“මම ඒ තාත්තා නොවුණත් ඒ හැඟීමේ වේදනාව මටත් දැනෙනවා”
සමහර හැඟීම් තියෙනවා පපුව රිද්දවන. එවැනි හැඟීමක් ගීතයකින් එළියට පැමිණි අවස්ථාවක් තමයි “ඩිංගිරියා” කියන්නේ. මේ කතාබහ සංගීතවේදී සමීර වීරසිංහ ගයන නවතම ගීත නිර්මාණය ගැන යි.
කොහොමද “ඩිංගිරියා” පද රචනාව ලැබෙන්නේ?
ඩිංගිරියා පද රචනය කසුන් එදිරිසිංහගේ. කසුන් කියන්නේ කට්ට කාගෙන ඉස්සරහට එන්න උත්සහ කරන කවියෙක්. ඔහු ලියපු පද රචනා අරගෙන සින්දුවක් කරගන්න කලාකරුවෝ ළඟට ගියාම සමහරු ලොකු ලොකු මිල ගණන් පවා කියලා තිබුණා. ඔය අතරේ කසුන් මටත් සින්දු කිහිපයක්ම එවලා තිබුණා. සින්දු නිර්මාණයට මට ලැබෙන පද රචනා අතරින් මම අහම්බෙන් දකිනවා හිතට වදින පද ටිකක්. ඒ පද ටික කසුන්ගේ. එතකොට ඩිංගිරියා කියන ටයිටල් එක තිබුණෙත් නැහැ. මුලදී මට කසුන්ව සම්බන්ධ කරගන්න විදිහක් තිබුනේ නැහැ. කොහොම හරි ෆේස්බුක් හරහා තමයි සම්බන්ධ කරගත්තේ.
මගේ අදහසක් තිබුණා සංකල්පීය ගීත රචනා මුල් කරගෙන සින්දු කිහිපයක්ම නිර්මාණය කරන්න. සංගීත භාණ්ඩ අඩු ප්‍රමාණයක් පාවිච්චි කරලා. “ඩිංගිරියා” කියන්නෙත් එහෙම කරන්න හිතපු සින්දුවක්. වීඩියෝව පවා සරලව කරන්න තමයි අදහස් කරගෙන හිටියේ. ඒත් සින්දුව ඇහුවට පස්සේ හැමෝම ගොඩක් හොඳ ප්‍රතිචාර දැක්වුව නිසා ඒ අදහස වෙනස් වුණා. කොහොම හරි අන්තිමට හොඳ වීඩියෝ ප්‍රඩක්ෂන් එකක් එක්ක සින්දුව එළියට දාන්න පුළුවන් වුණා.
මේ ගීතයෙන් කියවෙන්නේ හැමෝටම පොදු කතාවක්. දෙමාපිය, දරු සම්බන්ධතාවයේ එක් පැතිකඩක්. මේ පද රචනාව අතට ලැබුණාම එය ඔබට කොහොමද දැනුණේ?
කතාවේ හැටියට ඩිංගිරියා කියන්නේ නැට්ටුවෙක්නේ. ඒත් ඩිංගිරියා කියන්නේ නැට්ටුවෙක් හෝ තාත්තා කෙනෙක් විතරක් නෙවෙයි කියලයි මට ඉස්සර වෙලාම දැනුණේ. ඩිංගිරියාගෙන් නියෝජනය වෙන්නේ සමස්ත දෙමාපියන්වයි. මේ සින්දුව ගොඩක්ම දැනෙන්නේ අම්මා තාත්තාගෙන් ඈත් වෙලා දුර ඉන්න අයට. දෙමාපියන් ගැන නොසොයා, නොබලා ඔවුන් අත්ඇරලා ඉන්න පිරිස විතරක් නෙවෙයි, මේ සින්දුව දෙමාපියන් ළඟ නැති ඕනෑම කෙනෙක්ට දැනෙන එකක්. ඉගෙනීමට, රැකියාවට මේ කුමන දෙකට හෝ වේවා දෙමව්පියන්ගෙන් දුරක ඉන්න කෙනෙක් “ඩිංගිරියා” ඇහුවට පස්සේ තමන්ගේ අම්මට තාත්තාට කතා කරන්න, අම්මා තාත්තා බලන්න යන්න හිතුණා නම්, මට වුවමනා කළෙත් ඒකම තමයි. ඒ වගේම කියන්න සතුටුයි මට ලැබෙන ප්‍රතිචාර දිහා බැලුවහම මගේ අරමුණ සාර්ථක යි.
මේ ගීතය, ගීතයකට එහා ගිය හැඟීමක්. තරුණ ගායන ශිල්පියෙක්, සංගීතවේදියෙක් හැටියට වියපත් පියෙකුගේ හැඟීමකට පණ දුන්නේ කොහොමද ?
නළුවෙක්ට තමන්ගේම අත්දැකීමක් නැතත් චරිත දැනෙන්න රඟපානවා. ගායකයත් එහෙමයි. තමන්ට ඒ අත්දැකීම නැතිව වුණත් හැඟීම තමන්ගේ කරගෙන ගායනා කරනවා. ඩිංගිරියා සින්දුවේ “බලපන් මගේ පපුව” කියන අවසන් පද පේලිය ගායනා කරනකොට මගේ පපුව රිදුම් දෙන වෙලාවල් තියෙනවා ඇඬේන තරමටම. මම ඒ තාත්තා නොවුණත් ඒ හැඟීමේ වේදනාව මටත් දැනෙනවා.
අපි පිටරටක නොහිටියත් අපේ අම්මලා තාත්තලා අපි ගෙදර එනකන් බලන් ඉන්නවනේ. පොඩි කාලේ ඉස්කෝලේ ගිහින් එනකන්, ලොකු කාලේ වැඩට ගිහින් එනකොටත් එහෙමයි. ගෙදරින් පොඩ්ඩක් එළියට ගියත් ආපහු එනකන් බලන් ඉන්නවනේ. එහෙම වෙනකොට එන්නෙම නැති පුතා එනකන් බලන් ඉන්න තාත්තා කෙනෙක්ගේ වේදනාව කොහොම ඇති ද?
“ඩිංගිරියා”ට තියෙන ප්‍රතිචාර කොහොම ද?
ඇත්තටම ඉතාමත් හොඳ ප්‍රතිචාර තියෙනවා. අහපු හැම කෙනාම වගේ හොඳ කියපූ නිර්මාණයක්. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පවා ඉතා හොඳ ප්‍රතිචාර පළ කරලා තිබුණා. වීඩියෝ එක ෂූට් කරන්න කලින් දවසේ ඩිංගිරියාට පණ පොවපු රංගන ශිල්පී ප්‍රේමලාල් වීරසිංහ මහත්මයාට මම සින්දුව අහන්න දුන්නා. ඔහු පවා සින්දුව අහලා අඬලා තිබුණා.
ගීතය නිර්මාණයට දායක වූ පිරිස?
“ඩිංගිරියා” වීඩියෝව යාත්‍රා tv නිෂ්පාදනයක් සහ A Tune films අධ්‍යක්ෂණයක්. වීඩියෝවේ සංකල්පය මගේ. අධ්‍යක්ෂණය A Tune films වෙනුවෙන් තරිඳු ඒ. විමලවීර. විශේෂයෙන්ම මගේ ටීම් එක යාත්‍රා tv නිෂ්පාදන කණ්ඩායම විදුරවී ලියනගේ, පසිඳු චමෝද්, සමීර ප්‍රනාන්දු මේ වෙලාවේ මතක් කරන්න ඕන. කලා අධ්‍යක්ෂණය විදුරවී ලියනගේ, නිෂ්පාදන කළමනාකරු පසිඳු චමෝද්, සහය කැමරා අධ්‍යක්ෂණය සමීර ප්‍රනාන්දු.
Audio Production එක කළේ Busy Bee Studio මගේ ස්ටුඩියෝවෙන්, ගිටාර් වාදනය ලකිඳු මධුශංක, Mix and mastering ලීන් මුතුකුඩ, Tape Recording යශෝධ රෝහණ.
ඩිංගිරියා චරිතයට රංගනයෙන් දායක වුණේ රංගන ශිල්පී ප්‍රේමලාල් වීරසිංහ, පුතාගේ පොඩි අවධිය ළමා නළු ඔනෙල් දම්සත්, පුතාගේ ලොකු අවධිය අමල් දේවනාරායන, ලියුම්කරු විදුරවී ලියනගේ. ඒ වගේම කියන්න ඕන ඩිංගිරියා ආරම්භයේ පටන් මේ දක්වා උදව් උපකාර කළ, මෙතන නම් සඳහන් කළ නොකළ බොහෝ දෙනෙක් ඉන්නවා. විශාල කණ්ඩායමක සහයෝගයෙන් තමයි මේ නිර්මාණය එළිදක්වන්න හැකිවුණේ.
ඊළඟට එන ගීත නිර්මාණය මොකක්ද ?
සින්දු කිහිපයක්ම කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඊළඟට තවත් සංකල්පීය ගීත නිර්මාණයක් එළිදක්වන්න තමයි බොහෝ දුරට අදහස් කරගෙන ඉන්නේ.
සාකච්ඡා කළේ : අ.වා.රා.
©Mirror Arts