පී. එල්. ඒ. සෝමපාල සහ චිත්‍රා සෝමපාල ප්‍රවීණ ජනප්‍රිය ගායක යුවළගේ පුතු චිත්‍රාල් සෝමපාල ඔහුගේම අනන්‍යතාවක් ගොඩනඟාගත් කලාකරුවෙක්. ගායකයෙක්, තනු රචකයෙක්. සංගීතඥයෙක් ලෙස කටයුතු කරන චිත්‍රාල්, hard rock සහ heavy metal ආරේ ගායකයෙක් ලෙසයි සැලකෙන්නේ. ඔහු සංගීත ක්ෂේත්රයේ වෙනස්ම මාවතක ගමන් කරන කලාකරුවෙක්....
මෙවර - සිග්නීස් 2017 - Best Male singer සම්මානයට ඔබ හිමිකම් කියනවා.....
අශෝක හඳගමගේ 'ඇගේ ඇස අග' චිත්‍රපටයේ සංගීත රචනය වෙනුවෙන් තමයි මට මේ සම්මානය හිමිවුණේ. ඒ සම්මානය ලැබුණ එක ගැන සතුටුයි, ඒ වගේම ආඩම්බරයකුත් තියෙනවා.
මේ ඔබේ පළමු සම්මානය නේද?
ඔව්...ඕක තමයි මට ලංකාවෙන් ලැබුණ පළමු සම්මානය. විදෙස් සම්මාන උළෙල වලදී නොමිනේට් වෙලා තියෙනවා අවස්ථා ගණනාවකදී. නමුත් පළමු සම්මානය මේක.
'ඇගේ ඇස අග' ඔබ සංගීතය නිර්මාණය කළ කී වැනි චිත්‍රපටයද?
දැනට මම ලංකාවේ චිත්‍රපට හතරක් කරලා තියෙනවා. දෙකක් රිලීස් වෙලා තියෙනවා. 'ඇගේ ඇස අග' ඉන් එකක්. තව දෙකක් රිලීස් වෙන්න තියෙනවා. එංගලන්තයේ චිත්‍රපට දෙකක් කරලා තියෙනවා. ඒ චිත්‍රපට, චිත්‍රපට උළෙල වලදී best new comer" best short movie වැනි සම්මාන හිමිකරගෙන තියෙනවා.
දැන් පදිංචිය ලංකාවේද?
නෑ. දැන් ඉතිං මම අවුරුදු 33 ක් තිස්සේ පදිංචිය ජර්මනියේ.
මොනවද ජර්මනියට වෙලා කරන්නේ?
මම සංගීත ආයතනයක ගුරුවරයෙක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම මගේ බෑන්ඩ් ප්‍රොජෙක්ට්ස් තියෙනවා හතරක් පහක් විතර ඒ කටයුතුත් කරගෙන යනවා. ඒ අතරේ තමයි ලංකාවට එන්නේ.
ලංකාවේ පදිංචිවෙලා පූර්ණකාලීනව මේ රටේ සංගීත කටයුතුවල නියෑළෙන්න අදහසක් නැද්ද?
මං හිතන්නේ ඉතිං දැන් මං කරපු චිත්‍රපට මගේ style එකට ගැලපෙන ඒවා. මම හැම film එකක් පස්සෙම දුවන්නේ නැහැ. මොකද commercial films ගැන මගේ කිසිම උනන්දුවක් නැහැ. මම ඇත්තටම වැඩකරන්න කැමති අශෝක හඳගම වගේ directors ලත් එක්ක. ඒ නිර්මාණවල ස්වභාවයට තමයි මම කැමති. ඒ හින්දා මෙහෙම ඉන්න එක හොඳයි මං හිතන්නේ.
දැන් ඇල්බම් එකක් කරලා කොච්චර කල්ද?
2014 තමයි මගේ පළමු සිංහල සීඩී එක එළියට ආවේ. ඒකෙ තියෙන්නේ ඔක්කොම මගේ ඔර්ජිනල්ස්.
ඔබේ ඊළඟ ගී එකතුව?
මම මෑතකදී කළ මගේ ගීත සියල්ල එකතුවක් ලෙස එළිදක්වනවා මේ අවුරුද්ද අන්තිමට. ඒ සීඩී එකේ ටයිටල් එක 'ඇහැරෙන්න'.
පවුලේ අනිත් අය මොකද කරන්නේ? සංගීතය ගැන ඇල්මක් නැද්ද?
මට ලොකු අයියලා තුන්දෙනෙක් සහ නංගි කෙනෙක් ඉන්නවා. ඒ කට්ටිය කවුරුත් සංගීත කටයුතු වලට සම්බන්ධ වෙලා නෑ. මම විතරයි පොඩි කාලේ ඉඳලා සංගීතය ගැන උනන්දු වුණේ.
අම්මගේ තාත්තගේ ශෛලිය අත්හැරිය කෙනෙක්ද ඔබ?
මට පොඩි කාලේ ඉඳන් ඕන වුණේ එයාලගේ ශෛලියට වඩා වෙනස් දෙයක් කරන්න. ඒකයි අද මිනිස්සුන්ට වුණත් මාව පේන්නේ මගේම ශෛලියක් තියෙන සංගීතඥයෙක් කියලා, අනිත් සංගීත පවුල්වල දරුවෝ එක්ක මාව සසඳලා බැලුවම.
ඔබට වඩා අදටත් අම්මයි තාත්තයි ජනප්‍රියයි නේද?
ඔව්...මම දන්නවා අම්මයි තාත්තයි මට වඩා ජනප්‍රියයි කියලා. හැබැයි මට ජනප්‍රිය වීම ගැන එච්චරම ලොකු ආඩම්බරයක් නැහැ. මට තියෙන ආඩම්බරය තමයි මම කරන දේ හුඟක් වෙනස් අනිත් කට්ටියට වඩා. රැල්ලක් බදාගෙන දුවන මනුස්සයෙක් නෙමෙයි මම. කලාවේ හුඟක් ශෛලීන් තියෙනවා. අපේ රටේ ඒක දකින්න නැති තරම්. අම්මයි තාත්තයි හුඟක් ජනප්‍රිය වුණා ඒ කාලේ. ඒ අය සල්ලි පස්සේ දුවන්නේ නැතුව ආසාවට කලාව කළේ. හරිම පොසිටිව් දේවල් මේ රට ගැන ගීතයෙන් ගායනා කළේ මේ කාලේ වගේ නෙමෙයි.
දෙමවුපියන්ගේ ගීත අලුත් පරපුරට ගෙනියන්න ඔබ මොනවද කරන්න හිතාගෙන ඉන්නේ?
ගිය අවුරුද්දේ මම ඔවුන්ගේ ජනප්‍රියම ගීත දහයක් රෙකෝඩ් කළා ලංකාවේදී. production එක කරන්නේ ජර්මනියේ. මගේ ගීත කළේ විදිහට කියන්නත් බැහැ. මං ගායනා කළ අම්මලාගේ style එකට. හැබැයි මගේ එදබැ එක වෙනස්. නමුත් 60 ගණන්වල 70 ගණන්වල arrangement එක තමයි මං ගත්තේ වෙනසක් නොකර. ඒකෙ සීඩී එකක් මං රිලීස් කරනවා මේ අවුරුද්දේ අන්තිමට නැත්නං ලබන අවුරුද්දේ.
මිනිස්සු බණියිද?
මං දන්නවා ඕක එළියට ආවම මිනිස්සු කියයි අම්මලා වගේ නෙමෙයි sing කරන්නේ කියලා. මිනිස්සු criticise කරන ඒවා මං ගණන් ගන්නේ නෑ. අහනවනං අහන්න, නැත්නං නිකං ඉන්න. එච්චරයි.
ඔබේ සහෝදර සහෝදරියන් මේ වැඩේට විරුද්ධ නැද්ද?
නැහැ...මගේ ලොකු අයියා තමයි මට කිව්වේ අම්මලාගේ ගීත මේ තියෙන විදිහටම මගේ voice එකෙන් රිලීස් කළොත් අලුත් පරපුරටත් අදහසක් එයි මේක කොච්චර ලස්සන රටක් ද කියන එක ගැන කියලා.
දෙමවුපියෝ ඔබේ මේ ශෛලියට විරුද්ධ වුණේ නැද්ද?
ඒගොල්ලෝ ජීවිතේට මට කියලා නෑ මගේ ශෛලිය වෙනස් කරන්න කියලා. කිව්වේ ඔයාගේ දේ ඔයා කරගෙන යන්න. මොකද පංගුවක් සංගීත පවුල්වල ළමයි දෙමවුපියෝ නැති කාලේදී ඔවුන්ගේ ගීත ගායනා කරලා තමයි ජීවත් වෙන්න උත්සහ කළේ. මං ඒ වගේ නෙමෙයි. මං දෙමවුපියන්ගේ බූදලෙන් කන්නේ නැති මනුස්සයෙක්. මම මමම හම්බ කරගෙන ජීවත් වන මනුස්සයෙක්. මගේ අම්මා තාත්තා වගේ රත්තරං මිනිස්සු මං හිතන්නේ නෑ අද බිහිවෙනවා ඇති කියලා. ඒගොල්ලන්ගේ පාඩුවේ ඒගොල්ලෝ අපිට අවවාද දීගෙන එයාලා ජීවත් වුණා.
යුගන්ති යශෝදරා