සාර්ථක කලා කෘතියක් පිළිබඳ න්යායික අවබෝධයක් ඇති පිරිස දවසින් දවස අඩු වෙමින් පවතී.සාහිත්ය “කන්න” දැයි ඇසූ පාලකයෙක් සිටි රටක එහි කවර අරුමයක් ද ? සමාජයක වෙසෙන්නේ නිර්මාණයක සාහිත්ය යටිපෙළ නොතේරෙන,විචාර හමුවේ කිපෙන මුග්ධ පාඨකයෙක් නම් එය භයංකාර සමාජයකි. සමාජ මාධ්ය තුළ අප විටින් විට අත් දකින්නේ එම භයංකාර සමාජය නොවේදැයි මට සිතේ.
පුවත්
'අම්මා සඳකි' සහ මෙරට රසිකයා
අම්මා සඳකි ගී පද රචනය දුර්වල රචනයක් වන්නේ ඇයි දැයි විෂයමූලික විවරණයක් කරන්නැයි සාහිත්ය ප්රේමීන් කිහිප දෙනෙකු මගෙන් ඉල්ලා තිබුණි.එකී ඉල්ලීම ට එක් හේතුවක් නම් ඒ ගීතය පිළිබඳ අප විටින් විට පල කරන ලද අදහස් වන්නට ඇත.කෙසේ නමුත් එම ඉල්ලීම ඉටු කරන්නට මම තීරණය කළෙම්.
“අම්මා සඳකි” ගීතය වෙත හැරෙමු.
සාහිත්ය නිර්මාණකරණයේ දී නිර්මාණ කරුවෝ තම අද්දැකීම ප්රකාශ කිරීම සඳහා විවිධ සාහිත්යෝපක්රම පරිහරණය කරති.භාෂා උපක්රම භාවිත කරති.පාඨකයා තුළ එකී රචනා උපක්රම පිළිබඳව යම් අවබෝධයක් ඇති විට කෘතිය ගැඹුරින් වින්දනය කිරීමේ හැකියාවක් ඔහුට ලැබේ.
අප සැබෑ සහෘදයා ලෙස සලකන්නේ එවැනි අවබෝධයක් වර්ධනය කරගත් රසවතුන් ය. එසේ නොමැති රසිකයා නිර්මාණයක ගැඹුරට නොයයි.මතුපිට පමණක් ස්පර්ශ කොට නිගමන ලබා දේ . අලියා සහ අන්ධයෝ මෙනි.අතට අහුවෙන කොටසින් අලියා මෙසේ යැයි සිතා සිටිති “අම්මා සඳකි” ගීතය එවැනි අවිචාරවත් සහෘදයෝ පැටලුණ පඹගාලකි.
සාහිත්ය නිර්මාණකරණයේදී රචකයා තම අද්දැකීම ඉදිරිපත් කිරීම සඳහා දෘෂ්ටි කෝණයක් තෝරනු ලබයි. එසේ නම් දෘෂ්ටිකෝණය යනු කුමක් ද ? දෘෂ්ටිකෝණය යනු ලේඛකයා තම අද්දැකීම ඉදිරිපත් කිරීම සඳහා කෘතිය තුළ පෙනී සිටින ආකාරයයි.මෙය ප්රධාන වශයෙන් ආකාර දෙකකි.
1 ප්රථම පුරුෂ දෘෂ්ටිකෝණය
2 උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය
ප්රථම පුරුෂ දෘෂ්ටිකෝණය යනු ලේඛකයා බාහිර චරිතයක් ලවා කිසියම් අද්දැකීමක් ප්රකාශ කිරීමයි. එනම් “අන්දර යායේ” ගීතය බලන්න. තාත්තාගේ ගුණ ගැයීමට කවියා “දරුවෙකු” එනම් “බාහිර පාර්ශවයක්” තෝරා ගනී.
උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය යනු ලේඛකයා ම ඒ චරිතය බවට පත්වී අද්දැකීම ඉදිරිපත් කිරීමයි.”ඔබට මා ආදරය කළ බව මෙතරම්” ගීතය බලන්න ඊට.එහි රචකයා ම විප්රවාසී චරිතයට ආරූඪ වේ.එනම් "මම" හෝ "මා" ලෙස පෙනී සිටී.
මෙම උපක්රම තෝරා ගැනෙන්නේ අද්දැකීමේ සවභාවය මත පදනම්ව ය.සිය අද්දැකීම වඩාත් යථාර්ථවාදීව ඉදිරිපත් කිරීමට ය. නිර්මාණයක අව්යාජ බව සඳහා ද අද්දැකීම අදිරිපත් කෙරෙන දෘෂ්ටි කෝණය වැදගත් වේ.
“අම්මා සඳකි” ගීතය වැටෙන්නේ උත්තම පුරුෂ ගනයට ය.එනම් රචකයා "මම" නොහොත් එහි කථක තාත්තා ට ආරුඪ වෙයි.ගීතය ගයන්නේ තාත්තා ය.
තාත්තා ගයන්නේ කුමක්ද ?
තාත්තලාට සිදු වී ඇති මදිපුංචි කමක් ගැන ය. නොසලකා හැරීමක් ගැන ය.එම අද්දැකීම සඳහා උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය තෝරා ගැනීම විසින්ම ගීතයේ නිර්මාණයක බව අර්බුදයට ඇද දමයි.එනම් තාත්තාගේ ආත්මය ගීතය තුළ කුල කියන්නෙකු සහ නෝක්කඩු කාරයෙකුගේ තැනට ඇද දමයි. (ගීත රචනයට පිවිසි මුල් යුගයේ අපට ද මෙම කරුණු ගැන අවබෝධයක් නොතිබුණි) රචකයා ගීතයට ප්රථම පුරුෂ දෘෂ්ටිකෝණය පරිහරණය කළේ නම් තාත්තා ඉන් ගලවාගත හැකිව තිබුණි
"අන්දර යායේ" ගීතය බලන්න.පියාණෙනී මා නැවත උපන්නොත් ගීතය බලන්න.එහි දී තාත්තාගේ කළ කී මෙහෙවර තෙවන පාර්ශවයක මැදිහත් වීමෙන් එනම් පුතාගේ අද්දැකීමක් ලෙස ඉදිරිපත් වේ..එහිදී තාත්තාගේ ආත්මය කුල කියන්නෙකුගේ තැනට හෝ පෙරලා යමක් බලාපොරොත්තු වන පියෙකුගේ මනෝභාවයට හෝ ඇද නොවැටේ...තම යුතුකම කොට නිහඬව ඒ දෙස බලන ගැඹුරු පීතෘ ආත්මය අපට එහි හමු වේ.
කලා කෘතියක දෘෂ්ටිකෝණය ට( Point of View) අමතරව දෘෂ්ටිය නො එසේනම් දෘෂ්ටිවාදය ( Ideology) පිළිබඳව ද සාහිත්ය විචාරයේ දී සාකච්ඡා කෙරේ.එනම් කෘතිය මතු කරන අවසන් අදහස යථාර්ථවාදී ද නැද්ද යන වග මෙහිදී සැලකිල්ලට බඳුන් වේ.”රෑ වැඩ මුරය” ගීතයේ " නුඹේ ලොවට රෑ වෙයි පෙර කළ පවට" කී විට එය සත්යක් ද ? නැත. "මේක තමා ශෝක නැතී මුහුදු ජීවිතේ" කී විට ඒක සත්ය ද ? නැත. ඒ ජීවිත මහා ඛේදයකි. "පිදුරු සෙවිකළ පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ" කී විට එය සත්ය ද ? එය සත්යක් නම් අප වහා පිදුරු සෙවි කළ නිවසකට ගොස් ඒ සාමය අත් විඳිය යුතු ය.ඒවා මහ පොළොවේ සැබෑ මනුෂ්ය යථාර්ථයෙන් පිටස්තර වූ නිර්මාණයෝ ය.
මනුෂ්ය ජීවිතයේ සත්ය එහි නොවේ.
අම්මා සඳකි ගීතයේ නගන නෝක්කාඩුවේ දෘෂ්ටිය කෙබඳු ද ?
එම ගීතය පුරුෂ මූලික දෘෂ්ටියකින් රචනා වී ඇත.එනම් එහි ඇත්තේ තාත්තා කෙනෙකු විසින් තාත්තා කෙනෙකු අති විශේෂ කෙරෙන මනෝභාවයකි.
අම්මා "සඳකි" කියා කී විටත් "මම" නැතහොත් කථක පියා "හිරු" කියා කී විටත් එය සාහිත්යයේදී රූපක (Metaphor) ගනයට වැටේ.එනම්,යම් වස්තුවක ස්වභාවය කීමට,ඒ හා සමාන වූ හෝ එයට වඩා උසස් වස්තුවක් බැහැරින් ගෙන ඒ එය ම බව දැක්වීම රූපකයකින් සිදු වේ.එනම් අම්මා සඳක් වාගේ නොව "සඳක් ම ය".
පාඨකයා මේ රූපක හරියට කියවා ගත්තේ නම් කොතරම් අගනේ ද ?
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හදෙන් නුඹෙ ලෝකය එළිය වුනි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී
මේ කියන්නේ කුමක්ද? මේ උපමා උපමේය ගැලපීම අනුව අම්මා කෙනෙකු සහ තාත්තා කෙනෙකු හඳුනා ගැනීම යථාර්ථවාදී ද ? සැබෑ ලොව දී හිරුගෙන් ලැබෙන එළිය හැර වෙනත් ආලෝකයක් සඳට නිපදවාගත නොහැකි බව ඇත්තකි.එහෙත් මිනිස් ලොව අම්මා එවැනි නිශ්ක්රීය චරිතයක් ලෙස සැළකිය හැකි ද ? ඇය හිරුගේ එළියෙන් පමණක් යැපෙන වස්තුවක් ද ? නැත.අද ඇය වැඩ ඇරී වැඩට යන ගැහැණීයකි.පවුල නමැති චක්රරාවාටය ම එළිය කරන බලවත් තාරකාවකි.ඒ අර්ථයෙන් ගත් විට මේ උපමාලංකාරයම අම්මා අවප්රමාණ කිරීමකි.එය පුරුෂ මූලික දෘෂ්ටිවාදයකි.
පුතුන් රැකුමට දුක් ගැහැට විඳින බව තාත්තා කියයි.දරුවකු බිහිකිරීම යනු දෙමව්පියන්ගේ තෝරා ගැනීමක ඵලයකි.තමන් තෝරාගත් ඵලය වෙනුවෙන් ආදරය දිය යුතු ය,රැකවරණය දිය යුතු ය.ඔහු යහපත් මනුෂ්යයෙක් කළ යුතු ය.එය පැහැර හැරිය නොහැකි වගකීමකි.ඒ වගකීම නොපරිහෙලා ඉටු කරන්නට අප්රමාණව වෙහෙසෙන දෙම්ව්පියෝ සිටිති.ඔවුහු නෝක්කඩු නොකියති.කවි ගී නොඉල්ලති.මහ කඳු සේ සියල්ල දරා තම යුතුකම ඉටු කර නිහඬව සතුටු වෙති.අප දන්නා පියවරු නම් ඔවුහු ය.නෝක්කඩු කියන පියවරු පියවරුන්ගේ විසල් ආත්මයට තරම් නොවේ.
සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි බර මට රැදුනේ
මහ මෙරකට උසයි දරු පෙම හදපතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ
"සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ" මෙය සම්පූර්ණ සත්යක් ද ? නැත. විද්යාත්මක සත්ය නම් දෙදෙනාගේම සමාන ජාන සම්පතින් දරුවකු බිහිවේ."තාත්තාගේ ලේ" යනු පුරුෂ මූලික සමාජයක ආධිපත්ය සලකුණු කරන දරන සංස්කෘතික දෘෂ්ටිවාදයකි.දෙදෙනාගේ සමාන ජෛව විද්යාත්මක සබඳතාව දරුවාටගේ පැවැත්මට මුල් වේ.ගීතයේ දී එය තාත්තා වෙතට තනිව පවරා ගැනීමට දරන වෙහෙස දැකිය හැකිය.
"කුසයේ නොදැරුවත් දිවි බර මට දැනුනේ" මේක පූර්ණ සත්යක්ද ? නැත.දිවි බර යනු පොදු යථාර්ථයකි.අම්මා ද දිවි බර එක සේ දරන්නී ය.සිරුර විකුණන අම්මාගේ සිට ධූරාවලියේ ඉහළට සියලු අම්මාවරු දිවි බර දරති.තාත්තා විසින් තමා විශේෂ කර ගැනීමක් ගීතයේ දැකිය හැකිය.ඒවා පුරුෂමූලික දෘෂ්ටිවාද නඩත්තු කරීම් මිස අනෙකක් නොවේ.
මවකට මුවාවී නුඹවෙත දිවි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
පියසෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ
මේ දෘෂ්ටිවාදය පූර්ණ සත්යක් ද ? නැත. කවුරුවත් කාටවත් මුවා වී නැත.දෙදෙනාම දරුවෙකුගේ ජීවිතයට විශේෂ වේ.අම්මා නැති දරුවෙක් ගේ හෝ තාත්තා නැති දරුවෙක් ගේ දිවිය එක ම ඛේදවාචකයකි. "මම වෙමි " කීම තුළ අම්මාගේ මෙහෙවර අවප්රමාණ නොවේද ? තාත්තාවරු එවැනි පටු පුරුෂයෝ නොවෙත්.”වංකගිරියට මාරුවීම” කවියේ රත්න ශ්රී මතු කරන තාත්තා බලන්න "
බුදුවෙන්න ඕන නුඹලා
මට නිවන් මග කියල්ලා"
ඇත්ත තාත්තලා එහෙම ය. ඔහු බුදු බව සිය දරු පවුලට පවරා නිවනින් සෑහීමකට පත්වන මිනිසෙකි.
පිය සෙනෙහස හඳුනන දරුවෝ සහ නාඳුනන දරුවෝ යනු සමාජයේ වටිනාකම් පිළිබඳ ප්රශ්නයකි.ඒවා මෙවැනි ව්යාජ නෝක්කඩු වලින් නිවැරදි කළ නොහැකිය.
මානව සබඳතා යට සැඟවී පවතින පසුගාමී දේශපාලනය නිවැරදි වන විට වටිනාකම් සුරැකෙන සමාජයක් නිර්මාණය වේ.සුරක්ෂිත සමාජයක් නිර්මාණය වන විට ඒ සමාජයේ ප්රේමය අඳෝනාවක් නොවේ.එහි ප්රේමය විසල් පරිත්යාගයකි.පෙරලා හිමි නොවීමේ නෝක්කාඩු නො ඇසේ.
මේ ගීතට රෝහණ වීරසිංහයන් නිර්මාණය කරන තනුව අතිශය මිහිරි එකකි.මධුර ගැයුමකි.එය අපට මිහිරකි.එහෙත් ඉන් නිර්වින්දනය වී පද රචනයේ පසුගාමීත්වය සඟවා සිටීමේ අවිචාරවත් මනසක් අපට නැත.විෂයමූලිකව මිස පුද්ගලමූලිකව නිර්මාණ රසවිඳීමේ පුරුද්දක් ද නැත.නිර්මාණයක යටිපෙළ ලිහාගත නොහැකි සමාජය යනු මේ පසුගාමී අධ්යාපනයේ ම පලයකි.
දියුණු කියවීමක් අපට තිබුණි නම් ජාතියක් ලෙස දශක හතක් පුරා දේශපාලන බහුබූතයන්ට රැවටෙනු ඇද්ද ?
රවී සිරිවර්ධන
-
Category
පුවත් -
Hits
277 times