බොහිමියානුවා, තාරා, රතු අහස, අප්පච්චි, අහසින් වැටුණා, ජීවිතයට ඉඩ දෙන්න යන නිර්මාණ රචනා කළ නාමල් ජයසිංහගේ රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් බිහිවන නවතම ටෙලි නිර්මාණය 'සහෝදරයා'යි. එය මේ මස 18 වැනිදා සිට සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම රාත්‍රි 8.30ට විකාශය වීමට නියමිතය.
සහෝදරයා ටෙලි නාට්‍යත් විකාශය වීමට නියමිතයි. එහි අධ්යක්ෂවරයා ඔබ. එහි නිර්මාණ පසුබිම ගැන කතා කළොත්.
මෙහෙමයි සහෝදරයා කියල ගැනෙන්නේ සමාන හිත් ඇති අයට. සහෘදයා කියල කියන්නෙත් ඒකම තමයි. හැබැයි මට දැනෙන ආදරය ඇතුළේ තවත් එක කොටසක් තමයි මේ මිත්‍රත්වය කියන්නේ. හැම පාර්ශ්වයකම මවුපිය සහෝදර සහෝදරියෝ ගැන මම කතා කළා. තවත් මට අවශ්‍ය වුණා යාළුකම ගැන කතා කරන්න. ඉතින් මට බලපාන මිත්‍රයෝ කිහිපදෙනෙක් ඉන්නවා. අන්න ඒ මිත්‍රත්වය ගැනත් හිතල තමයි මෙහෙම නිර්මාණයක් කිරීමට අදහසක් ආවේ.
මිත්‍රත්වයට සාධාරණයක් කරද්දී නිර්මාණයට සාධාරණයක් වෙනවද?
මෙහෙමයි. මට හැමදාම අලුත් වැඩක් පටන් ගනිද්දී විශ්වාසයක් තියෙනවා. ඒ වගේම මම කවදාකවත් බලාපොරොත්තු තියා ගන්න බැරි තැන්වලත් බලාපොරොත්තු අතහරින්නේ නැති කෙනෙක්. ඉතිං මං හැමදාම මගේ නිර්මාණ සඳහා උපරිම සාධාරණය ඉටු කරනවා.
මිත්‍රත්වය හරහා සමාජයේ කුමන පැතිද මේ ටෙලි නිර්මාණය හරහා කතා කරන්නේ?
ආදරය, විරහව කියන කාරණා කොහොමත් තියෙනවා. අනෙක් කාරණය තමයි අපට වළක්වන්න බැරි විදියට අපි අත්විඳින හා විඳපු දේශපාලන හරස්කඩක් ඇතුළු වෙනවා. එය මඟහැර අපිට නිර්මාණය කරන්න බෑ. මොකද මේ සමාජය තීරණය කරන්නේ දේශපාලනය නිසා.
ටෙලි නාට්‍ය විකාශය වන්නේ ස්වාධීන රූපවාහිනියේ. ඔය කතා කරන දේශපාලනය නිසා ටෙලි නාට්‍ය වාරණය වෙන්න ඉඩ තිබෙනවා කියලා හිතෙන්නේ නැද්ද?
වෙන්න බැරිකමක් නැහැ. එහෙම වෙන්න ඉඩ තියෙනවා. නමුත් මම හිතනවා සමාජය පරිණාමය වෙලා කියලා. පාඩම් ඉගෙන ගත්තට පස්සේත් ඒ අය ඒ වැරැදිම කරනවා නම් මං හිතන්නේ නැහැ අපි පරිණාමය වෙලා කියලා. අනික මෙහිදී මේ පසුගිය හෝ පවතින ආණ්ඩු නොවෙයි මම විවේචනය කරන්නේ. මේ පවතින සිස්ටම් එකයි මම විවේචනය කරන්නේ.
ඔබේ අධ්යක්ෂණයට හසුවන පළමු නිර්මාණය මේක. මෙහි තිර රචකයාත් ඔබ. කාර්ය දෙක ගැළපීම තුළ නිර්මාණ කාර්ය කිරීම පහසුද?
මම අධ්යක්ෂණයට අලුත්. හැබැයි රචනයට මම මගේ අධ්‍යක්ෂණය හානියක් කර ගත්තේ නැහැ. මම මූලිකත්වය දුන්නේ රචනය සඳහා. අනික භාෂාව ඇතුළේ ලෝකය ගොඩනැඟෙන්න දුන්න නිසා අධ්‍යක්ෂණය කරන්නත් මට පහසු වෙනවා. මොකද මං හිතන්නේ අධ්‍යක්ෂණය වගේම තිර රචනයත් වැදගත් නිර්මාණයේ ප්‍රබලත්වය සඳහා.
මේ නිර්මාණයට ඔබ ඉලක්ක කරගත් ප්‍රේක්ෂකයෝ පිරිසක් ඉන්නවද?
ඔව් මට කොහොමත් ඉලක්ක ගත කණ්ඩායමක් ඉන්නවා. තරුණයන් හා වැඩිහිටියන් තමයි මගේ ඒ ප්‍රේක්ෂකයා.
අසභ්‍ය යැයි කියන වචන කිහිපයක් ටෙලි නාට්‍යයේ තිබෙනවා. නමුත් ටෙලි නාට්‍ය විකාශය වෙද්දී එම වචන සංස්කරණය කරනවා. ඒ මත නිර්මාණයට බලපෑමක් නැද්ද?
මෙහෙමයි. එහිදී නිර්මාණයට වන හානියට වඩා සමාජයට වන හානිය වැඩි නම් මං ඒ හානිය අධ්යක්ෂවරයා වශයෙන් දරා ගන්නවා. මොකද මම විශ්වාස කරනවා පුංචි ළමයින්ට ඒ වචන ප්‍රශ්නයක් වෙනවා කියලා.
අවරගණයේ නිර්මාණ රසවිඳිමින් හිටිය ප්‍රේක්ෂකයාට සහෝදරයා වගේ සමාජ කියවීමක් තියෙන නාට්‍යයක් දරාගන්න පුළුවන් වෙයිද? රසවිඳින්න පහසු වෙයිද?
මීට කලිනුත් මෙවැනි හොඳ නිර්මාණ තිබුණා. කඩුල්ල, දඬුබස්නාමානය, නිසල විල, හදවිල සක්මන වගේ නිර්මාණ. ඒවා රසවින්ද අයමයි ඔය අවර ගණයේ ටෙලි නාට්‍යයත් රස වින්දේ. ඒ නිසා නිර්මාණය හා නිර්මාණ කරන විදිය වෙනස් වුණාම ඔය රසිකයාත් වෙනස් වෙයි.
කලාව මොන වගේ මානයකට ගෙන යා යුතුයි කියලද ඔබ විශ්වාස කරන්නේ?
මෙහෙමයි. කලාව සම්බන්ධයෙන් මම ඉටු කරගන්න හදන දේ මත තමයි ක්‍රියාකාරිත්වය සිදු වෙන්නේ. ලංකාවේ සමාජය මීට වඩා එක පියවරක් හරි යහපත් තත්ත්වයකට පත් කර ගැනීම තමයි මගේ අරමුණ. ඒ තුළින් සංස්කෘතික අවකාශය පුළුල් කර ගැනීම ගැන මම හිතන්නේ.
කලා නිර්මාණයක් එහෙම විය යුතුමද?
නෑ. එය අති පෞද්ගලිකයි. මම හිතන්නේ මගේ දුව ජීවත් වෙන්නේ මේ රටේ. කවදහරි දවසක ඇය එළියට බහින්නේ මේ සමාජය මැද්දට. එතකොට මම කැමැතියි අපේ රටේ හොඳ යහපත් සංස්කෘතියක් ගොඩනැඟිල තියෙනවට. ඒ නිසා මම කැමැතියි කලාවෙන් සමාජය යහපත් වෙනවට.
අධ්යක්ෂවරයෙක් හා තිර රචකයෙක් හැටියට නිර්මාණයක් කළා වගේම එය සමාජගත කිරීමේ අභියෝගයක් මේ වකවානුව තුළ ඔබට දැනුණේ නැද්ද?
මම අධ්‍යක්ෂණය කියල විශේෂ දෙයක් කළේ නැහැ. නමුත් අද මම සතුටු වෙනවා හොඳම නළු වරණයක් කළාට. අනික මම අධ්යක්ෂවරයා කියල ආයාසයක් දරන්න ඕන වුණේ නැහැ. සාමූහික වැඩක් හැටියට මේ සියල්ල සිදු වුණා. ඒ වගේම මහා අවදානමකින් මෙම නිර්මාණයට අත තිබ්බේ. එහෙත් එහි අවදානම ජයන්ත වැලිවිට මහත්තය දරා ගත්ත. අනික් අවදානම වුණේ විකාශය කිරීමේ අවදානම. එය ස්වාධීන රූපවාහිනිය භාරගත්ත. ඒ නිසා ඔවුන්ට විශේෂ ස්තුතිය දිය යුතුයි.
කූඹියෝ නාට්‍යයට වඩා මෙය සමාජයේ කථිකාවක් ඇති කරයිද?
මෙහෙමයි ටෙලි නාට්‍ය කථිකාවක් ඇරඹුණේ කූඹියෝ නිසයි. එය ඉතාමත් හොඳයි. අනික සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ කතා කරන්නෙත් කූඹියෝ ගැන. ඉතිං කලාවත් සාමූහික විය යුතුයි. එයට නිර්මාණකරුවා හා ප්‍රේක්ෂකයා සංවාද කළ යුතුයි. ඉතිං ඒ සංවාදය සහෝදරයාටත් ලැබෙයි කියලා විශ්වාස කරනවා.
නුවන් හෙට්ටිආරච්චි