lan englan tam

පුවත්

"පොඩි කුරුලු ගෙයකට එහා දෙයක් මට නැහැ පුතේ" පිය මතකය ඉෂාක් හඬවයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

‘රැව් දුන් ගී’ සංගීත වැඩසටහන හෙට (අඟහරුවාදා) රාත්‍රී 10ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශනය වීමට නියමිතය. මෙම වැඩසටහන ජාතික රූපවාහිනිය සහ ජාතික ගුවන්විදුලිය ඒකාබද්ධව ඉදිරිපත් කරනු ලබන්නකි.

ඉස්ලාම් බැතිමතකු වුවද මෙරට පුරවැසියකු ලෙස නූපන් අල්හාජ් මොහිදීන් බෙග් හෙවත් රටම දන්නා බෙග් මාස්ටර් සිංහල බෞද්ධ ගීතයේ මුදුන් මල්කඩ බඳු ගීත රැසක් ගායනා කළේය. සැබැවින්ම බෙග් නැතිනම් මෙරට බොදු ගීත සංස්කෘතිය මෙතරම් පෝෂණය වීමටත්, විචිත්‍රවත් වීමටත් ඉඩ නොතිබුණි. බෙග් යනු සැබෑ කලාකරුවෙකි. ඔහු අනුගතව සිටියේ සංගීතය නම් විශ්ව භාෂාවට පමණි. ඔහු උපතින්ම ඉස්ලාම් භක්තිකයකු විය. එහෙත් ඔහු සෑම ආගමකටම, සෑම ජාතියකටම සමාන ලෙස ගරු කළ මානවවාදියකු විය. ‘බුද්ධං සරණං ගච්ඡාමි, සුවදේ’ යනු බෙග් මාස්ටර් ගැයූ සිය ගණනක විචිත්‍ර බොදු ගීත අතර වඩාත් ප්‍රකට ඒවාය. අංගුලිමාල නම් වූ ඉන්දියානු චිත්‍රපටයට සිංහල හඩ කැවූ පසු සිංහලෙන් ගැයුණු ‘බුද්ධං සරණං ගච්ඡාමි’ ගීතය මුල් ගීතයටත් වඩා සාර්ථක ලෙස ගායනා කිරීමට බෙග් මාස්ටර්ට හැකියාව ලැබුණි. ඉන්දියාවේ තමිල්නාඩුවේ සේලම් නගරයේ ඔහු උපන්නේය. තමිල්නාඩුවේ ඉපදුණ ද මාස්ටර්ගේ පරම්පරාවේ මූලය හයිද්‍රාබාද් ප්‍රාන්තයයි.

අපේ සංගීත කලාව පිළිබඳව කතා කිරීමේදී කිසිදා අමතක කළ නොහැකි යුග පුරුෂයකු ලෙස බෙග් මාස්ටර් පිළිබඳව මතකයන් අපමණය. මොහිදීන් බෙග් මාස්ටර් පිළිබඳ මතකාවර්ජනය කිරීමක් සහිත වැඩසටහනක් හෙට (අඟහරුවාදා) රාත්‍රී 10ට ජාතික රූපවාහිනිය සහ ජාතික ගුවන්විදුලිය ඔස්සේ විකාශනය වීමට නියමිත අතර එම වැඩසටහන සඳහා සහභාගි වනුයේ මොහිදීන් බෙග් ශූරීන්ගේ පුතණුවකු වන ඉෂාක් බෙග් සහ දියණිය වන මොයිනා බේගම් මහත්මියයි.

‘රුව් දුන් ගී’ ලෙස හඳුන්වනු ලබන මෙම වැඩසටහන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ වන්නකි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාගේ සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ මහතාගේ මෙහෙයවීම මත මෙම වැඩසටහන සඳහා උපදෙස් සහ මඟපෙන්වීම සිදු කරනු ලබයි. වැඩසටහන අධීක්ෂණය කරනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නිලාර් ඒ. කාසීම් විසිනි. වැඩසටහන නිෂ්පාදනය කරනු ලබන්නේ සුමිත් දිසානායක විසිනි.

ගුවන්විදුලි වාදක මණ්ඩලය මෙම වැඩසටහන සඳහා සංගීතය සපයන අතර ප්‍රේක්ෂකාගාරයක සජීවී ලෙස මෙම වැඩසටහන පටිගත කරනු ලබයි. ඒ සඳහා තෝරාගෙන ඇත්තේ ගුවන්විදුලියේ ආනන්ද සමරකෝන් මැදිරියයි. මෙම වැඩසටහනට සහභාගි වන ඉෂාක් බෙග් මහතා සිය පියාණන් පිළිබඳව අතිශය සංවේදී වූ අතර මොහිදීන් බෙග් යනු කවුද? ඔහු එදා සමාජයේ හැසිරුණේ කෙසේද යන්නත් ඔහු සහ ඔහුගේ පවුලේ පිරිස් සමඟ කටයුතු කළේ කෙසේද යන්න පිළිබඳව අදහස් දැක්වූහ.

රැව් දුන් ගී වැඩසටහනේ වැදගත්කම වන්නේ එයයි. සමාජය තුළ බොහෝ ප්‍රසිද්ධ සහ ජනප්‍රිය පුද්ගලයකු වුවද ඔවුනගේ ජීවිතයේ ඇතුළත කෙසේද යන්න බොහෝ අය නොදන්නේය.

‘තාත්තා ගොඩක් සංවේදී කෙනෙක්. ඒ වගේම දුප්පත්කමින් සැහැල්ලුවෙන් හිටපු මිනිස්සු. තාත්තා ඇසේ සැත්කමට ගිය දවස මතකයි. එදා ඔහු සැත්කමට යන්න කලින් අන්තිමට ගේ දිහා බැලුවා…. කෝටු කෑලි සොයාලා, පරඬැල් කොළ ගෙනැල්ලා.. තාලයකට තියලා පොඩි කුරුලු ගෙයක් හදාලා… පුතේ මට එයින් එහා දෙයක් නැහැ පුතේ… මගේ නාමය නැති නොකරගෙන හොඳින් ජීවත් වෙන්න පුතේ…., එහෙම තමයි තාත්තා එදා අපට කීවේ” ඒ වේදනාත්මක මතකය ඉෂාක් නැවත අවදි කරනු ලබන්නේ රැව් දුන් ගී වැඩසටහනේදීය.

“අන්තිම සිංහල ජාතිකයා ඉන්නකම් බය වෙන්න එපා. එයාලා ඔයාට කෑම දෙයි” කියලා කිව්වා… “තාත්තා මහ ලොකු සල්ලි කාරයෙක් නොවෙයි. බැංකු පොතේ සල්ලි තිබුණ කෙනෙකුත් නොවෙයි” ඉෂාක් බෙග් මහතා සිය පිය­ාණන් පිළිබඳව සිය මතකය අවදි කරන්නේ එසේය. එවැනි සැඟව ගිය මතක රැසක් කාලයේ වැලිතලාවට යට නොවී නව ප්‍රේක්ෂක ප්‍රජාව අතරට ද ගෙනඒමට රැව් දුන් ගී වැඩසටහන මඟින් විශාල සහායක් ලබා දෙනු ලබයි.

හදවතින්ම සංහිඳියාව, සමඟිය අගය කළ බෙග් මාස්ටර් පිළිබඳව තවත් රසවත් සහ සංවේදී මතක රැසකි. බෙග් මාස්ටර් උපතින්ම භක්තිමත් ඉස්ලාම් ලබ්ධිකයෙකි. එහෙත් ඔහු තුළ සෑම ආගමක් පිළිබඳවම තිබුණේ ගරුත්වයකි. ඔහු කිසිදු විටෙක අන්තවාදය වෙත ගමන් කළේ නැත. ඉස්ලාම් බැතිමත් බෙග් මාස්ටර් බොදු ගී ගැයුවේ එනිසාය. වරෙක ඔහුට ඉස්ලාමීය මිතුරන් මෙවැනි ප්‍රශ්නයක් යොමු කළේය.

‘ ඇයි ඔබ බෞද්ධ ගීත ගායනා කරන්නේ? Ò මාස්ටර්ගේ මිතුරෙක් විමසුවේය. එහෙත්, බෙග් මාස්ටර් දිගටම බොදු ගීත ගායනා කළේය. ඔහු තම ආගමික විශ්වාසය ද ඉතා ඉහළින්ම තබා ගත්තේය එනිසා ඔහු අවස්ථා රැසකදී මක්කම වන්දනා කිරීමේ ඉස්ලාම් භක්තිකයකුට ලැබෙන වටිනාම අවස්ථාව ලබා ගත්තේය.

‘රැව් දුන් ගී’ වැඩසටහන තුළ එවැනි රසවත් මතක, සංවේදී මතක මෙන්ම කිසිදා හෙළිදරව් නොවූ මාස්ටර් පිළිබඳ මතක මෙන්ම මාස්ටර් ගැයූ යුග යුග අමතක නොවන බොහෝ දේ හෙට (අඟහරුවාදා) රාත්‍රී 10ට ජාතික රූපවාහිනියෙන් නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂක ඔබට හිමිව තිබේ. මේ ‘රැව් දුන් ගී’ වැඩසටහන් මාලාවේ පළමු වැන්නයි. ඉදිරියේදී තවත් මෙවන් වැඩසටහන් රැසක් රසවිඳීමට මෙරට රසික ප්‍රජාවට අවස්ථාව ලැබෙනු ඇත.

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, සංගීතවේදී සුදත් සමරසිංහ මහතා එහි විශේෂ සම්පත් දායකයකු ලෙස එක් විය. ඉදිරියේදීද මෙවන් වූ සුවිශේෂී කලා ශිල්පීන් අගයමින් සහ අනුස්මරණය කරමින් සතිපතා විකාශය කෙරෙන වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන දියත් වනු ඇත. රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා, රූපවාහිනී සංස්ථාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති කුෂාන් දේවින්ද මහතා, ගුවන් විදුලි සංස්ථාව රූපවාහිනී සංස්ථාව ඇතුළු ආයතනවල විධායක කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

උදිත ගුණවර්ධන - දිනමිණ

Back to top
Go to bottom

Popular News