නුඹෙ අම්මා ඉතා කළුයි
නුඹෙ අප්පා ඉතා කළුයි
නුඹ විතරක් තළ එළළුයි
නුඹෙ සීයා ටිකක් සුදුයි
මගෙ හිච්චි පැටියා හිනැහෙනවා
දුඹුරු ඇස් දෙක ම නළවා
බළල් ඇස් කොහෙන් ආවේ
අසයි ගමේ උන්
මට නො කියා කියන්නෙ
ඔය මං දහදුරාවෙ ගියා කියා
උන්ගෙ කටට සහගහපන්
නොසන්ඩාල දේ කීවට
අර නොන්චිගෙ කළු කෙල්ල ගෙනා
ශුද්ද වෙන්න සුදු අඳුනා
සුදු වෙන්න කියා උදේ හවා
ඒවා උලන්නෙ
වංසෙ කබල් ගාන ගමන්
ශුද්ද පැටිකිරිය මිරිකන
ලන්සි වාසගම් ඇති
උප්පැන්න කොළෙත් කටුගාතෙයි
තතන තතන තතන තනා
තනා තාන් තනා
තෙතන තෙතන තෙතන තෙනා
තෙනා තෙයිය තෙනා
ඔය රාජ රාජ කාලෙ ඉඳලා
මෙහෙ ආ පිට රැටියො අපේ
ගෑනු දැකලා වහ වැටුණේ නැද්ද කියාපන්
ඔය චීන ඉන්දියන් යෝනක
කාපිරි සහ හම්බ පැටව්
දාල යන්න බැරි හින්දා
බින්න බහින් ඇති නොවැ
අර හීනි වළලු කර වැද්දගෙ
තඹ පැහැ කෙස් ගස් සුද්දගෙ
බොකුටු කොණ්ඩෙ කාපිරියගෙ
කැරපොතු ඇස් පරංගියගෙ
චීනාගෙ මොක්කන් නාසය
හම්බයන්ගෙ හමේ පැහැය
සේරම කලවන් වී හැදි
සාම්බාරෙ අපූරූය
තතන තතන තතන තනා
තනා තාන් තනා
තෙතන තෙතන තෙතන තෙනා
තෙනා තෙයිය තෙනා
සිංහබාහුගේ කේශර
කොහෙද කියාපන් මල්ලී
කොටියගේ වලිගේ
දෙකකුල් අස්සෙ බලාපන්
වඳුරට නෑ කම් කී අපේ
මී මුත්තගෙ පනත්තාගෙ
නමට නිගරු නොකර ඉඳින්
මෝඩ කතා පටබඳිමින්
නුඹෙ අම්මා ඉතා කළුයි
නුඹෙ අප්පා ඉතා කළුයි
නුඹ විතරක් තළ එළළුයි
නුඹෙ සීයා ටිකක් සුදුයි
නුඹෙ මුත්තා තවත් සුදුයි
කිරි අත්තා ගොඩක් සුදුයි
සුදු සීයා සුදුම සුදුයි
- පද රචනය | විසාකේස චන්ද්‍රසේකරම්