙස ප්‍රකට එහි රංගනය හැදෑරීමට අවස්ථාව ලද එකම ශ්‍රී ලාංකේය රංගන ශිල්පිනිය ලෙස ඉතිහාසයට එක්වන්නීය.

නයනතාරා ගැන එක එක ආරංචි පැතිරෙනවා. ඇත්තටම ඔබ ඉන්දියාවෙ මොකද කරන්නෙ?

අනුපම් කේර් කියන ප්‍රවීණ බොලිවුඩ් රංගන ශිල්පියා විසින් පවත්වනු ලබන රංගන පාසලේ රංගනය පිළිබඳ ඩිප්ලෝමාව හදාරන්න මාවත් තේරිලා තිබුණා. මීට ටික කාලෙකට කලින් මං ඒකට ඇප්ලයි කළේ. ගිය අවුරුද්දේ අන්තිමේ තමයි මාව තෝරගෙන තිබුණේ. ලෝකෙ හැම පැත්තෙන්ම වගේ රංගන ශිල්පීන් මේ ආයතනයට එනවා. මගේ ඒ අධ්‍යාපන කටයුතු නිසා තමයි මං මේ දවස්වල ඉන්දියාවෙ ගත කරන්නෙ.

ඔබ නැතත් ඔබේ ප්‍රේක්ෂකයන්ට ඔබව අමතක වෙලා නෑ නේද?

ඇත්තටම ඔව්. මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් නිසා තමයි මං මෙතන ඉන්නෙ. ඔවුන්ට මං හැම වෙලාවෙම ස්තුතිවන්ත වෙනවා. ‘ජීවිතේ එක් දවසක්’ ටෙලි නිර්මාණයේ ශාරදා කියන චරිතයට පහුගිය වසරේ සුමති සම්මානය, ස්ලිම්, කැන්ටා, පීපල්ස් අවෝර්ඩ් සම්මාන ත්‍රිත්වයක් වගේම රයිගම් සම්මානය ඇතුළුව සම්මාන පහක් හිමිවුණා. මගේ ගමනෙ මුල ඉඳන්ම හිටිය ඒ සම්මාන උලෙළ ත්‍රිත්වයට වගේම මාව තෝරගත්ත ජූරියට සහ මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ටත් ගෞරවපූර්වක ස්තූතිය පුදකරන්න මං මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම ප්‍රේක්ෂකයන් දැක නොතිබුණු මගේ වෙනමම පැතිකඩක් ප්‍රතිනිර්මාණය කරල ප්‍රේක්ෂකයන්ට ලබාදුන්න ලලිත් රත්නායක අධ්‍යක්ෂවරයාටත් මං විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මං ගොඩක් ආසාවෙන් කරපු කැරැක්ටර් එකක්. ඒකට ඇගැයීමක් ලැබුණු එකට මට ගොඩක් සතුටුයි. ඒක මගේ වගේම ජීවිතේ එක් දවසක් කණ්ඩායමේම ජයග්‍රහණයක්.

නයනතාරා කියන්නෙ රංගනය ගැන අප්ඩේට් වෙන චරිතයක්?

ඕනම ක්ෂේත්‍රයක කෙනෙක් තමන් නියැළෙන ක්ෂේත්‍රය ගැන අප්ඩේට් වෙන එක ඉතාම වැදගත්. මං ගොඩක් ආසයි මං නියැළෙන මේ ක්ෂේත්‍රයේ අප්ඩේට් වෙවී ඉදිරියට යන්න.

අනෝජා වීරසිංහ කියන්නෙ රංගනය පිළිබඳ විශේෂ හැදෑරීමක් කළ කෙනෙක්. ඇයගෙන් පසු ඒ තැනට ළංවෙන කෙනා ඔබ කියන්නෙ ඇත්තද?

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළුව ගොඩක් දෙනා ඔය කතාව කියනවා. අවුරුදු 20කට 30කට වැඩි ඉතිහාසයක් තියෙන අනුපම් කේර් රංගන පාසලෙන් රංගනය හදාරන්න ලැබෙනව කියන්නෙ රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට ලොකු අවස්ථාවක්. ඒ අවස්ථාව ලැබුණු පළමුවැනි ශ්‍රී ලාංකේය රංගන ශිල්පිනිය වෙන්න හැකිවීම ගැන නිහතමානී සතුටක් තියෙනවා. අනෝජා වීරසිංහ මහත්මිය කියන්නෙ මං ගොඩක් ගරු කරන කෙනෙක්. ඇය මගේ දෙවනි අම්මා වගේ. ඇය මේ දේවල් හොඳට දන්න කෙනෙක්. මං තාමත් ඇගෙන් දේවල් ඉගෙන ගන්නවා. ඉදිරියටත් ඉගෙන ගනීවි.

දෙ‍වෙනි ඉනිමෙන් දෙව්මි අයින් වෙලා කියන්නෙ ඇත්ත ද?

නෑ. නෑ. මං කවදාවත් දෙවෙනි ඉනිමෙන් අයින් වුණේ නෑ. දෙව්මි හිටියෙ දෙවෙනි ඉනිම පළමුවැනි සීසන් එකේ. දැන් ඒක ඉවරයි. දෙවැනි සීසන් එකේ දෙව්මි නැහැ. ලංකාවෙ එක දිගට ඉන්නෙ නැතිව ඒ වගේ නිර්මාණයකට සාධාරණය ඉෂ්ට කරන්න අමාරුයි. දෙව්මි කියන්නෙ මගේ කලා ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය. මං හැමදාම දෙවෙනි ඉනිම නිර්මාණයට වගේම දෙරණ නාළිකාවට ගරු කරනවා. දෙවෙනි ඉනිම කණ්ඩායම අදටත් අපි සහෝදරයො වගේ කිසිම වෙනසක් නෑ. ඒ කාලෙ මතක් වෙද්දිත් හරිම සතුටුයි. දෙවෙනි ඉනිම පටන් ගත්ත විදිහ, අවසන් කරපු විදිහ. හරිම සුන්දර මතකයක්. මගේ ජීවිතේ ගෙවුණු හරිම සුන්දර කාලයක් ඒක.

දෙව්මි – අවන්ත කියන්නෙ සැබෑ ලෝකෙදිත් ප්‍රේමවන්තයින් කියල පිළිගන්න තරම් ඔය දෙන්නා ගැළපුණා. ඒ ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තටම ඔව්. කේෂාන් අයියගෙන් ලොකු සපෝට් එකක් ලැබුණා. අපි දෙන්නගෙ කෙමෙස්ට්‍රි එක හොඳටම මැච් වුණා. අපි හිතුවෙවත් නැති විදිහට ප්‍රේක්ෂකයන් අපිව ආදරෙන් වැලඳ ගත්තා. ඒ ගැන හරිම සතුටුයි. කාලෙන් කාලෙට ඒ වගේ යුගල එනවා. ඒත් කලාතුරකින් තමයි හොඳින්ම මැච් වෙන්නෙ. අධ්‍යක්ෂවරයා, පිටපත් රචකයා ඇතුළු කණ්ඩායම තමයි ඒක ක්‍රියේට් කළේ. ඒකෙ ගෞරවය ඔවුන්ටත් හිමිවිය යුතුයි. ඒ වගේම අපි දෙන්න අතරෙත් හොඳ මිත්‍රත්වයක් තියෙනවා. ඒ අවබෝධයත් එක්ක අපිට හරිම පහසු වුණා දෙව්මී – අවන්ත කියන මේ කම්බිනේෂන් එක හදන්න.

නයනතාරා විවාහ වෙන්න යනව කියන කතාව ඇත්තද ඒ ආදරය ගැනත් කියමු?

ඒක නම් ලොකුම බොරුවක්. විවාහයක් ගැන මං තාම හිතලවත් නෑ. මට කියන්න ආදර කතාවකුත් තවම නැහැ. ඉදිරියෙදි බලමුකෝ. හැමදාම මට ආදරය කරන මාව විශ්වාස කරන මගේ ආදරණීය ප්‍රේක්ෂකයින්ට තමයි මං ගොඩක් ආදරය කරන්නෙ.

නාමලී ගමගේ සිළුමිණ - රසඳුන අතිරේකයට කළ සාකච්ඡාවකි.

Back to top
Go to bottom

Popular News